Thursday, May 2, 2024

දියවන්නාවට ගිය අලූත්කඬේ – සුනිල් ජයසේකර

පාර්ලිමේන්තුව හමුවේ විවාදයට ගැනීමට නියමිතව තිබූ වැට් බදු සංශෝධන පනත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුව ඉදරිපත් කර නොතිබුණේ ය යන කරුණ පදනම් කරගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් අනුව අවලංගු වී තිබේ. මේ පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුව හමුවේ අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැට් බදු සංශෝධන පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීන්දුව පිළිබඳව ප‍්‍රශ්න තිබුණ ද ඒ හා ගැටුමකට යාමට රජය කටයුතු නොකරන බව ප‍්‍රකාශ කර තිබේ. එමෙන්ම පසුගිය රජය මෙන් අගවිනිසුරුවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙනඒමට කටයුතු නොකරන බව ද අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත.
ජනතා පරමාධිපත්‍ය මත පදනම් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් පිළිබ`දව අපේක්ෂාවන් හා ගරුත්වයක් ඇති ලාංකීය පුරවැසියාට අදාළව සලකන විට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳව මෙන්ම රජය ඒ පිළිබඳව පළකර ඇති ස්ථාවරය පිළිබඳව ද ඇතිවන්නේ අභිමානය මුසු සතුටකි. විශේෂයෙන්ම පසුගිය දශකය තුළ මේ රට ගමන්කරමින් සිටි දිශානතිය පිළිබඳව සැලකීමේදී එය වඩ වඩාත් දැනෙනු ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ තීන්දුව පිළිබඳව කිසියම් වූ කනස්සල්ලක් හා ප‍්‍රශ්නකාරී ස්වභාවයක් ආණ්ඩු පක්ෂයට ඇති බව අග‍්‍රාමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුව තුළ සිදුකළ ප‍්‍රකාශය තුළින් ද පැහැදිළිය. ඒ සඳහා පදනමක් හා යුක්ති සහගත හේතු සාධක ද තිබිය හැකිය. විශේෂයෙන්ම මේ ආකාරයේ ප‍්‍රතිපාදනයන් තුළ ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් පසුගිය කාල වකවානුවේදී සම්මත වී තිබීම තුළ ඔහු ඉදිරිපත් කරන අදහසට වලංගුභාවයක් ද තිබේ. ඒ අනුව අග‍්‍රාමාත්‍යවරයා ඊයේ දිනයේදී යෝජනා කර ඇති පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදී ඇති මෙම තීන්දුවට අනුව අතීතයේදී සම්මත වූ ඇතැම් නීති පිළිබඳව පාර්ලිමේන්තුව තමන්ගේ වූ ස්ථාවරය පැහැදිළි කරනු ඇතැයි ද සිතිය හැකිය. ඒ අනුව යම් කනස්සලූ සහගත බවකින් යුතුව වුවද රටේ නීතිය පසි`දලීමේ හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අර්ථ නිරූපණය ලබාදීමට හැකි උත්තරීතරම ආයතනය වූ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් මේ තීන්දුව පිළිබ`දව ආණ්ඩුව ප‍්‍රදර්ශනය කළ ස්ථාවරය හා පිළිවෙත අතිශයින්ම ගරු කටයුතුය.

අනෙක් අතට රටක් ලෙස අප ගෙවමින් සිටි පසුගිය දශක කිහිපයට අදාළව රටේ අධිකරණ පද්ධතිය හා එහි නාමධාරී චරිත ප‍්‍රදර්ශනය කළ ඇතැම් හැසිරීම් හා ස්ථාවරයන් පිළිබඳව සැලකීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදී ඇති මෙම තීන්දුව මගින් ප‍්‍රදර්ශනය කර ඇති ස්වාධීනත්වය ද අතිශයින්ම ගරු කටයුතු වන්නේය. රටේ ඕනෑම අධිකරණයක් මගින් ලබාදෙන තීන්දුවක් අධිකරණය වෙත නිසි ගෞරවය ලබාදෙමින් විග‍්‍රහ කිරීමේ හා විශ්ලේෂණය කිරීමට ඇති අයිතිය දැනුවත් පුරවැසියන්ට හා අදාළ ක්ෂේත‍්‍රයන්හි විශාරදයන්ට ලබාදෙන අතරම මෙම තීන්දුවට අදාළව ඉතා පැහැදිළි ලෙස ප‍්‍රදර්ශනය වන ගැඹුරු සත්‍යයක්ද ඇති බව කිවයුතුමය. එනම් අද වනවිට තමන් රටේ විධායකයේ හෝ වෙනත් ඕනෑම බලයක අඟුපිළක් නොවන බව ලබා දී ඇති මේ තීන්දුව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කර තිබේ. නීතියේ ආධිපත්‍ය අගයන යුක්තිගරුක රටක් පිළිබඳව අපේක්ෂාවන්ගෙන් යුතු ඕනෑම පුරවැසියෙකුට එය බලවත් සතුටක් ඇතිකරනවා පමණක් නොව මේ රටේ අනාගතය පිළිබඳව ද සුභවාදී අපේක්ෂාවන් ජනිත කරවයි.

ඒ මේ රටේ යුක්ති සහගත පුරවැසියන්ට සතුටු වියහැකි කාරණාවය. එහෙත් ඒ සමගම අතිශයින්ම ප‍්‍රීතියට හා උද්දාමයට පත්ව ඇති ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු නියෝජිතයන්ට ද එක්දෙයක් සිහිපත් කළයුතුය. එනම් අද නීතිය පිළිබඳව අර්ථ නිරූපණයක් ඉල්ලා සිටීමට හෝ යුක්තිය අපේක්ෂාවෙන් ඉදිරියට යා හැකි අධිකරණ පද්ධතියක් රට තුළ ඇති බවය. එය රාජපක්ෂ පවුල් පාලන සමයේ අද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන බොහෝ දෙනෙකුගේ මැදිහත් වීම හා අනුග‍්‍රහය මත කණපිට හරවා පැවති ශ්‍රේෂ්ඨාධිකරණයම වන බවය. ඔවුන් එදා ගජමිතුරු සබ`දතා ඔස්සේ ද දූෂිත චරිත හා කල්ලි කණ්ඩායම් තුළින් ද, බලහත්කාරය හා බියගැන්වීම් මගින් ද අපවිත‍්‍ර කළ භූමියම වන බවය. ජාති, වර්ග, ආගම් හා ප‍්‍රදේශ වශයෙන් පටු සීමාවන්ට කොටු නොවෙමින් දැවැන්ත අධිෂ්ඨානයකින් යුතුව ගොඩ නැගූ ජනවාරි 08 බලවේගයන්ට පවිත‍්‍ර කිරීමට සිදුවූයේ ද ඔවුන් එදා අපවිත‍්‍ර කළ මෙම යුක්තියේ දෙවොලම වන බවය.

එබැවින් යුක්තිගරුක හා නීතියේ ආධිපත්‍ය අගයන මේ රටේ පුරවැසියන් සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් මේ තීන්දුව පිළිබඳව සතුටු වනු ඇත්තේ දෙයාකාරයකිනි. මේ රටේ අතිමහත් බහුතර ජනතාවගේ අපේක්ෂාවන් තුළ විවර වූ නිදහස් ප‍්‍රජාතාන්ත‍්‍රික පරිසරය තුළ එය සියල්ලන්ටම පොදු අයිතියකි. එහෙත් මෙහිදී මේ රටේ සබුද්ධික ජනතාව තේරුම්ගත යුතු සත්‍යයක්ද තිබේ. එනම් යහපාලන මූලධර්ම මත රටට ලැබී ඇති මේ නිදහස තුළ ඒකාබද්ධ විපක්ෂය මේ උත්සාහ කරන්නේ එම නිදහස ශක්තිමත් කිරීමට නොවන බවය. වෙනත් විදියකට තේරුම් ගන්නේ නම් ඔවුන් යහපාලන ප‍්‍රතිපත්ති මත අද කරණම් ගසන්නේ නැවතත් පවුල් පාලනයකට මේ රට කොටු කිරීමේ ඒකායන අරමුණෙන් යුතුව වන බවයි.

 

Archive

Latest news

Related news