Friday, May 17, 2024

අග විනිසුරුතුමනි, නීතියේ පාලනය පිහිටුවීමට මේ ඔබේ වාරයයි!

( අගවිනිසුරු ශ්‍රී පවන් දිව්රුම් දීම: දැන් වැඩ පෙන්වන්න)

2016 ජුනි 07 ,

අග විනිසුරුතුමා,
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය,
අධිකරණ සංකීර්ණය,
අළුත්කඩේ.

ගරු අගවිනිසුරුතුමනි,
පසුගිය දින කිහිපයේ දී වනන්තරෙයන් අල්ලා ගනු ලැබූ අලි පැටවුන් සම්බන්ධයෙන් වන නඩු විභාග අතර ඇති වූ තත්වයන් පිළිබඳව සිදුවීම් කිහිපයක් ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරවමු. ශ්‍රී ලංකා පුරවැසියන් නියෝජනය කරමින් නීතිඥයින්, පරිසර සංවිධාන එකමුතුව, දූෂණ විරෝධීන් ඇතුළු සිවිල් සංවිධාන මෙම ඉල්ලීම ඔබතුමන් වෙත ඉදිරිපත් කරන්නෙමු.

01. හිටපු විනිසුරු තිළිණ ගමගේ සන්තකයේ සිටි අලි පැටවෙකු සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාදීම සඳහා වූ රහස් පොලීසිය ඔහු කැඳවීම නොතකා පොලිසිය මඟහැර සිටීම මඟින් විනිසුරුවරයෙකු ලෙස සමාජයට වැරදි පූර්වාදර්ශයක් ලබාදීම,

02. රහස් පොලිසිය මඟින් හිටපු විනිසුරු තිළිණ ගමගේ අත් අඩංගුවට ගැනීමට මෙහෙයුම් සිදුකරන අතරතුර දී නීති ගරුක පුරවැසියෙකුට තරම් නොවන ආකාරයෙන් පොලිසිය මඟහැර සිටීම සහ විමර්ශන කටයුතු සදහා සහාය නොවීම

03. වරෙන්තු ලබා සිටි චූදිත තිළිණ ගමගේට රහසිගත ලෙස අධිකරණයට පැමිණීම බාරවීම සදහා සෘජු හා වක්‍ර‍ පහසුකම් සැලසීම

04. තිළිණ ගමගේ නඩුවේ විභාගය ඔහුගේ කණිෂ්ක විජේරත්න විසින් පිළිගත් අධිකරණ කාර්ය පටිපාටියෙන් පරිබාහිරව නඩු විභාගය පැවැත්වීම

05. චූදිත තිළිණ ගමගේ ඇප කොන්දේසි පැනවීමෙන් පසුව පිළිගත් පටිපාටියෙන් පරිබාහිරව එම ඇප කොන්දේසි සපිරීමටත් පෙර අධිකරණ භූමියෙන් රහසිගතව පිටවී යාම සඳහා පහසුකම් සැලසීම.

06. හිටපු විනිසුරු තිළිණ ගමගේ සමග පැමිණි අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ නෙමැති පිරිසක් දෛනිකව ගංගොඩවිල උසාවියේ වාර්තා කිරීම් සිදුකරන මාධ්‍යවේදීන්ට පවා බාධා කරමින් විනිසුරු කුටිය ආශ්‍රිත ප්‍රදේශයේ සැරිසැරීම සහ ඒ පිළිබදව පොලීසිය මැදිහත් නොවීම

07. පසුදින පස්වරු 1 ට පමණ ඇප මුදල් තැන්පත් කර ඇති අතර එම ඇප මුදල් තැන්පත් කිරීමට පෙර හිටපු විනිසුරු තිළිණ ගමගේට අධිකරණයෙන් බැහැරව යාමට ඉඩ ලබාදීම
උක්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් මේ වනවිට ඉතා පුළුල් මහජන දැනුවත්වීමක් සිදුව තිබේ. එය බැලූ බැල්මට පිළිගත් අධිකරණ කාර්ය පටිපාටියට / ක්‍රමවේදයට පරිබාහිර ව්‍යතිරේකී තත්වයකි. චූදිතයින්ට අසමාන ලෙස සැලකීමකි. මේ තුළින් අධිකරණය පිළිබඳව මහජන විශ්වාසය බිඳ වැටීමක් සිදුවිය හැකි බව බැලූ බැල්මටම පෙනී යයි.

අධිකරණය සම්බන්ධයෙන් වන විශ්වාසය පළුදුවීමෙන් මතු වූ තත්වයන් හා එයින් ශ්‍රී ලංකාවේ ගෞරවයටත්, අධිකරණ ක්‍රියාවලියේ ගෞරවයටත් ඇති වූ හානිය පිලිබද ඔබතුමන් ඉතා මැනවින් සන්වේදී බව අප ඉතා හොදින් දන්නා කරුණකි. එබැවින් ඉහත කරුණ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන ලෙසත්, සුදුසු ක්‍රියාමාර්ග කෙරෙහි යොමු වන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.

මෙයට විශ්වාසී,

දූෂණ විරෝධී පෙරමුණ
පරිසර සංවිධාන එකමුතුව
තරුණ නීතිඥ සංගමය
යහපාලනය සදහා වූ නීතිඥයෝ
පිටපත – ලේකම් අධිකරණ සේවා කොමිෂන් සභාව්

Archive

Latest news

Related news