Thursday, November 21, 2024

සතියේ ආරක්‍ෂාව: කණාමුට්ටි බිඳීමක් වූ යුධහමුදාපති සඳහා වූ තරගය සහ රාජ්‍යය ඔත්තු සේවා මූලධර්ම – නිලන්ත ඉලංගමුව

(පින්තුරය: http://blogs.ft.com – Ishara S. Kodikara/AFP)

ශ්‍රී ලංකා යුධ හමුදාවේ මීළඟ යුධ හමුදාපතිවරයා සඳහා මාස ගණනක් තිස්සේ පැවති සංගීත පුටු තරගය මේ වන විට කණාමුට්ටි බිඳීමේ තරගයක් බවට පරිවර්තනය වී තිබීම සැබවින්ම කණගාටුවට කාරණයකි. ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් වූ දෙමළ ඊළාම් විමුක්ති කොටින් පරාජය කළ හෙයින් ජයපැන්, පිංපැන් සහ වෙනත් පැන් වසර ගණනාවක් තිස්සේ භුක්ති විඳුනු ලැබූ බොහෝ දෙනෙකු, තම වෘත්තීමය ගරුත්වය ගැන කිසිඳු වගතුවක් නොමැති අයුරින් හැසිරීම පිටත ලෝකයට හාස්‍යජනක වන්නා සේම ආයතනික මට්ටමින් සිදුවන බරපතළ ඛේදවාචකයකි.

80 දශකයේ මුල් කාලයේ එළිදක්වනු ලැබූ “ස්ට්‍රයිප්ස්” නමැති ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක හමුදා ඉලක්ක කරගෙන නිර්මාණය කරනු ලැබූ හාස්‍යජනක චිත්‍රපටය ජගත් ප්‍රසිද්ධියට පත් විය. චිත්‍රපටය සඳහා මූලික කතාව සපයන්නේ, කුලීරථ  රියදුරෙකු වූ ජෝන් සහ උපකාර පන්ති ගුරුවරයෙකු වූ ඔහුගේ මිතුරා තම ජීවිතය හදා ගැනීම සඳහා හමුදාවට සම්බන්ධ වීමෙනි. ඔවුහු පුහුණුවීම් ලබන්නේ සාර්ජන් හල්ක් යටතේය. තම මිතුරු බලඇණියේ පුහුණුවීමක් අතර තුර එල්ලවන මෝටාර් ප්‍රහාරයකින් තුවාල ලබන සාජන් හල්ක් පසුව හමුවන්නේ, අදාළ බළඇණිය තම පුහුණුවීම් අවසානයේ යුරෝපයට ගිය පසුය. පරිපාලනමය මූලධර්මයක් නොමැති ආයතනයක් ක්‍රමයෙන් විස්තාරණය වීම, කුලීරථ රියදුරෙකුව සිටි අයෙකු ආරක්ෂක අංශ නිලධාරියෙකු වී රුසියානු හමුදාවට එරෙහිව මහත් ආන්දෝලනාත්මක මෙහෙයුමක් ජයග්‍රහණය කිරීම ආදිය චිත්‍රපටයේ මූලික සිදුවීම්ය. හාස්‍යය ජනක කතාව පුරා, හමුදාවක් සතු විය යුතු පරිපාලනමය මූලධර්ම වඩාත් සියුම්ව සඳහන් කිරීමට අදාළ චිත්‍රපටය උත්සහ දරා තිබේ.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉහළපෙලේ නිලධාරින් තනතුරු සඳහා සිදුකරන වත්මන් අරගලය දෙස බැලීමේදී ආයතනයේ සියලුම දෙනා එක් වී  “ස්ට්‍රයිප්ස්” චිත්‍රපටය යළි නැරඹීමට තීරණය කරන්නේ නම් මැනවි.

යුධ හමුදාපති වීම වූ කලී, තම ආශාවට ගැලපෙන සේ නිර්මාණය කරගත හැකි තනතුරක් නොවේ. එය, ලැබීම සඳහා මූලික සුදුසුකම් මෙන්ම ආයතනය තුළ පැහැදිලි සහ පිළිගත් වටපිටාවක් තිබිය යුත්තේය. එය බලෙන් ඩැහැ ගැනීමට නොහැකිය. මෙම තත්වය තුළ ඇති එකම සහ ශක්තිමත්ම විකල්පය වෙනත් කිසිවක් නොව, වත්මන් යුධහමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිශාන්ත ද සිලවා මහතාට සේවා දිගුවක් ලබා දී ආයතනය තුළ මතුවෙමින් පවතින පරිපාලනමය ගැටලු විසඳා, ආයතනය තුළ උඩු දුවමින් ඇති කණගාටුදායක තත්වයට විසඳුමක් සොයා ගැනීමට හැකි වටපිටාවක් ඇති කිරීමය. ආයතනය පරිපාලනමය වශයෙන් පිරිසිදුකොට මීළඟ හමුදාපතිවරයා වෘත්තීමය කුසලතා මත පත්කිරීමය. එහිදී මූලික වශයෙන් වැදගත්වන්නේ ආරක්ෂක විමර්ශන කමිටු වැනි ආයතනයේ වගවීම සහ විනිවිදභාවය පරික්ෂාවට ලක්කළ හැකි ස්වාධීන කමිටු යලි ඇතිකිරීමය.

මන්ද, වර්තමානයේදී සිදුවන සෙල්ලම සැබවින්ම නරක පූර්වාදර්ශයක් සපයන බැවිනි.  ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට, යුධ හමුදාපතිවරයා, තම සගයින් තම කාර්යාලයට කැඳවා සුහද ඉල්ලීමක් කොට ඇත. එනම්, ආයතනයේ ගරුත්වය මේ ආකාරයෙන් තම අප්‍රසන්න පෞද්ගලික අරමුණු වෙනුවෙන් බාල්දු නොකරන ලෙසය. එහිදී ඔහු අවදාරණය කොට ඇත්තේ, තමන් විශ්‍රාම යන මොහොත දක්වා එනම් අවසාන පැය භාගයේදී වුවද ආයතනයේ පරිපාලනය නිරවුල් මට්ටමකට ගෙන ඒමට දැඩි උත්සාහයෙන් කටයුතු කරන බවය. ඔහුට වසරක හෝ සේවා දිගුවක් ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කළහොත්, ආයතනය මුහුණ දී තිබෙන බරපතළ අර්බුදය විසඳීමට හැකි වාතාවරණයක් සකස් වනු ඇත.

මෙහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වඩාත් සුපරික්ෂාකාරී විය යුතු කාරණා කිහිපයක් තිබේ. එහිදී මතුවන මූලික කාරණයක් වූ කලී, ආරක්ෂක අමාත්‍යාංශය සහ එහි පරිපාලනය යතා තත්වයට ගැනීමය. පසුගිය සති කිහිපය තුළ ප්‍රසිද්ධ වූ පුවත් වාර්තා දෙස බැලීමේදී එක් මූලික කාරණයක් නීරීක්ෂණය කළ හැකි වේ. එනම්, මෙරට ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් ලබාදෙන මූලික පණිවිඩ වල ඇති අතිශය දුර්වල ස්වභාවයයි. එය ඇවන්ට්ගාඩ් නමැති නීති විරෝධී ලෙස විකෘති කරනු ලැබූ ආයුධ තබාගත් සමාගමේ සිට නැගෙනහිර නාවික ආඥාපතිවරයා ලෙස රියර් අදමිරාල් ට්‍රැවිශ් සින්නයියා මහතා පත්කිරීම ඔස්සේ නාවික හමුදාවේ බුද්ධි අංශයේ ප්‍රධාන නිලධාරියෙකු ලෙස සේවය කළ කේ. සී. වෙලගෙදර මහතාගේ කාරණය දක්වා මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ සිට ගුවන් හමුදාව තුළ ඇති වූ ඇතැම් සිදුවීම් අරඹයා මෙම කණගාටුදායක තත්වය නිරීක්ෂණය කළ හැකි වේ.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වෙනස් වෙයිද ?

මෙම බොහොමයක් සිදුවීම් වලදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ලබාදුන් පිළිතුරු අතිශය දුර්වල ඒවා වේ. ඇතැම් අවස්ථාවලදී හෙතම තමන්ගෙන් නොව අදාළ ආයතන ප්‍රධානියාගෙන් අසන ලෙස කියමින් තම දුරකථනය විසන්දි කරනු ලැබීය. එම හඬපට විවිධ ගුවන්විදුලි නාලිකා වල ප්‍රචාරණය කළහ.

ආරක්ෂක අමාත්‍යාංශය තුළ පරිපාලනමය වෙනස්කම් සිදු කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සැලසුම් කර තිබේද යන්න කීමට තරම්, සාක්ෂි නැතත්, අදාළ අමාත්‍යාංශය වෘත්තීය නිපුණන්ගේ බරපතළ ඌනතාවයකින් පෙලෙන බව දැක ගත හැකි වේ. තම පෞද්ගලික දැනහැඳුනුම් කම්වලට වඩා වැදගත් වන්නේ, අදාළ ආයතනය වගකිව යුතු සහ ත්‍රිවිධ හමුදාව ගැන මනා අවබෝධයක් සහ පළපුරුද්දක් ඇති විශ්‍රාමික නිලධාරියෙකු වෙත පැවරීම සඳහා කාලය පැමිණ ඇති බව පමණක් කිව හැකිය.

රටේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය සංදර්ශන පවත්වා ඒ ගැන විවිධ මත ඉදිරිපත් කළ නොහැකිය. ඒ සඳහා රජයට තිබිය හැක්කේ එක් ස්ථාවරයක් පමණි. එම ස්ථාවරය බොහෝ දුරට රජයේ නිල ස්ථාවරය ලෙස ඉදිරිපත් කරනු ලබන්නේ, ආදාළ ආයතනයේ ප්‍රධානියා විසින් පත්කොට ඇති මාධ්‍ය ප්‍රකාශකයා විසිනි. මෙය ආරක්ෂක සේවා සඳහා අත්‍යවශ්‍යය මූලික පරිපාලන ක්‍රමෝපායකි. එය ව්‍යාකූල වී එකිනෙකාට් රිසි සේ විවිධ මත ඉදිරිපත් කිරීමට යෑමෙන් සිදුවන්නේ, පරිපාලනමය අවුල් මාධ්‍යයට නිරාවරණය වීම සහ ආයතන ප්‍රධානින් මත අනවශ්‍යය ගැටලු පැන නැගීමය.

ත්‍රිවිද හමුදාව ගැන, විශේෂයෙන් දූපත් රාජ්‍යයක් ලෙස මෙරට නාවික කටයුතු සහ සමුද්‍ර නීතිය ගැන ගැඹුරු අවබෝධයක ඇති සහ තම රැකියාවේ ගරුත්වය රැකගෙන සේවය කළ විශ්‍රාමික නිලධාරියෙකු රටේ වගකිවයුතු ස්ථානයකට පත් කිරීම වත්මන් සන්දර්භය තුළ අත්‍යවශ්‍යය කාරණයක් බවට පත් වී තිබේ. විශේෂයෙන් ඇවන්ට් ගාඩ් වැනි අර්බුද වල ඇති නීතිමය වටපිටාව සහ ආරක්ෂක අමාත්‍යංශය එවැනි දූෂිත ආයතන වලට සරිලන ලෙස රටේ නීතිය සමග සෙල්ලම් කර ඇති ආකරය, අමාත්‍යංශයේ සේවය කළ සහ කරන දූෂිත නිලධාරීන් ඉවත් කිරීම සඳහා පරිපාලන ක්‍රමවේද අනුගමනය කිරීම, වැනි කාරණා නිවැරදිව විසඳා ගැනීමට හැකිවන්නේ, එවැනි මූලික වෙනසකමක් කිරීමෙන් පමණි. එය, සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයා විසින් මූලිකවශයෙන් අවධානය යොමු කරනු ඇතැයි සැලකිය හැකි කාරණයකි. විශේෂයෙන්, ගත වෙමින් පවතින කාලය තුළ එවැනි මූලික වෙනස්කමක් ඇතිකිරීම අතිශය තීරණාත්මක වේ.

පැරණි ආයුධ මුහුදට විසිකිරීම පටිගත කරනු ලැබූ ආන්දෝලනාත්මක වීඩියෝව

එවැනි මූලික වෙනසක්මක් කිරීමෙන් ආයතනය තුළ මෙන්ම සන්නද්ධ සේවා වල පවතින පරිපාලනමය ගැටලු යතා තාවයට පත කළ හැකි මුල් අඩිතාලම දැමිය හැකි වේ. මෙහි කදිම නිදසුන පසුගිය දිනක සමාජ ජාලා ඔස්සේ සැරිසරනු ලැබූ ආන්දෝලනාත්මක වීඩියෝවයි. අදාළ වීඩියෝව කුමන නිලධරියා විසින් පටිගත කළේද යන්න තවමත් තහවුරු වී නැතත්, නාවික හමුදාව තුළ දැඩි අවදානයක් ඒ වෙත යොමු වී තිබේ.

ඕනෑම රටක, කල් ඉකුත් වූ අවි ආයුධ නිෂ්ක්‍රීය කිරීම හෝ ඉවත්කිරීම රාජ්‍යය රහස් යටතේ සිදුකරන මූලික කටයුත්තක් වේ. ඒ සඳහා අනුගමනය කරන මූලික වැඩපිළිවෙලක් තිබේ. එය, ප්‍රසිද්ධ නොකරන නමුත් “රාජ්‍ය රහස්” යටතේ ලේඛනගත කරන කාරණයකි. එය, වීඩියෝ ගත කොට අන්තර්ජාලයට මුදාහැරීම මඟින්, ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අනවශ්‍ය අවදානයක් ඇතිකරනු ලබයි. විශේෂයෙන් සාලාවේ පිහිටි ආයුධ ගබඩාවේ ඇති වූ ගින්නෙන් දින කිහිපයකට පසු මෙවැනි තත්වයක් වාර්තාවීම, ආයතනික වශයෙන් මුහුණ දී සිටින අර්බුදය පැහැදලි කරනු ලබයි.

නාවික හමුදාව විසින් මෑතකදී පැවත් වූ හමුදා අධිකරණය සහ එහිදී දඬුවම් ලබාදුන් නිලධාරියා සම්බන්ධයෙන් මතු කරනු ලැබූ කරනා ස්ථාන ගත වන්නේද මෙවැනි මට්ටමකය. යුධ අධිකරණය පැවැත්වීමට මූලික කාරණය නිල වශයෙන් විස්තර කර තිබියදී එය, යෝෂිත රාජපක්ෂ විසින් නාවික හමුදාවට කළ හානිය සමග ගැලපීමට යෑම මෙරට මාධ්‍ය රටේ මූලික මූලධර්මයන් වලට දක්වන නියාලු සැලකිල්ල විදහා දක්වනු ලැබීය.

Archive

Latest news

Related news