Thursday, July 18, 2024

අයිතිකාරයෙක් නැති උතුරු- දකුණු මාධ්‍ය ට්‍රිප් එක

( ජනමාධ්‍ය ඇමැති කරුණාතිලක ගමනට සිග්නල් දෙමින්)

උතුරු – දකුණු මාධ්‍ය සහෝදරත්වය යා කරන සංහිඳියාවේ චාරිකාවට වවුනියාවේදී විරෝධය; යාල්දේවියේදී මාධ්‍යවේදීන්ට කුඩම්මාගේ සැලකිලි.

ජනමාධ්‍ය අමාත්‍යාංශය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්‌ව සංවිධානය කළ ‘දකුණේ මාධ්‍ය සහෝදරත්වය හා උතුරේ මාධ්‍ය සහෝදරත්වය යා කරන සංහිඳියාවේ චාරිකාව’ පෙරේදා (26 දා) යාල්දේවි දුම්රියෙන් යාපනයට ගිය ගමන අතර යාල් දේවි දුම්රිය වව්නියාව දුම්රිය ස්‌ථානයට පැමිණි අවස්‌ථාවේ එහි රැඳී සිටි වව්නියාව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක හා නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන්ට සිය විරෝධය පළකරන්නට වීමත් සමඟ දැඩි උණුසුම් වචන හුවමාරුවක්‌ ඇති විය.මෙම වැඩසටහන පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යාංශය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් තමන් දැනුවත් නොකළ බව වවුනියාව මාධ්‍යවේදීහු ජනමාධ්‍ය ඇමැතිවරයාට කියා සිටියහ.

දෙපාර්ශ්වය අතර විනාඩි 15 ක පමණ කාලයක්‌ දැඩි උණුසුම් වචන හුවමාරුවක්‌ ඇතිවිය.

දකුණේ මාධ්‍යවේදීන් 150 කට අධික කණ්‌ඩායමක්‌ කොළඹ කොටුවෙන් යාල් දේවි දුම්රියේ නැගී පෙරේදා (26 දා) උදේ යාපනය බලා යැමට ගමන් ආරම්භ කළ අතර, මේ සඳහා ජනමාධ්‍ය අමාත්‍යවරයාත්, නියෝජ්‍ය අමාත්‍යවරයාත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ඇතුළුව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු රැසක්‌ සහභාගි වී සිටියහ.

මෙම පිරිසට ගමන් කිරීම සඳහා යාල් දේවි දුම්රියේ මැදිරි 3 ක්‌ සම්පූර්ණයෙන්ම වෙන්කර තිබුණි. නමුත් මැදිරි දෙකක්‌ සම්පූර්ණයෙන්ම වාගේ සාමාන්‍ය ජනතාව විසින් ආක්‍රමණය කර තිබීම හේතුවෙන් මාධ්‍යවේදීන් රැසකටම අනුරාධපුරය දක්‌වාම කිසිදු පහසුකමක්‌ නොමැතිව සිටගෙන ගමන් කිරීමට සිදුවිය.

එහිදී ජනමාධ්‍යවේදීන් මේ පිළිබඳව දිගින් දිගටම අමාත්‍යවරයා හා නියෝජ්‍ය අමාත්‍යවරයාට කරුණු සැළකර සිටියත් ඔවුන් දෙදෙනාටම එම ගැටලුවට විසඳුමක්‌ ලබාදීමට නොහැකි විය.

මේ හේතුවෙන් මාධ්‍යවේදීන් රැසක්‌ දුම්රියෙන් බැස ආපසු පිටව ගිය අතර, ඉතිරි පිරිස ගමනට එක්‌ වූහ. ඔවුන්ද ගමනට එක්‌වූයේ පොල්ගහවෙල දුම්රිය ස්‌ථානයේදී මාධ්‍යවේදීන්ට අයත් මැදිරි තුළ බලහත්කාරයෙන් රැඳී සිටි මගීන් ඉවත් කර මාධ්‍යවේදීන්ට එම මැදිරි දෙක ලබා දෙන බවට දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් දුන් පොරොන්දුව මතයි. පසුව අනුරාධපුරයෙන් යාල් දේවි දුම්රියේ පැමිණි මගීන්ගෙන් බහුතරයක්‌ම බැස යනතුරුම දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අදාළ මැදිරි දෙක මාධ්‍යවේදීන්ට ලබාදීමට නොහැකි විය. මාධ්‍යවේදීන් යාල් දේවි දුම්රියේ අසුන් ගත්තේ අනුරාධපුර දුම්රිය ස්‌ථානය පසුවීමෙන් පසුවයි.

ඉන්පසු දුම්රිය යාපනය දක්‌වා පැමිණි අතර ඒ එන අතරවාරයේ මාධ්‍යවේදීන්ට බඩගින්නේ සිටීමට සිදුවිය. මාධ්‍යවේදීන්ට දිවා ආහාරය ලැබුණේ සවස 6.00 ත් පසුවීමෙන් පසුවය.

මෙම මුළු වැඩසටහනම පෙරේදා දවස පුරාම කිසිදු සැලසුමකින් තොරව ක්‍රියාත්මක වූ අතර, එහි පුදුමය දනවන කාරණය වන්නේ මෙම වැඩසටහන සංවිධානය කළ පුද්ගලයා හෝ සංවිධායකයෝ කවුරුන්ද යන්න සොයා ගැනීමට මාධ්‍යවේදීන්ට නොහැකි වීමයි.

මෙහි විශේෂත්වය වූයේ මාධ්‍යවේදීන් බහුතරයක්‌ දුම්රියේ දුක්‌ විඳිමින් ගමන් කරද්දී ජනමාධ්‍ය ඇමැතිවරයාත්, නියෝජ්‍ය ඇමැතිවරයාත්, මාධ්‍යවේදීන් සුළු පිරිසකුත් ඔවුන් ගමන් ගත් මැදිරියේ සැපට වාඩි වී ගමනාන්තය තෙක්‌ යැමයි.

(ප්‍රියදර්ශන ලියනගේ යාපනයේ සිට/දිවයින)

Archive

Latest news

Related news