Friday, May 3, 2024

ජනමාධ්‍ය ලේකම් මාධ්‍යට දේශපාලන උපදෙස් දෙමින් යැවූ ඇමැති නොදන්නා ලිපිය

ජනමාධ්‍ය අමාත්‍යාංශයට මෑතදී පත් කරන ලද ලේකම් නිමල් බොපගේ මෙරට සියළුම ජනමාධ්‍ය වෙත දෙශපාලන උපදෙස් දෙමින් ලිපියක් නිකුත් කර තිබේ. එහි ඇත්තේ ජනමාධ්‍ය ආචර ධර්ම වෙනුවට දේශපාලන ස්ථාවරයක් ගන්නා ලෙස කැරෙන ඉල්ලීමකි. එම ලිපිය පහත පළවේ.

මෙම ලිපිය පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරැණාතිලක පවසා ඇති බව ශ්‍රී ලංකා මිරර් වාර්තා කරයි. එම වාර්තාව මෙම ලිපිය අවසානයේ පළ කර ඇත.

යහපාලනය මත පදනම් වූ වත්මන් රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය අනුව කිසිදු වාරණයකින් තොරව මෙරට මාධ්‍ය නිදහස රිසි සේ දළු ලා වැඩෙන්නට ඉඩ දී තිබියදී නීතියට, සදාචාරයට හා ජනමාධ්‍ය කලාවේ වෘත්තීය ආචාර ධර්ම වලට ද පටහැනිව යම් යම් පෞද්ගලික අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා එය ඉතා සූක්ෂම ලෙස අවභාවිතා කිරීමක් පිලිබඳව මා වෙත වාර්තා වී ඇති බැවින් ඒ පිලිබඳ ඔබගේ ගෞරවනීය අවධානය යොමු කරවමි.

වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය කුමක්ද යන්න ඉතා පැහැදිලිව අර්ථ නිරූපණය කර තිබියදී, එකී විපක්ෂයට අයත් විපක්ෂ නායකවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ හෝ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ කිසිදු සම්බන්ධතාවයකින්ද තොරව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන්නා වූ එක් ප්‍රධාන දේශපාලන පක්ෂයකට අයත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එක්ව “ඒකාබද්ධ විපක්ෂය“ නමින් කිසියම් සංවිධානාත්මක දේශපාලන ප්‍රචාරක කටයුත්තක නිරත වී ඇති බවත්, ඇතැම් මාධ්‍ය ආයතන හා ඇතැම් මාධ්‍යවේදීන් කිසිදු වග විභාගයකින් තොරව එය ප්‍රවර්ධනය කිරීම සඳහා අනුබල දෙමින් සිටින බවත් එකී වාර්තා වල සඳහන් වේ.

වත්මන් යහපාලන රජය බලයට පත් වී ගෙවී ගිය පළමු වසර තුලදීම මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දර්ශකයේ පියවර 24 ක් ඉදිරියට රැගෙන එමින් මෙරට මාධ්‍ය නිදහස තව දුරටත සීඝ්‍රයෙන් පුළුල් කර දීම වත්මන් රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය වී තිබියදී එකී උතුම් වූ මාධ්‍ය නිදහස ඍජුවම අවභාවිත කරමින් ජනතාව නොමග යවන්නා වූ පද භාවිතයක් සඳහා මාධ්‍ය දායකත්වය ලබා දීම ඉහත කී පරිදි නීතියට, සදාචාරයට මෙන්ම වෘත්තීය ආචාර ධර්ම වලට ද පටහැනිය.

තවද මෙහි පවත්නා දෝෂ සහගත භාවය පිළිබඳව පාර්ලිමේන්තුවේ කථානායකතුමා විසින්ද දැඩිව අවධාරණය කර ඇති බව ඉතා හොඳින් දන්නා පළපුරුදු, කීර්තිමත් පරිනත මාධ්‍යවේදීන් වන ඔබ, මෙවැනි අවභාවිතයන් ක්‍රියාවට නැංවීම සඳහා දායක වීමෙන් ඔබගේ වෘත්තීය ගරුත්වයට සිදුකර ගන්නා හානියද සුළුපටු නොවේ.

එපමණක් ද නොව ඔබ විසින් දැන හෝ නොදැන මෙබඳු අවභාවිතයකට ඉඩදීම හෝ එය ප්‍රවර්ධනය කිරීම සඳහා දායක වීම තුලින් අනවශ්‍ය, අහිතකර හා නීති විරෝධී පූර්වාදර්ශයක් සමාජගත වීම වැළැක්විය නොහැකි අතර එමගින් ඔබ නීතිය ඉදිරියේ ප්‍රතිබන්ධනය වීමට ද ඉඩ ඇත. එහි වඩාත් අහිතකර ප්‍රතිඵලය වන්නේ විවිධ පුද්ගලයන් විසින් මෙවැනි මාධ්‍ය අවභාවිතයන් ඔස්සේ තම පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ ප්‍රවනතාවයක් නිර්මාණය වීමය.

එබැවින් ඉතාමත් සංවේදී කාරණයක් වන උතුම් වූ මාධ්‍ය නිදහසට අබමල් රේණුවක තරම් හෝ හානියක් නොවන පරිදි එය තව දුරටත් පුළුල් කිරීමේ උදාර අරමුණින් මෙවැනි අවභාවිතයන් නිශ්ක්‍රීය කිරීමේ තීන්දුවට එළැඹීම සඳහා තම හෘද සාක්ෂිය පමණක්ම විනිශ්චයාසනාරූඪ කරවා කටයුතු කරන මෙන් මෙරට සමස්ථ පොදු ජනතාවට නිවැරදි තොරතුරු වාර්තා කිරීමේ ඒකායන අධිෂ්ඨානයෙන් යුක්තව ඉතා ගෞරවයෙන් ඉල්ලමි.

අත්සන් කෙළේ

නීතිඥ නිමල් බෝපගේ
ලේකම්
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය

 ලේකම්ගේ ලියුම ගැන මම දන්නෙ නෑ – ගයන්ත

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන්නා වූ ප්‍රධාන දේශපාලන පක්ෂයක කිහිප දෙනෙකු “ඒකාබද්ධ විපක්ෂය” නමින් කටයුතු කිරීම නීතියට, සදාචාරයට මෙන්ම මාධ්‍ය වෘත්තිකයින්ගේ ආචාර ධර්මවලට පටහැණි බව දක්වමින් සිය අමාත්‍යංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා විසින් නිකුත් කර ඇති ලිපිය සම්බන්ධයෙන් තමා නොදන්නා බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කියයි.

එය නිවැරදි කිරීමට කටයුතු කරන බවද ජනමාධ්‍ය ඇමතිවරයා මාධ්‍යට පවසා ඇත.

ජනමාධ්‍ය ලේකම්වරයා නිකුත් කර තිබූ ලිපියේ වැඩිදුරටත් දක්වා තිබුණේ ඒකාබද්ධ විපක්‍ෂය නමින් සිදු කෙරෙන ප්‍රවර්ධනයන් දෝෂ සහගත බව කතානායකවරයා විසින්ද අවධාරණය කර ඇති බැවින් එය ප්‍රවර්ධනය කිරීම සඳහා දායකවීම තුළින් අනවශ්‍ය, අහිතකර හා නීතිවිරෝධී පූර්වාදර්ශයක් සමාජගත විය හැකි බවයි.

Archive

Latest news

Related news