Friday, April 26, 2024

ඇඹිලිපිටිය මරණය: පොලිස් ප්‍රකාශ ‘පරස්පරයි’

( සුමිත් ප්‍රසන්න ජයවර්ධන නමැති එක්දරු පියාගේ සිරුර ඇඹිලිපිටිය නව නගර පොදු සුසාන භූමියේදී නැවතත් ගොඩ ගනු ලැබුවේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සදහායි)

ඇඹිලිපිටිය පැවති සාදයකට පැමිණි පිරිසක් හා පොලිසිය අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන නමැති තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් ලබා දී ඇති ප්‍රකාශ පරස්පර විරෝධී බව රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

සිද්ධිය වූ දිනයේ එතැනට පැමිණි ඇඹිලිපිටිය පොලිස් නිලධාරීන් විසින් ලබා දී ඇති ප්‍රකාශ පරස්පර විරෝධී බැවින් එදින පොලිසියේ හැසිරිම සම්බන්ධයෙන් සැකයක් මතු වන බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ දැනුම් දී ඇත.

පරස්පරතා රැසක්

සබරගමුව සහ දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ලබා දී ඇති විමර්ශන වාර්තාව සහ රහස් පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශන වාර්තාව අතර විශාල පරස්පරතා ඇති බවද රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසීය.

අදාළ මරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලදී ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයා මෙන්ම අධිකරණයද නියෝග කොට ඇති අවස්ථාවක විමර්ශන පවත්වන රහස් පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපති උපදෙස් පැතීම අනවශ්‍ය බවයි රජයේ නීතිඥවරයා කියා සිටියේ.

අදාළ නඩු විභාගය බදාදා ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු හමුවේ කැඳවූ අතර සැකපිට අත්අඩංගුවේ පසු වන ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරි චමින්ද ධර්මරත්න අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබිණි.

පසුගිය ජනවාරි 04 වනදා ඇතිවූ ගැටුමින් දින තුනකට පසු(07) සුමිත් ප්‍රසන්න මිය ගියේය.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් දෙවන වර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අඟහරුවාදා (15) සිරුර ගොඩ ගෙන කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගෙන ගොස් ඇත.

සජීවී සාක්ෂි’

සාදය පැවති නිවස අවට ගොඩනැගිලිවල තිබූ සීසීටීවී කැමරාවල දර්ශන සහ වෙනත් විද්‍යාත්මක සාක්ෂිවලට වඩා වැදගත් වනුයේ සජීවී සාක්ෂි බව රජයේ නීතිඥවරයා පෙන්වා දී තිබේ.

එසේම මෙම සිද්ධිය වූ අවස්ථාවේ එහි පැමිණි බව පැවසෙන පොලිස් නිලධාරින්ගේ ජංගම දුරකතන රහස් පොලිසිය බාරයට ගෙන ඒවායේ වීඩියෝ දර්ශන ඇත්නම් ඒවා විමර්ශනයට ලක් කළ යුතු බවද රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.

එහිදී වෙඩි තැබීමක් වූ බවට තොරතුරු ඇති බැවින් අදාළ ගිනි අවිය සම්බන්ධයෙන් නිකුත් කළ උණ්ඩ ප්‍රමාණයන් සහ ප්‍රයෝජනයට ගනු ලැබූ උණ්ඩ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවන්නැයි රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

සැකකාර සහකාර පොලිස් අධිකාරීවරයා මාර්තු 30 වනදා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තැබීමටයි අධිකරණය නියෝග කළේ.

සාදයකට කඩා වැදුණු ඇඹිලිපිටිය පොලිසියේ සාමාජිකයන් පිරිසක් පොලු වලින් පහරදීමෙන් පසු විසිනව හැවිරිදි එක් දරු පියා ඉහළ මහලකින් බිමට තල්ලු කර මරා දැමූ බවටයි සාදයට සහභාගී වූ පිරිස් සහ මිය ගිය අයගේ ඥාතීන් චෝදනා කරන්නේ.

මේ අතර පොලිසිය ප්‍රකාශ කරන්නේ මරුමුවට පත් පුද්ගලයා ඉහළ මහලකින් බිමට පැන ඇති බවයි.

– බීබීසී සිංහල

Archive

Latest news

Related news