Tuesday, May 7, 2024

කෙහෙළිය කෝටි 2ක් වංචා කල බවට රංජන්ගෙන් චෝදනා

හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විදෙස් රටක හෝටලයක අනතුරකට ලක්වීමෙන් අනතුරුව එම හෝටලය රක්ෂණ මුදලින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට රුපියල් කෝටි ගණනක වන්දියක් දී තිබියදී මෙරට ජනාධිපති අරමුදලින්ද රුපියල් කෝටි දෙකක මුදලක් වංචාකාරී ලෙස ලබාගෙන ඇතැයි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ ප්‍රකාශයක් දෙමින් කියා සිටියි.

රන්ජන් රාමනායක මහතා මෙම තොරතුරු හෙළිදරව් කළේ කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කැඳවා ප්‍රශ්න කළ අවස්ථාවේදීය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා 2013 වසරේදී විදෙස් රටකදී අනතුරකට ලක්වී තිබුණි.

එහිදී සිදුවූ අනතුරට අදාළ සිද්ධිය හා කෙහෙළිය රඹුක්වැල්ල මහතා රුපියල් කෝටි දෙකක මුදල් ලබා ගැනීම තුළ වංචාවක් සිදු කර ඇති බව රන්ජන් රාමනායක මහතා එම සිද්ධිය සම්බන්ධව පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශයක් කර තිබිණි.

එම පාර්ලිමේන්තු ප්‍රකාශයට අදාළ කරුණු පැහැදිලි කර ගැනීම සඳහා සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වන මූල්‍ය අපරාධ කොට්ඨාසය එසේ රන්ජන් රාමනායක මහතා කැඳවා තිබිණි.ඊයේ පැය දෙකක පමණ කාලයක් රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ ලබා දෙනු ලැබිණි.

අමාත්‍යවරයා එහිදී කියා සිටියේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා විදෙස් රටකදී අනතුරකට ලක්ව ඇත්තේ ඒ මහතාගේ පෞද්ගලික සංචාරයකට ගොස් සිටියදීය. ඔහුට සිදුවූ අනතුර ඔහු නැවතී සිටි හෝටලයේ සී.සී.ටී.වී. ඡායාරූපවල සඳහන්ව තිබී ඇත.

ඒ අනුව සිදුවී ඇති යම් යම් හේතු නිසා හෝටලය සිය රක්ෂණ අරමුදලින් රුපියල් කෝටි ගණනක විශාල මුදලක් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ගෙවා ඇත.

කරුණු එසේ සිදුවී තිබියදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනාධිපති අරමුදලින් රුපියල් කෝටි දෙකක මුදලක් ලබාගෙන ඇති බවද හෙළි වී ඇතැයි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කර ඇත.

ඒ මහතා ඒ සම්බන්ධව පාර්ලිමේන්තුව කළ ප්‍රකාශය තවදුරටත් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ කරුණු පැහැදිලි කරමින් කියා සිටියේය.

ජනාධිපති අරමුදලේ මුදල් කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් දූෂිතව භාවිතා කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් මෙම පරීක්ෂණය සිදු කරයි.

එවකට ජනාධිපති ලේකම්වරයාව සිටි ලලිත් වීරතුංග මහතා ද මේ සම්බන්ධව පසුගිය දිනවල කැඳවා ප්‍රශ්න කර තිබිණි.

ඉදිරියේදී තවත් පිරිසක් කැඳවීමට නියමිතව ඇත.

– දිනමිණ

Archive

Latest news

Related news