Tuesday, April 30, 2024

මහින්ද මහත්තයෝ අපට නම් සතුටු නැත – සුනිල් ජයසේකර

පත්තර භාෂාවෙන් කියනවා නම් නාමල් එළියට ආවේත් බැසිල් ඇතුළට ගියේත් පසුගිය ස`දුදාය. නාමල් ලෙස ඔහුගේ මුල් නමින් හ`දුන්වා මුල් පිටුවේම ශීර්ෂපාඨ ගත කර තිබුණේ නාමල් රාජපක්ෂ මහතායි. බැසිල් යනුවෙන් හඳුන්වා දී ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතායි. ඒ අනුව බලන කල දෙදෙනාම රාජපක්ෂවරුන්ය. නෑකමට අනුව බාප්පා සහ ඥාති පුත‍්‍රයායි.

අනෙක් අතින් මේ පුවත්පත් වාර්තා කර තිබූ ආකාරයට නාමල් එළියට යනුවෙන් සඳහන් කර තිබූ පමණින් ඔහුට එරෙහිව පවරා ඇති නඩුවෙන් නිදහස් වූ බවක් ද ඉන් අදහස් නොකෙරේ. එමෙන්ම බැසිල් ඇතුළට යනුවෙන් වූ සඳහනෙන් ඔහුට එරෙහිව මේ වනවිට පවරා ඇති නඩු වලින් ඔහු වරදකරුවෙකු කර දඬුවම් ලබාදීමක් ද අදහස් නොකරයි. දෙදෙනාටම එරෙහිව සහේතුක චෝදනා ඇති අතර එහිදී රටේ නීතියට අනුව විධිමත් ලෙස නඩු පැවරීම ද සිදුකර තිබේ. දෙදෙනාටම අදාළව සලකන විට ඔවුන් වරදකරුවන් ද නිවැරදිකරුවන් ද යන්න අනාගතයේදී තීන්දු කරනු ඇත්තේ පිළිගත් ශිෂ්ඨ සම්පන්න සම්ප‍්‍රදායක් තුළ සිදුකරන නඩු විභාගයකින් පසුව ඒ ඒ අධිකරණ මගිනි.

එහෙත් නාමල් රාජපක්ෂ මහතා රිමාන්ඞ්භාරයෙන් මෙවර එළියට ආවේ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළට ගිය අයුරින් නොවේ. රග්බි ලෝක කුසලානය ශ‍්‍රී ලංකාවට අත්කර දුන් ශ‍්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයා මෙන්ය. ඔහු පිළිගන්නට ද මල්මාලා දමා ජයඝෝෂා කරන්නට ද ආධාරකරුවෝ එහි සිටියහ. පසුගිය දින කිහිපය තුළ රාජපක්ෂවරුන් වෙනුවෙන් මේ ආකාරයට ඔල්වරසන් දුන් පිරිස පිළිබඳව පටිගත කළ වීඩියෝ පට සමීපව නිරීක්ෂණය කළහොත් අප රටේ අපරාධ විමර්ෂකයන්ට ද ජයඝෝෂා නැගීමට හැකිවනු නොඅනුමානය. ඒ ඔවුන් මේ වනවිටත් සොයමින් සිටින අපරාධකරුවන් බොහෝ දෙනෙකු ද ඒ අතර සිටිනු තහවුරු කරගත හැකි නිසාය.

එහෙත් මේ රටේ යුක්තිගරුක ජනතාව මේ ඝෝෂාවන් ගැන එතරම් තැකිය යුතු නැත. මේ රටේ නීතිය හා යුක්තිය අන්තිම පහළටම ඇද දමමින් අලූත් කඬේ උසාවිය ඉදිරියේදී ද මෙවැනි පිරිස් ජයඝෝෂා නැගූ යුගයක් ද අප රටේ පැවති බැවිනි. ඒ මේ රටේ නීත්‍යානුකූල අගවිනිසුරුවරිය අනීතික ලෙස තනතුරෙන් පහකරන ලද දවසේය. රටේ උත්තරීතර ආයතනය ඉදිරිපිටදී ද ඒ ආකාරයටම මේ අය සිදුකළ ඝෝෂාවන් අප දැකතිබේ. ඒ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාන්ත‍්‍රවාදයට මාරාන්තික ප‍්‍රහාරයක් එල්ලකළ 18 වන ව්‍යවස්ථා සංශෝධනය මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය පරිදි සම්මත කරගත් දවසේය. ඒ අනුව පැහැදිළි කළයුතු දෙයක් තිබේ. අනීතිය රජකළ යුගයකදී ත් මේ රටේ යුක්තිගරුක ජනතාව බිය නොවූ ඝෝෂාවකට අද නිදහසේ ජීවත්වන ජනසමාජයක් බියගැන්විය නොහැකි බවයි.

ඒ නිසා රටට ද මේ රටේ යුක්තිගරුක ජනයාට ද වැදගත් වන්නේ එය නොවේ. නාමල් රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට මේ ආකාරයට චෝදනා එල්ල වී ඇත්තේ කුමන හේතූන් මත ද යන්නයි. නාමල් රාජපක්ෂ මහතාට ඇත්තේ ශ‍්‍රී ලංකාවේ රග්බි ක‍්‍රීඩාව සංවර්ධනය කරන්නට යැයි කියමින් විදේශ සමාගමකින් ලබාගෙන ඇති රුපියල් කෝටි 7ක මුදලක් වංචා කිරීමය. බැසිල් රාජපක්ෂ මහතාට මෙවර නගා ඇති චෝදනා වන්නේ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ ගිණුමෙන් ලබාගත් රුපියල් කෝටි තුනහමාරක මුදලක් අනිසි ලෙස වියදම් කිරීමයි. ඒ පසුගිය ජනාධිපතිවරණ සමයේදී තම සහෝදරයාගේ ප‍්‍රචාරණ කටයුතු ස`දහා යොදාගනු පිණිස කොඩි කණු මිලට ගෙන පළාත් පාලන ආයතන වෙත බෙදාදීම සඳහා යි. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයට වාර්තා කරඇති ආකාරයට බැසිල් රාජපක්ෂ මහතා මෙලෙස කොඩි කණු මිලට ගෙන පළාත් පාලන ආයතන වෙත බෙදා දී ඇත්තේ එම පළාත් පාලන ආයතන අතරින් එකක්වත් එවැනි ඉල්ලීමක් සිදුකර නැති පසුබිමක ය. එපමණක් නොව රුපියල් කෝටි තුනහමාරක් වැයකර මිලදී ගෙන ඇති මේ කොඩි කණු අදාළ ප‍්‍රාදේශීය සභා සහ නගර සභාවෙත යවා ඇත්තේ කිසිදු දැනුම් දීමක්ද නැතිවය.

ඒ කෙසේ වෙතත් රටේ පොදුදේපළ ගණයට වැටෙන මහජන මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවකට අධිකරණය මගින් රිමාන්ඞ් භාරයට පත්කළ බැසිල් රාජපක්ෂ මහතා දැන් සිටින්නේ බන්ධනාගාරයක් තුළ නොවේ. රැඳවුමකට යටත්ව වුවද කොළඹ මහ රෝහලේ වාට්ටුවක ය. මෙයට පෙර අවස්ථාවකදී ද මේ ආකාරයටම රිමාන්ඞ් භාරයට පත්වූ අවස්ථාවක දී ඔහු රෝහල් ගත කරඇති ආකාරය මේ රටේ ජනතාවට අමතක විය නොහැකිය. නිදහසේ සිටිද්දි රට පෙරළන්නට කතාකරන බැසිල් රාජපක්ෂ මහතා රිමාන්ඞ් භාරයට පත්වීමත් සමග අසනීප වීම වෙනම කතාකළ යුත්තකි. එක් අතකට එය කතාකළ යුතු දෙයක් ද නොවේ. එහෙත් මේ රටේ වෛද්‍ය පරීක්ෂකයින් විසින් අනිවාර්ය යෙන්ම සොයාගත යුතු රෝගකාරකයකි.

ඒ අතරේ ඔබට සතුටුයි ද දැන් යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා අපෙන් ප‍්‍රශ්න කරයි. අප රටේ ප‍්‍රමුඛතම නව මාධ්‍යකරුවෙකු වන අජිත් පැරකුම් මහතා කියා ඇති පරිදිම අප නම් සතුටු වන්නේ නැත. ඇතැම් විට ඔහු එසේ අසනවා ඇත්තේ විරුද්ධ පක්ෂයේ අය මර්ධනය කිරීමෙන් ඔහු ලැබූ සතුට ඔහු දන්නා නිසා විය හැකිය. එහෙත් මේ රටේ යුක්තිගරුක ජනතාවට සතුටු වියහැකි දවසක් අප උදාකළ යුතුමය. ජනතා මුදල් අමු අමුවේ කොල්ලකන ලද නීලකාස හොරු රැුලට නීතිය හමුවේ දඬුවම් දෙන හෝරාවක එම දවස උදාවනු ඇත.

සුනිල් ජයසේකර

Archive

Latest news

Related news