Thursday, May 2, 2024

“වෙනස් වීමට සියලූම දෙනාට අයිතියක් තිබෙනවා. තමිලිනිත් වෙනස් වුණා. ” – ධර්මසිරි බණ්ඩාරනායක

එල් ටී ටී ඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ හිටපු නායිකා ශිවකාමිනි හෙවත් තමිළිනි විසින් කොටි සංවිධානය හා සම්බන්ධ රහසිගත ක‍්‍රියාකාරකම් හා තම බිහිසුණු අත්දැකීම් විවරණය කරමින් දමිළ බසින් එළිදැක්වූ කෘතියේ සිංහල පරිවර්ථනය “තියුණු අසිපතක සෙවන යට” කෘතිය ඊයේ එනම් මැයි 13 වෙනිදා පස්වරුවේදි, විශාල ජන සහභාගිත්වයක් සමගින් කොළඹ පදනම් ආයාතනයේදි දොරට වැඩිණි.

“තියුණු අසිපතක සෙවන යට” කෘතියේ සිංහල පරිවර්ථනයේ පළමු පිටපත තමිලිනි ජීවත්කරවන්නට මහත් පරිශ‍්‍රමයක් ගත් වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා වෙත තමිලිනිගේ ස්වාමිපුරුෂයා වන ජෙයකුමාර් විසින් පිළිගැන්වීය.

තමිලිනි විසින් මෙම ආන්දෝලනාත්මක කෘතිය රචනා කරනු ලැබුවේ ඇය පිළිකා රෝගයට ගොදුරුවී අවාසනාවන්ත ලෙසින් මරණය වැළඳ ගැනීමට ආසන්නව සිටියදී සිය ඉල්ලීම මත යැයි කෘතියේ ප‍්‍රකාශක ප‍්‍රවීණ සිනමාවේදි , මානව හිමිකම් ක‍්‍රියාධර ධර්මසිරි බණ්ඩාරනායක පිළිගැනීමේ කථාව සිදුකරමින් පැවසීය.

download (1)
ධර්මසිරි බණ්ඩාරනායක

ඔහු මෙසේ ද පැවසීය.

“ඕනෑම පුද්ගලයෙකුට වෙනස් වෙන්නට අයිතියක් තිබෙනවා. පුද්ගලයෙක් වයසට යන විට වෙනස් වෙනවා. පුද්ගලයෙක් විවිධ අත්දැකීම් ලබන කොට වෙනස් වෙනවා. තමිලිනි වෙනස් වුණා. මේ කෘතිය තුළින් සිය වෙනස්වීම ඇය පෙන්නුම් කළා. අපි ඒ වෙනස වෙනුවෙන් පෙනී සිටියා.”

“තමිලිනිගේ මේ කෘතිය සඳහා සිංහල පාඨකයින්ගෙන් ලැබී තිබෙන දැඩි ඉල්ලූම, යුධ සාහිත්‍යක ආරම්භය අපට දනවනවා. යුද්ධය අවසන් වු නමුත් යුධ සාහිත්‍යයක් ආරම්භ වුණේ නැහැ. නුමත් මේ කෘතිය, ඒ යුධ සාහිත්‍යයක ආරම්භයයි. මේ යුධ සාහිත්‍ය අවශ්‍යවෙනවා මනුෂ්‍යත්වය රැකගැනීම සඳහා.”

“තමිළිණි සිය කෘතියෙන් තමන් දිර්ඝකාලිනව බැඳී සිටී එල් ටී ටී ඊ සංවිධානය විවේචනයට ලක්කරනවා. එහෙත් ඇගේ දිවියේ අවසානය තෙක් ඈ අරගලකාරිණියක ලෙසට ජීවිත් වුණා. ඇය වෙනස් වුණා. සමාජයට ද වෙනස් වෙන්න කියා ඇය මේ කෘතිය හරහා ආයාචනයක් කරනවා. මෙම කෘතිය අලෙවි කිරීමෙන් ලබන ආදායම මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කරන ලෙසට කළ ඉල්ලීමෙන් ම ඇය නැවත උපදිනවා. බලන්න ඇගේ වෙනස්වීම. කොටි ධේනුවකට ප‍්‍රථිකාර කිරීම ගැන ප‍්‍රශ්න ආවා. ඇයව භාරදුන්නේ කවුද කියලා සෙව්වා. නමුත් වෛද්‍යරයාටත් ඇය එක් රෝගියෙක් පමණක් වුණා. ඇගේ ජාතිය ආගම වර්ගය බැලූවෙ නැහැ.”

“ඇයව සුවපත් කරන්නට මහත් වෙහෙසක් ගත් මහරගම රෝහලේ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා ඇතුලූ, ඇයට උපකාර කළ සිංහල අප සියලූ දෙනාගේ කරුණාව පමණයි ඇය තුළ පරිවර්ථනයක් ඇතිවීමට බලපෑවේ යන්න ඇය විසින්ම ඇගේ අවසන් අවස්ථාවේදි වෛද්‍යවරයාගේ දෑත් අල්ලාගෙන හඬමින් ප‍්‍රකාශ කළා. ස්තුති කළා. එසේනම් මේ සමාජය තුළ ඒ වෙනස ඇතිකරන්නට, සාමය සංහිදීයාව ඇතිකරන්නට අප සතුව තිබෙන ලොකුම අවිය තමයි කරුණාව මෛත‍්‍රිය දයාව.”

“අපේ සමාජයේ සිටිනවා මෙවැනි පරිවර්ථනයක් නොවෙන දැඩි සිත් ඇති, දරුණු ජාතිවාදි  උන්මත්තකයෝ. අන්න ඒ උන්මත්තිකයින්ට ප‍්‍රතිප‍්‍රහාර දැක්වීමක් වශයෙන් තමයි මේ පොත සිංහලට පරිවර්ථනය කළේ.” යැයි ධර්මසිරි බණ්ඩාරනායක පැවසීය.

අතීතයේ දි මෙන් මේ රටේ රුධිර ගංගාවන් ගලායාමේ බිහිසුණු, අමිහිරි, වේදනාකාරී තත්ත්වයන් තවදුරටත් ඇති නොවේවා යන උත්තුංග පරමාර්ථය පෙරදැරි කරගනිමින් තමිලිනි සිය යුධ අත්දැකීම් පිළිබඳව තුළනාත්මකව විවරණයක යෙදෙන්නීය.

මෙම අවස්ථාව සංවිධානය කළ ඔවුන් “යුද්ධයේදි මේ බිමේ මිය ගිය සෑම මනුෂයෙකු වෙනුවෙන් ම එකම පහනක් පමණක්” දල්වා තිබිණි. එය එසේ ප‍්‍රකාශ විය.

කෘතියේ පරිවර්ථක යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ් ජ්‍යෙශ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් ද සමාජ හා දේශපාලන විශ්ලේෂක ගාමිණි වියන්ගොඩ සහ තමිලිනිගේ ස්වාමිපුරුෂයා වන ජෙයක්කුමාර් ද සභාව ඇමතීය.

“යුද්ධය අපි පිටුදකිනවා නමුත් අරගලය අපි අනුමත කරනවා. අරගල අවශ්‍යයි. අරගලයක් නොකරන මිනිසෙක් තිරිසනෙක් ගානට වැටෙනවා. තමිලිනිගේ වෙනස වෙනුවෙන් පෙනීසිටීම නිසා අපිට ඇතැමුන් කොටි කීවා. කමක් නැහැ. මනුෂ්‍යත්වය වෙනුවෙන්, සාමය, සංහිඳියාව වෙනුවෙනුයි අපි එවැනි ලේබල් ගසාගන්නේ.” යැයි ධර්මසිරි බණ්ඩාරනායක අවසන අපට කීහ.
සටහන සහ ඡායාරූප –  මෙලනි මානෙල් පෙරේරා / අයිතිය වෙබ් අඩවිය

Archive

Latest news

Related news