Monday, May 6, 2024

පෙරටුගාමීන්ගේ නරිවාදන් සරසවියේදී රෙද්ද පල්ලෙන් බේරීම – නිර්මාල් රංජිත්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රම විරෝධය පිළිබද කටේ නරිවදන් රෙද්ද පල්ලෙන් බේරෙන්නේ ඒ අයගේ අනුගාමිකයින්ගේ විශ්වවිද්‍යාලවල හැසිරීම නිසාය. මේ අය ශිෂ්‍ය දේශපාලනය තුළ තම ආධිපත්‍යය රදවාගන්නා ප්‍රධාන උපකරණය වන්නේ නවක වදයයි. අලුතෙන් විශ්වවිද්‍යාලයට පැමිණෙන ශිෂ්‍යශිෂ්‍යාවන් හැසිරිය යුත්තේ ඇදුම් ඇදිය යුත්තේ ඒ අය කැමති ආකාරයටයි. ශිෂ්‍යාවන් ඇදිය යුත්තේ සායක් හෝ ගවුමකි. ජීන්ස් ඇදීම තහනම්ය. තමන් බෙදා දෙන ෆයිල් කවරය අතේ ගෙනයාම අනිවාර්යය වේ. මෙවැනි ක්‍රියාකාරකම් සාධාරණීකරණය කිරීම සදහා මේ ඊනියා ශිෂ්‍ය නායකයින් කියන කතා සැමුවෙල්-බර්ටි-ඇනස්ලි වර්ගයේ හාස්‍යය දනවන ඒවාය.

බොහෝ විට මේවාට අවනත වන්නේ ගම්වලින් පැමිණෙන රටේ ලෝකෙ ගැන නොදන්නා නිසි පෞරුෂයක් නොමැති ශිෂ්‍යශිෂ්‍යාවන්ය. නගරයේ පාසැල්වලින් පැමිණෙන රටේ ලෝකෙ ගැන යමක් තේරෙන තාර්කිකව සිතීමට යම් හැකියාවක් ඇති ශිෂ්‍යශිෂ්‍යාවන් ඉදිරියේ මේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පිරිස් දැනටමත් අතාර්කික මෝඩ රැලක් බවට පත්වී හමාරය.

මේ අයගේ ක්‍රියාකාරිත්වය නිසා සිදුවන්නේ ගම් වලින් පැමිණෙන පහළ පංතිවලට අයත් ශිෂ්‍යශිෂ්‍යාවන්ගේ පෞර්ෂය බිදවැටීමයි. ඒ අය අතාර්කික ලෙස තමන්ට ඉහළින් පැමිනෙන අණ පරිදි හැසිරීමට පුරුදු පුහුණුවෙති. පවත්නා ක්‍රමය පවත්වාගෙන යාමට මීට වඩා කළ හැකි සේවයක් තිබේද? ශිෂ්‍ය උද්ඝෝෂන සදහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයි විසින් දක්කනු ලබන්නේ මේ ආකාරයට පෞරුෂය බිද දමනු ලැබූ ශිෂ්‍යශිෂ්‍යාවන්ය. ඒ අය විශ්වවිද්‍යාල වලින් පිට වූ විට පවතින ක්‍රමයේ සුවච කීකරු වහලුන් වීම පිළිබදව කවර කතාද?

දැනට ශාස්ත්‍ර පීඨවල අති බහුතරය (සියයට 70කට වඩා) ශිෂ්‍යාවන්ය. නමුත් ශිෂ්‍ය දේශපාලනය තනිකරම පාලනය කරන්නේ පිරිමි ශිෂ්‍යයින් කීප දෙනෙකු විසිනි. ඉහත කී ආකාරයේ නවක වද ක්‍රියා මේ පිරිමි ශිෂ්‍ය ආධිපත්‍යය පවත්වාගෙන යන ප්‍රධාන මාධ්‍යයි. මහ ලොකුවට ක්‍රමය වෙනස් කිරීමට මොරදෙන පෙසපට මේ සම්බන්දව වගේ වගක් නැත.

– from Face Book

Archive

Latest news

Related news