Sunday, May 5, 2024

යුද හමුදාවට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

( සිය ඉඩම් ඉල්ලා උද්ඝෝෂණ කරන පානම වැසියෝ)

යුද්ධය නිමාවීමෙන් පසුව ශ්‍රී ලංකා යුද හමුදාව මගින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇතැයි පැවසෙන යාපනය අර්ධද්වීපයේ පිහිටි පුද්ගලික ඉඩම් තුනක් මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ඒවායේ හිමිකරුවන් ඉදිරිපත් කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා යුධ හමුදාවට නියෝග කර ඇත.

ඒ අනුව ලබන 26 වෙනිදා මීට අදාළ කරුණු දැක්වීම සිදු කරන ලෙසයි අග විනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් යුද හමුදාවට නියම කර ඇත්තේ.

පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදියා කියා සිටියේ 2012 වසරේ දී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පෙත්සම්කරුවන්ගේ ඉඩම් නීතියට පරිභාහිරව ගොස් අත්පත් කර ගනු ලැබ ඇති බවයි.

යුද හමුදාව විසින් පෙත්සම්කරුවන්ගෙන් කරුණු විමසීමක් හෝ පවරා ගත් ඉඩම් වෙනුවෙන් වන්දි ප්‍රදානය කිරීමක් සිදු කර නොමැති බවයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදියා චෝදනා කළේ.

එම චෝදනා ප්‍රතික්ෂේප කළ රජයේ නීතිවේදියා යාපනය ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අදාළ ඉඩම් නිත්‍යානුකූලව අත්පත් කර ගෙන ඇති බවයි කියා සිටියේ.

එම දැනුම් දීම පිළිගත නොහැකි බව පැවසූ පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදියා නිත්‍යානුකූලව අත්පත් කර ගත්තේ නම් පෙත්සම්කරුවන්ගෙන් කරුණු විමසීමක් සිදු නොකළේ ඇයි දැයි රජයේ නිතිවෙදියාගෙන් ප්‍රශ්න කළේය.

මෙහිදී අගවිනිසුරුවරයා කියා සිටියේ මෙම පවරා ගැනීමේ ක්‍රියාදාමය පිළිබඳව අපැහැදිලි තත්වයක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් කරුණු විමසීම අවශ්‍ය බවයි.

– BBC sinhala

Archive

Latest news

Related news