Thursday, April 25, 2024

නැගෙනහිර මහා ඇමති නේවි එකෙන් බඩපිරෙන්න කෑවා හිටං: අදාළ නෑනේ! – නිලන්ත ඉලංගමුව

(බෑග් බෝයි කියලා ප්‍රසිද්ධ වූ එක්තරා පුද්ගලයෙක් දේශපාලනඥයෙක් වෙලා,)

යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට  පුරෝගාමී වූ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ට, ප්‍රතිකාර හොඳින් නොකළ නිසා, උන් වහන්සේ අපවත් වුණේ යැයි, අහිංසක ලෙස අතරමං වූ අලියෙකු හදාවඩා ගෙන අලි සෙනෙහසකින් අලි වැඩක් කළ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ කලට පෙර පැවසූහ. ඉතින් ඒක යහපාලන ආණ්ඩුවට අදාලයිද? අදාළ නෑනේ, ඕනෑම එක්කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්නේ, එකනේ යහපාලනේ !

යහපාලන ආණ්ඩුව බලයට පත් වූ විගස, ඊට පෙර පැවති ආණ්ඩුවේ හොරුන් වෙස් අරගෙන මේ පැත්තට පැන තනතුරු වලට පොරකන විට, ආණ්ඩුව හදන්න නිදිවරා මහන්සි වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කිව්වේ, කරන්න වෙන දෙයක් නෑ, හොරුත් එක්ක තමයි ගමන යන්න වෙන්නේ කියාය. ඉතින් ඒක යහපාලනේට අදාලයිද? අදාළ නෑනේ ! හොරා කියලා උසාවියෙන් ඔප්පු වෙලා නෑනේ.

බෑග් බෝයි කියලා ප්‍රසිද්ධ වූ එක්තරා පුද්ගලයෙක් දේශපාලනඥයෙක් වෙලා, රටේ විදේශ ප්‍රතිපත්තිය කණපිට පෙරලා ඒ පෙරලුනු පිට, තම ශරීරකෘත්‍ය කරමින් මුළු ලෝකයක්ම ගඳ ගසා, එකල හිටය මහා කොමසාරිස් කෙනෙකුටත් කනේපහරක් ගසා යහපාලන ආණ්ඩුව ගෙනයන “දූෂණ” විරෝධී වැඩේට පණ දෙන බව පොරොන්දු වෙමින් රජයේ සාක්ෂි කාරයෙක් වූයෙලු. ඉතින් ඒකට විරුද්ධ වීම යහපාලනේට කැමති අයට අදාලද? අදාළ නෑනේ, හොරෙක් එක්ක ජීවත් වුනු කෙනෙක්ලුනේ හොරාගේ හැටි හොඳටම දන්නේ!

යහපාලනේට “ගොඩාක් මහන්සි වෙලා” ගොඩාක් වෙලාවක් ටෙලිවිෂන් එකේ හිටිය එක මහාචාර්යවරයෙක් , ඔහුගෙන් පශ්චාත් උපාධිය සඳහා ඉගෙනගන්න ළමුන්ගෙන් “යහපාලනේ” (ගුඩ් ගවර්නන්ස් ) කියන්නේ මොකද්ද කියලා ඇහුවට පස්සේ දුන්න උත්තරේ එය එයාගේ මුහුණු පොතේ ලස්සනට දාලා “ලයික්ස්” ගොඩාක් අරගෙන තිබ්බේ, ළමුන්ව නිකන් අවඥාවට ලක් කරමින්. ඉතින් ඒක යහපාලන ආණ්ඩුවට අදාලයිද? අදාළ නෑනේ ! මොකද එයා ගොඩාක් යහපාලනේ ගොඩදාන්න මහන්සි වුණානේ!

රාජ්‍ය හිසතෙල් ගෑමේ උළෙලකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙලිකොප්ටර් දෙකක් රැගෙන අහසේ පියඹා මහියංගනයට ගියා කියලා, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරමින්, යහපාලන ආණ්ඩුව ජනතාවට වහපානයක් වී ඇතැයි කිව්වෙලු. ඉතින් මේක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අදාලයිද? අදාළ නෑනේ? ඉස්සර හිටිය එක්කෙනා තුනක් අරගෙන ගියාම මම දෙකක් අරන් ගිහින්, කොහොමද එකම ගමන දෙකකින් යන්නේ කියලා පෙන්නුවානේ! එකක වියදම අඩු කළානේ! ඒකනේ යහපාලනේ!

එෆ්. සී. අයි. ඩී. එක මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකා වලින් එකක් බවට පත් තිබේ. මෙය කොපමණ ප්‍රසිද්ධද කිවහොත්, ඇතැම් මාධ්‍ය ආයතන එෆ්.සී.අයි. ඩි. විශේෂ වාර්තාකරු ( ස්පෙෂල් රිපෝටර්) කියල තනතුරකුත් හදලා. ඉතින් එක හැමදාම ෆැෂන් ෂෝ එකක් වගේ හැම තැනම ලියවෙන්නේ, පෙන්නන්නේ සිද්ද වෙන්නේ වීර වික්‍රමයක් ලෙසය. නමුත් ආයතනය නඩත්තු කිරීමට සල්ලි නැති නිසා වහන්න වෙන කතාවක් මේ අතරතුරේදී සඳහන් වුණා. එක අපට අදාලයිද? අදාළ නෑනේ! අඩුම තරමින් හොරුන්ගේ ෆයිල් ටිකේ පිටපත් ටිකක් හරි ලබා ගත්තනේ!

රටේ වැටිලා තියෙන ආර්ථිකේ ගොඩ දාලා දෙන්න, ජපානේ අගමැති ෂීන්ෂෝ අබේ පොරොන්දු වෙලා, මුදල් ඇමතිගෙන් ඇහුවලු, අපි එහෙම කරනවට ඔබගේ ජනාධිපති කැමති වෙයිද? අවසර දෙයිද දන්නේ නෑ, කියලා හිටං. මුදල්ඇමති,  අයියෝ එක ප්‍රශ්නයක් නෑ කියලා  ජනාධිපතිගේ ජනාධිපති වගේ ප්‍රතිචාර දැක්වුවාලු! ඒත් ජපානේ ලෝකේ රටවල් වලින් වැඩිම රාජ්‍ය ණය බරක් තියෙන රට.  ඉතින් එක අපට අදාලයිද? අදාළ නෑනේ! ජපානේ මොනවා වුනත් අපට උදව් කරනවා කියල කිව්ව එක ගැන, මාධ්‍ය හමු ( ප්‍රෙස් කොන්) ගොඩාක් තියන්න පුළුවන්නේ! ඒකරලා ලස්සනට ඉන්න ෆොටෝ එකක් දන්නා ඕන හරිද? කියලා පත්තරේ කතෘට දුරකථනයෙන් අමතන්න පුළුවන්නේ! ඒකනේ යහපාලනේ!

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, රටේ අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම්  බව ඊයේ ( ජුනී 02, 2016) පැවසුවේය. ඉතින් එකේ පළමු සහ දෙවන මෙන්ම තුන්වන පියවරත් මේ වන විට මෙරට ඉතිහාසයේ බිහිවූ හොඳම අධ්‍යාපන ඇමතිවරයා වන අකිල විරාජ් කාරියවසම් මහතා මාර්ගයෙන් සිදු කොට අවසන්. ඉතින් අග්‍රාමාත්‍යවරයාට අනුව, මීළඟ පියවර ඉංග්‍රීසි උගන්වලා ළමුන්ට ටැබ්ලට් අරන් දීලා ලෝකේ දිනන හැටි කියා දීම. ටැබ්ලට් මෙරට  නිෂ්පාදනය කරන්නේ නැති නිසා ඒවා මෙරටට ගෙන්වලා ළමුන්ට දීලා ඒවාට අන්තර්ජාල පහසුකම් නොමිලේ දෙන්න, ආණ්ඩුවට කොච්චර විතර වියදම් දරන්න සිදුවෙයිද? අදාලයිද? අදාළ නෑනේ; ඒකටනේ ආණ්ඩුවක් තියෙන්නේ! ඒකනේ ඒකට ජාතික ආණ්ඩුවක් කියන්නේ!

මේ රට ලෝකයට දායාද කරදුන් ආර්ථික විශේෂඥයින් අතරින් ඉදිරියේන්ම ඉඳලා යහපාලනේ ආර්ථිකය අර්ථයෙන් මෙන්ම තර්කයෙන් ගොඩ දමමින්, දානමය අනුසාශනා ලබා දුන් කෙනෙක් තමයි අමාත්‍ය හර්ෂද සිල්වා මහතා කියන්නේ. ඔහුගේ අර්ථ තර්ක වැඩසටහන මගින් රටේ ආර්ථිකය නගා සිටුවන හැටි මුළු රටේම මිනිසුන්ට ඉගැන්නුවා. ඉතින් එහෙම අර්ථ තර්ක වලින් ඉගෙනගෙන රටේ ආර්ථිකය ගොඩ දැමීමට රටේ මිනිසුන් කී දෙනෙක් යොමු වුනාද කියන එක අදාලයිද? අදාළ නෑනේ! අර්ථ ශාස්ත්‍රඥයෙක් ඉන්නේ එකටනේ! එයා ඔක්කොම හරියට කරනවානේ!

හිටපු නියෝජය පොලිස්පති අනුර සේනානායක මහතා රාත්‍රියේ කොට කලිසමක් ඇඳගෙනක්එකතරා ඝාතනයක් මෙහෙය වූයේ යැයි ලැබුණු ඔත්තුවක් මත අත්අඩංගුවට ගත්තේය. බොහෝ දෙනෙක් බොහෝ කතා ලිව්වේය. අතැමෙකු සතුටු වූයේය. මේ අතර ඔහුගේ ප්‍රධානියා වන හිටපු පොලිස්පති තුමාත් අත්අඩංගුවට ගන්න කියා විශාල ප්‍රචාරණයක් ක්‍රියාත්මක වෙනවා. මට පැන නගින එකම ගැටලුව, ඔත්තුවක් ලබා දුන් පසු සිදුකරන පරීක්ෂණ

සහ සෝදිසි කිරීම් අවසානයේ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමද? නැත්තම් ඔත්තුව දුන් විගස අත්අඩංගුවට ගෙන ඉන් පසු රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු අනෙක් පරීක්ෂණ කිරීමද, රටේ නීතිය කියලා දීලා තියෙන්නේ කියන එක. කොමන් ලෝ රටක් වන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ කොමන් ලෝද, ලෝ ඔෆ් ෆිව් ද ( ටික දෙනෙකුගේ නීතියක්ද) කියන එක මේවගේ ප්‍රශ්න වලදී අදාලයිද? අදාළ නෑනේ! ඒගොල්ලොත් කළේ එකමනේ , ඉතින් අපිත් ඒක වෙන විදිහකට කරලා කාලයේ වැලිතලාවේ විනෝද වෙමින්, පොඩි ඇපයක් දුන්නම හරිනේ!

අලියෙක් හොරෙන් තියාගෙන, උසාවියට යෑමට සිදු වුණාම, මහේස්ත්‍රාත්වරයෙක් හිටි අඩියේම අතුරුදන් වී, ඔහුගේ මාළු-යාලු විනිසුරුවරයෙකුගේ කාමරයෙන් මතු වී, ඇපත් අරගෙන ගෙදර ගියේය. නීතියේ දෙවඟන (යුක්තියේ දෙවඟන) දකින හැම විටම මට හිතෙන දෙයක් තමයි. අහෝ මේ ස්ත්‍රීය, 15 වන සියවසයේ සිට මේ දක්වා දෑස් බැඳ සිටීම පුදුමයකි. මෙතරම් දීර්ඝ කාලයක් දෑස් වසා තිබූ කල්හී මිනිසුන් පමණක් නොව සතා සීපාවාගේ පවා පෙනීම අහිමි වන්නේලු! බැඳ ඇති දෑසත්, දෙපැත්තට වැනෙන තරාදියත්, කඩුවත් දරා සිටින මේ උතුම් ස්ත්‍රීය ( දෙවඟන) දැක, විනිසුරුවරයාගේ ගෙදර සිටි අලියා කුමක් කියන්නට ඇත්තේද? ඉතින් ඒක අපට අදාලයිද? අදාළ නෑනේ! ඒක අලියාගේ ප්‍රශ්නයක් වුනාට අපේ ප්‍රශ්නයක් නෙමෙයිනේ.

රජයේ වෛද්‍යය වැඩවර්ජනයට මරු-සිරාගේ ලීලාවෙන් ප්‍රතිචාර ලබාදුන් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයා වන, චතුර සේනාරත්න කාරනා දෙකක් කිව්වේය (ගොඩාක් අතරින් මම ඇහින්දා ගත් දෙක). පළමුවැන්න, මඩින් නෙමෙයි ගොඩින් එන්න කියාය. දෙවැන්න; පවුල්වාදයක් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ නැතැයි කියාය. ගොඩින් එන්න යැයි කියමින්, හැකි උපරිම වචන පරිභව කළ හෙතම නොකළේ තම රෙදි ගලවා නිරුවත් වී පස්සපැත්ත නොපෙන්වීම පමණි. මේ අතර, ඔහු පවුල්වාදය ගෙදර යැවූ බව කියන්නේ සෞඛ්‍ය ඇමතිවරයාගේ පුත්‍රයා ලෙස තමන්ව හඳුන්වා ගනිමිනි. මෙම දෙවැනි කාරණය සැබවින්ම සෞඛ්‍ය ප්‍රශ්නයකි. එනම් එය ජීව විද්‍යාත්මක ප්‍රශ්නයකි. චතුර තමන්ගේ ඩි. එන්. ඒ. විශ්ලේෂණය කොට අහිංසක නිගමනයකට පැමිණියේදැයි දන්නේ ඔහු පමණි. ඉතින් ඒක මේ රටේ ජනතාවට අදාලයිද? අදාළ නෑනේ! නොට්ටිගේ පුතෙක් නොවන බව යහපාලන ආණ්ඩුවේ අයිතිකාරයෙක් වෙමින් පෙන්නුවානේ. ඉතින් ඔවුන්ගේ යහකෑම ආණ්ඩුවේ සහ මිනිස්සුන්ගේ වහකෑමක් වුණාම ඔක්කොම හරිනේ.

උතුරේ මහඇමති ගංවතුර වලින් පීඩාවට පත් තම පුරවැසියන් තුට්ටුවකට මායිම් නොකරමින්, තමිල් නාඩුවේ අම්මාට පෙම් හසුනක් ලිව්වේය. අම්මාද පෙරලා ඊට දුන් පිළිතුර වූයේ, නිසි කළ එළඹී කළ නිසි තැන නිසි ලෙස හමු වී නිසි දේ කතා කිරීමට කැමතියි කියාය. මේ උගත් බුද්ධිමත් මහඇමති තුමෝ විරෝධයේ සංඛේතයක් වී තිබේ. ඉතින් තම්ල් නාඩුවේ අම්මා හෙවත් ජෙයරාම් ජයලලිතා සමග කතා කිරීමට බලාපොරොත්තු වනදේ මේ රටේ මිනිසුන්ට අදාලයිද? අදාළ නෑනේ? එයාට තියෙන්නේ භූමිය පිළිබඳ එනම් මායිම් වැටේ ප්‍රශ්නයක් මිස වෙනදෙයක් නෙමෙයිනේ.

නැගෙනහිර මහඇමති ගරු තැම්පත් අල්හාජ් නසීර් මහතා තම වීර වික්‍රමයෙන් පසු රටේ ප්‍රධාන දේශපාලනඥයා බවට පත් වූයේය. දේශපාලනඥයාට වැදගත් වන්නේ හොඳ හෝ නරක ප්‍රසිද්ධිය යැයි පැරණි කියමනක් තිබේ. ඒ අනුව නසීර් මෙම නාටකයේ අවසාන සිනහවේ උරුමකරුවා බව අවිවාදිතය. මේ ඇත්ත පටලාවගත් ඇතැමුන්, ප්‍රාදේශීය බලය බෙදීම, සිස්ටම් එකේ අවුල ගැන කියා නසීර්ගේ පෞද්ගලික වින්දනයට දේශපාලන තියරියක් දැමුවේය. අනෙක් පසින්, රටේ සිංහල දේශප්‍රේමීන් වහාම තම දෙන්නම් බැටේ විවේචනය ඇරඹුවේය. නසීර් කිසිවක් නොකියා බලා සිටියේ මෙහි මුල මැද අග ගැන හොඳ අවබෝධයක් තිබු නිසාය. අවසානයේ ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉහලින් නියෝගයක් ආවේය. ඒ හොඳ රස කෑම වේලක් ලෑස්ති කිරීම සඳහාය. එය අනුභව කිරීමට ගිය අයවලුන් අතර ප්‍රධාන චරිතය වූයේ සිංගප්පුරුවේ වෙළඳ ඇමති හෝ මලික් සමරවික්‍රම නොව,  ගරු තැම්පත් මහඇමති නසීර්ය. ඔහු දැන් ප්‍රසිද්ධය. ඔහුට කිසිඳු බාධාවක් නොමැත. ට්වින්කල් ට්වින්කල් ලිට්ල් ස්ටාර් ( දිලිසි දිලිසි තිබුණි චූටි තරුව), බිග් බිගර් ඇන්ඩ් ලාර්ජසට් ස්ටාර් ( ලොකු , විශාල , විශාලම තරුව ) වී ඇත. ඔහු තරුවක් යැයි කියන්නේ, ඉරෙන් ලබන එළියෙන් දිලෙන නිසා හෙවත් අනුන්ගේ මෝඩකම් වලින් තමන්ගේ ශක්තිය වැඩිකරගන්නා තවත් එක් දේශපාලනඥයෙකු වන හෙයිනි. ඉතින්, නාවික හමුදාවේ මුළුතැන් ගේ නාවිකහමුදා නිලධාරීන් විසින් පිසුණු ලැබූ අහාර පිසීමට පෙර,  “හාලාල් ක්‍රමේට” තනනු; මන්ද නසීර් මෙහි වඩිනු ඇත, යැයි අණ ලැබුණේද කියා දැනගැනීම මෙම කාරණයට අදාලයිද? අදාළ නෑනේ! මොනවා වුනත් කෑම හොඳට කාලා ඒවා හරිම රහයි, කියලා හිනාවෙලා කිව්වනේ! එකනේ යහපාලනේ!

අවසාන විග්‍රහයේ ඇත්ත කුමක්ද? අපි ඛේදවාචක වලින් ගොඩා ආ ජාතියකි. අපි සිටගෙන සිටින්නේ මිනී ගොඩක් උඩය. මේ වන විට අපේ මාතෘභූමිය පසු කරමින් සිටින්නේ ඛේදවාචක විනෝදයට පෙරලා, මැරී ඇති අව්‍යාජ හිනාව වෙනුවට ව්‍යාජ ලෙස හිනා වෙමින්, මතු නිවනක් ගැන සිතා අනෙකාට අංචි අල්ලමින් තම පැවැත්ම තහවුරු කරගන්නා පිරිසක් විසින් මෙහෙවන අවස්ථාවක්ය. “ප්‍රතිවිප්ලවයේ” වෙනස් නොවන පශ්චාත් භාගය මෙයයි. අපායේ සිටින්නා ගමන් කළ යුත්තේ කුමන දිශාවකටද කියන කාරණය වැදගත් නොවේ. මන්ද සිටින්නේ අපායේ බැවින් කොහෙන් හෝ එළියට ඒම සඳහා ගමන් කළ යුතුය. වැදගත් වන්නේ ගමන් කිරීමයි.

ඉතින් අපි කඳු නොවී හිනා වෙමු! විනෝද වෙමු! ණය වෙමු! බොරු කියමු! හැකි තරම් අනෙකාව රවටමින් අපි අපිත් රවටා ගනිමු!

මේ මොහොතේ ඇති ගැටලුව; මේකද 21 වැනි සියවසයේ යහපාලනේ කියන්නේ?

අදාළ නෑනේ!

Archive

Latest news

Related news