Saturday, May 4, 2024

තමිලිනී වෙනුවෙන් පිළිකා රෝහලට පරිත්‍යාගය 05දා

මා විසින් 2016 මැයි මස 13 වෙනි දින ප‍්‍රකාශයට පත් කරන ලද, ‘තියුණු අසිපතක සෙවන යට’ නමැති චරිතාපදාන ග‍්‍රන්ථය අලෙවියෙන් ලබන ආදායමෙන් කොටසක් මහරගම පිළිකා රෝහලේ කුඩා දරුවන්ගේ වාට්ටුවට ප‍්‍රදානය කරන ලෙස, එම පොතෙහි කර්තෘ වන සිවකාමී ජෙයකුමාරන් හෙවත් තමිලිනී මහත්මිය විසින් ඇගේ අවසාන මොහොතේදී ඉල්ලා සිටින ලදී. ඇය 2015 ඔක්තෝබර් මස මහරගම රෝහලේ 8 වෙනි වාට්ටුවේ ප‍්‍රතිකාර ගනිමින් සිටියදී හදිසියේ අභාවයට පත්වීය.

ඇගේ ඉල්ලීම අනුව පොතෙන් අප ලැබූ ආදායමෙන් රුපියල් ලක්ෂ තුනක පමණ මුදලක් යොදවා රෝහලේ නේවාසික දරුවන්ට අවශ්‍ය බෙහෙත් වර්ග මිලට ගෙන අපේක්ෂා රෝහල් අධ්‍යක්ෂතුමා වෙත පිරිණැමීමට ඇගේ ස්වාමිපුරුෂයා වන ජෙයකුමාරන් මහාදේවන් මහතා සහ අප අදහස් කරමින් සිටිමු.

ඒ අනුව 2016 අගෝස්තු මස 05 වෙනි සිකුරාදා පෙරවරු 10.00 ට අපේක්ෂා රෝහල් ශ‍්‍රවණාගාරයේදී ජන මාධ්‍ය හමුවක් අබිමුඛයෙහි එම බෙහෙත් වර්ග රෝහල් අධ්‍යක්ෂතුමා වෙත පිරිනැමීමේ උත්සවයක් අප විසින් සංවිධානය කර ඇත්තෙමු. එමෙන්ම 2016 අගෝස්තු මස 07 වෙනි ඉරිදා පෙරවරු 8.00 සිට 10.00 දක්වා ජාතික රූපවාහිණියෙන්, මෙම කෘතිය පිළිබඳව වැඩ සටහනක් ප‍්‍රචාරය කිරීමට නියමිත අතර,ගල්කන්දේ ධම්මානන්ද හිමිපාණන්, ජෙයකුමාර් මහාදේවන්, පර්වර්තක සාමිනාදන් විමල්, චූලානන්ද සමරනායක, රත්න ශී‍්‍ර විජේසිංහ, ජයතිලක බණ්ඩාර සහ ධර්මසිරි බණ්ඩාරනායක එම වැඩ සටහනෙන් අදහස් දැක්වීමට එක් වනු ඇත.

Archive

Latest news

Related news