Thursday, May 2, 2024

HIV / AIDS සම්බන්ධ වැරදි මාධ්‍ය වාර්තාකරණය සඳහා නිදසුනක්‍

පසු ගිය පෙබරවාරියේදී කුලියාපිටියේ පාසල් සිසුවකු සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනාත්මක සිද්ධිය ඔබට මතක ද?

එම සිද්ධියට භාජනය වූයේ වයස අවුරුදු පහ සපිරී පළමු ශ්‍රේණියට ඇතුළත් කරන ලද අසරණ දරුවෙකි. දරුවාගේ පියා මීට කලකට ඉහතදී මිය ගියේ AIDS රෝගයෙන් බවට සමාජයේ කටකතාවක් පැතිර ගියේ ය. එවකට මෙම දරුවා පෙර පාසලක අධ්‍යාපනය ලැබු‍වේ ය. ඔහු නිසි වයස සම්පූර්ණ කර පළමු ශ්‍රේණියට ඇතුළත් කරන්නට අයදුම් කළ විට ඔහු භාර ගැනීම කුලියාපිටිය අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 10ක් ම විසින් ප්‍ර‍තික්ෂේප කරන ලදී.

දෙමසක් ගත වන තෙක් දරුවාට පාසලක් නො ලැබුණු නිසා අවසානයේදී මව කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළා ය. අවසානයේදී අධ්‍යාපන බලධාරීන් ප්‍ර‍ශ්නයට මැදිහත් වී දරුවාට පාසලක් ලබා දීමට කටයුතු කළමුත් ඉන් පසු සිදු වූයේ අරුම පුදුම සිද්ධියකි.

ඒ දරුවා පාසලට ඇතුළත් කළ නිසා සෙසු දෙමව්පියෝ සිය දරුවන් 186ක් පාසලෙන් ඉවත් කර ගත් හ. තම දරුවා HIV ආසාදිතයකු නොවන බව ඔහුගේ රුධිර පරීක්ෂණ වාර්තාවේ පැහැදිලිව සඳහන් වන බව සෞඛ්‍ය බලධාරීන් පැවසුවත්, පාසල් දරුවන්ගේ මව්පියන් එය පිළිගැනීමට කැමැත්තක් දැක්වූයේ නැත. එම සිද්ධිය පිළිබඳ Kiyanna වාර්තාව මෙතැනින්.

මෙවැනි තත්වයන් ඇති වීමට ඇතැම් ජනමාධ්‍ය දායක වන ආකාරය පිළිබඳ කදිම නිදසුනක් මේ සමග ගෙන හැර දක්වනු ලැබේ.

lankadeepa2016 අප්‍රේල් 20දා ලංකාදීප පුවත්පතේ දෙවන කොටසෙහි ප්‍ර‍ධාන පුවත ලෙස පළ කර ඇති මෙම ප්‍ර‍වෘත්තිය බලන්න. එහි අන්තර්ගතයේ ඇති කරුණු කිසිවක් අසත්‍ය නො වේ. එසේම, එහි මූලාශ්‍ර‍ද ඉතා විශ්වසනීය ය.

එහෙත්, එමගින් දෙනු ලබන පණිවුඩය සාධනීය එකක් නො වේ. මාස තුනක් ඇතුළත 70කට ඒඩ්ස් වැළඳී ඇති බව සිරස්තලයෙන් කීම බරපතල නො මග යැවීමක් කරන අසත්‍යයකි. නැති භයානක තත්වයක් ඇති කිරීමකි.

සෑම HIV ආසාදිතයකු ම ඒඩ්ස් රෝගියකු ලෙස හැඳින්වීම ඉතා ම වැරදි ය.

HIV හා ඒඩ්ස් අතර වෙනස පැහැදිලි කරමින් HIV සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මෙසේ පවසයි: “අපගේ සිරුරේ ප්‍රතිශක්තිය ඇති කරනු ලබන්නේ CD-4 නමින් හඳුන්වන සුදු රුධිරාණු මගිනුයි. ඒවා සාමාන්‍යයෙන් රුධිරය මයික්‍රෝ ලීටරයකට 500-1500ක් අතර ප්‍රමාණයක් තිබෙනවා. කෙනකුගේ සිරුරට HIV නම් එඩ්ස් රෝග කාරක වයිරසය ඇතුළු වූ පසු මේ ප්‍රමාණය අඩු වෙනවා. වෛරසය බෝවන්නට පටන් ගන්නේ මෙම CD-4 කියන සෛලය ඇතුළේ. ඒ සමගම මෙම සෛල විනාශ වෙන්න පටන් ගන්නවා. ප්‍රමාණය අඩුවීමත් සමග කෙනෙක්ගේ ප්‍රතිශක්තිය දුර්වල වෙන්න පටන් ගන්නවා. මෙසේ අඩුවී ගොස් AIDS අර්ථ දැක්විමෙි රෝග හැදෙනවා මෙිවා සාමාන්‍යයෙන් CD-4 සෛල සංඛ්‍යාව 200 ට වඩා අඩුවිමත් සමග මතුවිම සාමාන්‍යයෙන් සිදුවෙි. ඵවිට රෝගියා එඩිස් තත්ත්වයට පත්වි ඇති බවට නිගමනය කරනු ලැබේ.”

HIV තවදුරටත් මාරාන්තික රෝගයක් නො වන බව UNAIDS දේශීය අධ්‍යක්ෂ වෛද්‍ය දයානාත් රණතුංග අවධාරණය කරයි. දැන් HIV ප්‍ර‍තිකාරක ඖෂධ පෙර මෙන් පෙති, කරල් ගොඩක් නො වන බවත්, දිනකට එක් පෙත්තක් පමණක් බවත්, එහි අතුරු ආබාධ ද අඩු බවත් ඔහු පෙන්වා දෙයි. එබැවින්, දැන් HIV ආසාදිතයකුටත් දියවැඩියා, අධි රුධිර පීඩන ආදී රෝගියකු ජීවත් වනවා සේ ම වෛද්‍ය සත්කාර හා ඖෂධ සමග දිගු කලක් ජීවත් විය හැකි බව ඔහු පවසයි.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ දත්ත අනුව 2016 වසරේ මුල් කාර්තුව ඇතුළත HIV ආසාදිතයන් 68දෙනෙකු හඳුනාගෙන තිබේ.

2015 වසරේ අවසන් කාර්තුවේදී ද අලුතෙන් HIV ආසාදිතයන් 68දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව බැලූ කල පුවත්පත් වාර්තාවේ ඇති දත්ත වනාහි අඩු වීමක් හෝ වැඩි වීමක් හෝ නො වේ. විශේෂ අවදානම් තත්වයක් ද නො වේ. එය සාමාන්‍ය දත්තයකි. ස්ත්‍රී පුරුෂ හා වයස් සාධක පිළිබඳ මෙහි සඳහන් වන දත්ත ද සාමාන්‍ය ඒවා ය. කිසිවෙකු ඒ සම්බන්ධයෙන් බිය විය යුතු නැත.

HIV සම්බන්ධ වාර්තාකරණයේදී ජනමාධ්‍යකරුවන් දැඩි ලෙස පරිස්සම් වීම අත්‍යවශ්‍ය දෙයකි. ඔවුන් HIV පිළිබඳ වඩා දැනුවත් වීම ඉතා වැදගත් ය.

HIV සම්බන්ධ වාර්තාකරණයේදී ඕස්ට්‍රේලියානු මාධ්‍යවලට උපදෙස් දෙන වෙබ් අඩවියක සම්බන්ධතා පුරුක මෙහි දැක්වේ. ලංකාවට ද එවැන්නක් අවශ්‍ය ය.

– කියන්න

Archive

Latest news

Related news