Thursday, April 25, 2024

රාජපක්ෂගේ කෑදර නාස්තිකාර ඉල්ලීම – සුනිල් ජයසේකර

‘‘එම ඉල්ලීම කොතරමි කෑදර හා නාස්තිකාර එකක් ද යන්න පැහැදිළි වන්නේ රටේ වර්තමාන රාජ්‍ය නායකයා වන මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නිල සංචාරය සඳහා විදේශ ගතවීමේදී අතරමැදි ගුවන් තොටුපොළවල පැය 4 – 5 කාල සීමාවන් ගතකර ඇතත් එහිදි කිසිදු අවස්ථාවක හෝටල් කාමර වෙන් කිරීමට මුදල් වැය කිරීමට කටයුතු නොකිරීම තුළිනි.‘‘

හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ උගන්ඩා සංචාරය පිළිබඳව ශ‍්‍රී ලංකාවේ ඇතැම් ජනමාධ්‍ය ප‍්‍රමාණවත් තරමටත් වඩා අවධානයක් යොමුකර තිබුණි. එහිදි විශේෂයෙන්ම ජනමාධ්‍ය වල ප‍්‍රමුඛ අවධානයක් යොමුව තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාට අදාළ තොරතුරු වලට පමණක්ම නොවේ. උගන්ඩාවේ වත්මන් ජනාධිපතිවරයාගේ ඒකාධිපති රාජ්‍ය පාලනය, ඔහුගේ මෙවර පදවි ප‍්‍රාප්තියට සමගාමීව එරට ජනතාව අතරින් පැනනැගුණ විරෝධතාවයන්, විශේෂයෙන්ම ජනාධිපති මුසවේනී ජයග‍්‍රහණය කළේ යැයි කියන ජනාධිපතිවරණයේදී ඔහුගේ ප‍්‍රතිවාදියා වූ එරට වත්මන් විරුද්ධ පක්ෂ නායකයා හමුදාව මගින් අත්අඩංගුවට ගැනීම වැනි තොරතුරු දේශිය වශයෙන් අවධානයට ලක් වූ ප‍්‍රවෘත්තීන් විය.

උගන්ඩා ජනාධිපතිගේ පස්වන පදවි ප‍්‍රාප්තිය පිළිබඳව ජාත්‍යන්තර ජනමාධ්‍යයන් ද අතිවිශාල උනන්දුවක් දක්වා තිබිණ. විදේශ ජනමාධ්‍ය එහිදි අවධානය යොමුකර තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ උගන්ඩා ආගමනය පිළිබ`දව නම් නොවේ. අදාළ පදවි ප‍්‍රාප්ත උත්සවය සඳහා සහභාගී වූ ලොව ප‍්‍රමුඛ රටවල් ගණනාවක තානාපතිවරුන් එම නිල උත්සවයට සහභාගී වීම ප‍්‍රතික්ෂේප කරමින් නැගිටයාම පිළිබඳවය. සාමාන්‍යයෙන් රටක ජනාධිපතිවරයෙකුගේ පදවි ප‍්‍රාප්තිය වැනි ප‍්‍රමුඛතම රාජ්‍ය උත්සවයක දී යම් ආරාධිත අමුත්තන් පිරිසක් විරෝධය පළකර නැගිට යන්නේ නම් එය සැලකිය හැක්කේ අදාළ රාජ්‍ය නායකයාට කරන බලවත් අවමානයක් ලෙසටය. අනෙක් අතට එමගින් පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර ප‍්‍රජාව ඒ නායකයා කෙරෙහි දක්වන සැලකිල්ලේ හා ගෞරවයේ තරමය. එහිදී මහින්ද රාජපක්ෂ මහතා තම මිත‍්‍ර උගන්ඩා ජනාධිපතිවරයාට එවැන්නක් සිදු නොකළේය. එහෙත් ඇමරිකාව, බි‍්‍රතාන්‍ය හා යුරෝපා සංගමය නියෝජනය කරන තානාපතිවරුන් ද ඇතු‍ලුව විදේශ දූත මණ්ඩල සාමාජිකයන් බොහෝ දෙනෙක් අනුගමනය කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට වඩා සපුරා වෙනස් පිළිවෙතකි. මහින්ද රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා ලෙස ලොව ප‍්‍රමුඛ ඒකාධිපතියෙකු සමග සවුදිය පුරද්දි ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන විදෙස් රාජ්‍ය දූතයන් ඊට වෙනස් ස්ථාවරයක පිහිටා සිටීම අප ද බලවත් ලෙස අවධානය යොමුකළ යුතු කරුණකි. මන්ද එහිදී ඔහු නාමිකව හෝ නියෝජනය කර ඇත්තේ අපගේ රට වන බැවිනි.

එහෙත් අද වනවිට අපට කතාකිරීමට සිදුව ඇත්තේ ඊට සපුරා වෙනස් කරුණක් කෙරෙහිය. එමගින් පෙර සඳහන් කාරණා අවතක්සේරුවට ලක් නොවෙතත් ඒ සියල්ලටම පෙර අප අවධානය යොමු කළ යුතුව ඇත්තේ ලොව අපකීර්තිමත් රාජ්‍ය නායකයෙකුගේ පදවි ප‍්‍රාප්තිය සඳහා මහින්ද රාජපක්ෂ මහතා ගමන් කර ඇත්තේ කාගේ මුදලින් ද යන්නය. එහිදි හෙළිවුණ තොරතුරු අනුව පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ මහතා ඒ සඳහා ද වැයකර ඇත්තේ මේ රටේ මහජනතාවගේ මුදල් බවය.

වාර්තා වෙමින් පවතින තොරතුරු වලට අනුව මහින්ද රාජපක්ෂ මහතා කොළඹ සිට ඩුබායි හරහා උගන්ඩාව බලා ගමන් කිරීම ස`දහා ගුවන් ගමන් ගාස්තුව ලෙස පමණක් වැයකර ඇති මුදල රුපියල් හාරලක්ෂ විසිපන්දහසකි. එමෙන්ම ඒ සඳහා මුදල් වැය කර ඇත්තේ ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයයි. ජනමාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට විදේශ කටයුතු අමාත්‍යාංශය අඳළ මුදල් වැය කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුවය. එහිදී මතුවන ප‍්‍රධානතම ප‍්‍රශ්නය වන්නේ හිටපු රාජ්‍ය නායකයෙකුගේ වුවද පුද්ගලික විදේශ ගමන් බිමන් සඳහා රටේ මහජන මුදල් වැය කිරීමට හැකියාවක් ඇත් ද යන්නයි. මහින්ද රාජපක්ෂ මහතාට අදාළ සංචාරය සඳහා ලැබී ඇත්තේ රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමෙන් සිදුකරන ලද නිල ආරාධනාවක් නොවේ. එසේ නම් එම ආරාධනය ලැබිය යුත්තේ ශ‍්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහාය. එහෙත් ඉතා පැහැදිලි ලෙස පෙනීයන කරුණක් වන්නේ එය එසේ වී නැති බවයි.

අනෙක් ලැජ්ජා නැති ඉල්ලීම වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා මැයි මස 11 වන දින සිට 15 වන දින දක්වා උගන්ඩාවේ කම්පාලා අගනුවර ගතකර ඇති කාලය තුළ නවාතැන් හා ආහාර ඇතුළත් හෝටල් ගාස්තුව ද ගෙවන ලෙසට ශ‍්‍රී ලංකා රජයෙන් කර ඇති ඉල්ලීමය. එයටත් වඩා අප‍්‍රසන්න ඉල්ලීමක් ඉන් අනතුරුව සිදුවී ඇති බව ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. එනම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා උගන්ඩාව බලා යන අතරතුර ඩුබායි ගුවන් තොටුපළේ පැය කිහිපයක් ගතකිරීමට සිදුවන නිසා ඒ පැය කිහිපය ගතකිරීම සඳහා ද ඩුබායි නගරයේ හෝටල් කාමරයක් වෙන්කිරීම ස`දහා මුදල් ගෙවන ලෙස රජයෙන් කරඇති ඉල්ලීමයි.

එම ඉල්ලීම කොතරමි කෑදර හා නාස්තිකාර එකක් ද යන්න පැහැදිළි වන්නේ රටේ වර්තමාන රාජ්‍ය නායකයා වන මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නිල සංචාරය සඳහා විදේශ ගතවීමේදී අතරමැදි ගුවන් තොටුපොළවල පැය 4 – 5 කාල සීමාවන් ගතකර ඇතත් එහිදි කිසිදු අවස්ථාවක හෝටල් කාමර වෙන් කිරීමට මුදල් වැය කිරීමට කටයුතු නොකිරීම තුළිනි.

මේ සිදුවීම් තුළ පැහැදිළි වන්නේ මහින්ද රාජපක්ෂ මහතා තමන්ට අදාළ කරුණු වලදී රාජ්‍ය දේපළ හා මහජන මුදල් වැයකිරීමේදී අනුගමනය කරඇති පිළිවෙත හා බලයක් නැතිව සිටින අද වැනි කාලයක පවා ඒ ස`දහා ඇති කෑදරකමයි. රටේ පුරවැසියන් ලෙස අපට අදාළ වන්නේ එකිනෙකාගේ රුචිකත්වයන් නොවේ. හිටපු රාජ්‍ය නායකයන්ට රටේ මහජන මුදල් රිසි රිසි ලෙස භාවිතා කිරීමට බලයක් හෝ නීත්‍යානුකූල හැකියාවක් තිබේද යන්නයි. එසේ නොවන්නේ නම් එවැන්නක් ස`දහා කරන ඉල්ලීම් මෙන්ම එවැනි අයථා ඉල්ලීම් ඉටුකිරීමට කටයුතු කිරීම ද බරපතළ වරදක් වේ. රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමක් ද වේ. මහින්ද රාජපක්ෂ මහතා කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාවේ විදේශ කටයුතු පිළිබ`ද අමාත්‍යාංශය මේ පිළිබ`දව පැහැදිළි ප‍්‍රකාශයක් සිදුකළ යුතුව ඇත්තේ එබැවිනි.

සුනිල් ජයසේකර
ජේ්‍ය්ෂ්ඨ මාධ්‍යවේදී

Archive

Latest news

Related news