Friday, April 26, 2024

ආණ්ඩුවේ වාහන සන්නිය

80 දශකයට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රිවරු බොහෝ විට ගමන් බිමන් ගියේ පොදු ප්‍රවාහන සේවාවලය. දුම්රිය හා ලංගම සඳහා ඔවුන්ට නිදහස් ගමන් බලපත්‍රයක් ලබාදී තිබිණි. ඇමැතිවරුන්ට පවා ‘සුපිරි’ නිල වාහන හිමි වූයේ නැත. එහෙත් 80 දශකයේ මැද භාගයේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පමණක් නොව පළාත් සභා මන්ත්‍රිවරුන්ට සුපිරි ‘පැජරෝ’ ජීප් රථ ලබා දුන් අතර ඇමැතිවරුන්ට සුපිරි නිල වාහන පිරිනැමිණි. තීරු බදු රහිත වාහන බලපත්‍රයකට පාර්ලිමේන්තු මන්ත්‍රිවරු අවුරුදු පහෙන් පහට හිමිකම් ලැබූහ.

80 දශකයට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රිවරු බොහෝ විට ගමන් බිමන් ගියේ පොදු ප්‍රවාහන සේවාවලය. දුම්රිය හා ලංගම සඳහා ඔවුන්ට නිදහස් ගමන් බලපත්‍රයක් ලබාදී තිබිණි. ඇමැතිවරුන්ට පවා ‘සුපිරි’ නිල වාහන හිමි වූයේ නැත. එහෙත් 80 දශකයේ මැද භාගයේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පමණක් නොව පළාත් සභා මන්ත්‍රිවරුන්ට සුපිරි ‘පැජරෝ’ ජීප් රථ ලබා දුන් අතර ඇමැතිවරුන්ට සුපිරි නිල වාහන පිරිනැමිණි. තීරු බදු රහිත වාහන බලපත්‍රයකට පාර්ලිමේන්තු මන්ත්‍රිවරු අවුරුදු පහෙන් පහට හිමිකම් ලැබූහ.

90 දශකයේ මැද භාගයේ රටේ පාලනය භාරගත් ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කියා සිටියේ තම පක්ෂය බලයට පැමිණියහොත් මන්ත්‍රිවරුන්ට අඩු වියදම් ජීප් රථයක් ලබාදෙන අතර මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරන බවය. එහෙත් සිදුවූයේ එහි විලෝමය. ශ්‍රීලනිප ප්‍රමුඛ හවුල් ආණ්ඩුවේ වසර විසි දෙකකට ආසන්න පාලන කාලය එජාපයේ දාහත් අවුරුදු පාලනයට වැඩි වෙනසක් නොවිණි. 2015 ජනවාරි 8 පොදු අපේක්ෂකයාට ඡන්දය ලබාදුන් ලක්ෂ 62කට අධික ජනතාවගෙන් සැලකිය යුතු පිරිසකගේ අරමුණ වූයේ දශක තුනක් තිස්සේ රට විනාශ කළ මේ “මජර දේශපාලන සංස්කෘතිය” අවසන් කිරීමය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීපතමයකු වන හිටපු විදේශ කටයුතු අධීක්ෂණ ඇමැති සජින් වාස් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ජනාධිපති කාර්යාලය සතු වාහන අවභාවිත කිරීමේ චෝදනාව මතය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය වසරේ මුල් භාගයේ නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ ජනාධිපති කාර්යාලය සඳහා වෙන් කළ මුදල් අනවශ්‍ය ලෙස වියදම් කළ බවත් වාහන අවභාවිතය ඇතුළු එල්ලවන විවිධ දූෂණ, වංචා, අක්‍රමිකතා චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවය. ඊට පිළිතුරු දෙමින් මුදල් ඇමැති රවි කරුණානායක කියා සිටියේ 2005 සිට 2014 දක්වා රාජපක්ෂ පාලන සමයේ ජනාධිපති කාර්යාලය වාහන, ගෘහ භාණ්ඩ, කාර්ය මණ්ඩල හා ආහාරපාන ඇතුළු විවිධ කටයුතු සඳහා මුදල් වැය කර ඇති ආකාරය ගැන සවිස්තරාත්මක තොරතුරු රට හමුවේ තබන බවය. එහෙත් ඇමැතිවරයා මේ වනතුරු රටට අනාවරණය කළ කිසිදු නිල තොරතුරක් නොමැති වුවද ජනාධිපති කාර්යාලයේ මල් වඩම්වලට පවා ලක්ෂ ගණනින් මුදල් වැයකර ඇති ආකාරය ඇතුළු රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ, අක්‍රමිකතා හා වංචා විවිධ අපචාර පිළිබඳ ඇතැම් මාධ්‍ය හරහා විශේෂයෙන් මුද්‍රිත මාධ්‍ය හරහා රටට හෙළි කරනු ලැබිණි.

කෙසේ වුවද මෛත්‍රි-රනිල් ආණ්ඩුවේ දූෂණ, වංචා අක්‍රමිකතා යැයි කියමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රාජපක්ෂ පාර්ශ්වය සතිපතා විවිධ දේ මාධ්‍ය හරහා රට හමුවේ තබයි. මේ චෝදනාවලට සත්‍ය, අර්ධ සත්‍ය, අසත්‍ය කාරණා පදනම් කරගෙන ඇත. අගමැතිවරයාට අලුත් වාහන දෙකක් ලබාගැනීමට හා ඇමැතිවරු කිහිප දෙනකුගේ නිල නිවාස අලුත්වැඩියා කිරීමට කෝටි ගණනක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ජවිපෙ හා රාජපක්ෂ පාර්ශ්වය දැඩි විවේචනයන් එල්ල කළේය. මුදල් ඇමැතිවරයාට විපක්ෂයේ විශ්වාසභංගයක් ඉදිරිපත් කර තිබියදී කෝටි 117ක මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ අමාත්‍යාංශ 22ක ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු 30 දෙනකු සඳහා අලුත් වාහන 32ක් මිලදී ගැනීම සඳහාය. ඊයේ පළවූ මුද්‍රිත මාධ්‍ය රැසක මුල් සිරස සැරසුණේ ඒ පුවතිනි. එපමණක් නොව නායකයාගේ කැමැත්ත මත තෝරාගත් ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රිවරුන්ට වාහනයක් ලබාදීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා පළ විය.

නව බදු ප්‍රතිපත්තිය නිසා ඉහළ ගොස් ඇත්තේ සුපිරි මෝටර් රථ මිලය. අඩු වියදම් වාහනවල මිල අඩු වී ඇත. එහෙත් ඒ පිළිබඳ හරිහැටි පැහැදිලි කිරීමටවත් ආණ්ඩුවට හැකියාවක් නැත. රාජපක්ෂ ආණ්ඩු සමයේ මැති-ඇමැතිවරුන්ගේ වාහනවලට පමණක් නොව විවිධ වියදම් සඳහා ‘මුදල්’ පාර්ලිමේන්තුවෙන් අනුමත කරගෙන ඇත. ඇතැම් විට මේ ‘මුදල්’ වැය කර ඇත්තේ නාස්තිකාර ආකාරයටය. එහෙත් එජාපය ප්‍රමුඛ විපක්ෂයට ඒ බව රටට පැහැදිලි කිරීමට තරම් ශක්තියක් තිබුණේ නැත. පරිපූරක ඇස්තමේන්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ සැණින් ඒ පිළිබඳ මාධ්‍ය හරහා අනාවරණය කිරීමට තරම් අවශ්‍යතාවක් රාජපක්ෂ පාර්ශ්වය ප්‍රමුඛ වර්තමාන විපක්ෂයට තිබේ.

ඇමැතිවරුන්ට, ඉහළ නිලධාරීන්ට පාවිච්චිය සඳහා ‘හොඳ’ වාහනයක් දිය යුතුය. එහෙත් රාජපක්ෂ පාලන සමයේ කළා සේ නාස්තිකාර ලෙස වාහන පාවිච්චි කිරීමට ඇමැතිවරු සූදානම් වන්නේ නම් එය යහපාලනයක් අපේක්ෂා කළ ජනතාවට පිටුපස හැරවීමකි. ණය උගුලක හිරවී ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින රටක මෙගා ඇමැති මණ්ඩලයක් මදිවාට ඔවුන්ට කෝටි ගණන් වාහන අලුතෙන් මිලදී ගැනීම අපරාධයකි. අලුත්ම වාහන නොමැති වුවද ‘හොඳ’ වාහන ඕනෑ තරම් රජය සතුය. හොඳම වාහන ටික ‘අරය’ යනකොට අරන් ගියා වැනි කතා කියමින් අලුත්ම වාහනවලට ජනතාවගේ බදු මුදල් හා ලෝකෙන් පොලියට ගන්නා මුදල් වැය කිරීම නොවේ.
මීරියබැද්දේ නායයෑමෙන් අවතැන් වූ පවුල්වල නිවාස අවශ්‍යතාව තවමත් සම්පූර්ණ කර නැත. සාමසර කන්ද ඇතුළු ඉකුත් මාසයේ සිදුවූ නායයෑම්වලින් අවතැන්වූවන් කඳවුරුවලය.

එවැනි ‘ආපදා’ තත්ත්වයක් රට තුළ තිබියදී ඇමැතිවරුන්ගේ නිල නිවාස හැදීමටත්, ඔවුන්ට අලුතෙන්ම වාහන මිලදී ගැනීමටත් මුදල් වෙන් කිරීම ප්‍රඥා ගෝචරද? මැති ඇමැතිවරු වැඩ කළ යුත්තේ මේ පිළිබඳ සිතා බලාය. එහෙත් ආණ්ඩු පක්ෂයේ කිසිවකු ජනතාව වෙනුවෙන් මට අලුත් කාර් එකක් එපා කියූ බව හෝ අලුත් ගෙවල් එපා කියූ බව හෝ දැනගන්නට නැත. ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරමින් විපක්ෂය මේ හෙළන්නේද කිඹුල් කඳුළු බව නොකිවමනාය. සබුද්ධික ජනතාව විමසා බැලිය යුත්තේ ඊනියා ජනතා නියෝජිතයන්ට බලය හමුවේ ‘මොළය’ නැතිවන්නේ කුමක් නිසාද යන්න ගැනය.
Mawbima

Archive

Latest news

Related news