Saturday, May 18, 2024

මාධ්‍යවේදී මහේෂ් සේනානායකට යහපාලනයෙනුත් වැඩ තහනම් වේ.

මහින්ද රාජපක්ෂ රෙජීමය බලයෙන් පහකොට යහපාලන රජය ස්ථාපිත කරගැනීම වෙනුවෙන් පෙරමුණ ගත් මාධ්‍යවේදීන් අතර මහේෂ් සේනානායක ද සිටියේය.

රාජපක්ෂ බලඇණිය මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට මඩ ගසමින් නිර්මාණය කර තිබූ පෝස්ටර් තොගයක් නීතිය අතට පත් කිරීම නිසා රාජපක්ෂ පාලනයේ අවසාන කාලය තුළ ඔහුට අයිටීඑන් නාළිකාවේ වැඩ තහනම් කරන ලදී.

ඔහුද මූලිකත්වයෙන් පත් කරගන්නා ලද යහපාලන රජයෙන්ද නැවත වතාවක් ඔහුගේ වැඩ තහනමකට ලක්කිරීමට පියවර ගෙන තිබේ.

ආයතනයේ ප්‍රධානියකු දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඔහුගේ සේවය අත්හිටවූ බවත් එම නිසා තවදුරටත් සේවයට වාර්තා කිරීම අනවශ්‍ය බවත් ප්‍රකාශ කළ බව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

මෙසේ වැඩ තහනම් කිරීමට හේතුව ලෙස බලධාරීන් පෙන්වා දී ඇත්තේ පහු ගිය සඳුදා උදෑසන වැඩසටහනේදී මහ බැංකු අධිපතිවරයාගේ නම වැරදියට සඳහන් කිරීම බවයි.

නම වැරදීම ඇත්තක් නමුත් පසුව ඔහු එය නිවැරදි කළ බව මාධ්‍යවේදි මහේෂ් සේනානායක සඳහන් කරයි. කෙසේ නමුත් වර්තා වන අන්දමට වැඩ තහනමට ආසන්නම හේතුව එය වුවත් මෙය කාලයක පටන් පිඹුරුපත් සෑදුණු වැඩපිළිවෙලක එක් කොටසකි.

ඔහු පැවති රජය සමයේ මෙන්ම වර්තමාන ආණ්ඩුව යටතේද ස්වාධීන රූපවාහිනියේ බලධාරීන්ගේ අකටයුතු හමුවේ නිර්භයව අදහස් දැක්වීම මෙම තත්ත්වයට හේතුව බව වාර්තා වේ.
lankanewsroom

Archive

Latest news

Related news