Thursday, May 2, 2024

එල්ටීටීඊ කවරය නිසා තමිලිනීගේ පොත එළිදැක්වීමට පොලීසියෙන් අවසර නෑ

තමිලිනීගේ ජීවිත කතාව ඇතුළත් පොතහි  පිටකවරය, තමිලිනී එල්.ටී.ටී.ඊ. නිළ ඇඳුමින් සිටින සහ එම සංවිධානයේ ධජය සහිත ඡායාරූප පොතෙන් ඉවත් කරන්නේ නම් පොත එළිදැක්වීම සඳහා අවසර ලබාදිය හැකියැයි කිළිනොච්චි පොලීසිය පැවසූ බව තමිලිනීගේ සැමියා පවසයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු දේශපාලන අංශ නායිකා තමිලිනී හෙවත් නඩරාජා ශිවකාමි පිළිකාවක් හේතුවෙන් පසුගිය කාලයේ මියගියාය. ඇය මියයාමට පෙර සිය ජීවිත අත්දැකීම් ඇසුරින් පොතක් ලියා ඇති අතර ඇයගේ සැමියා එය ප්‍රකාශයට පත්කිරීමට සූදානම් වේ.

අදාල කෘතියේ දෙමළ පිටපත 19 වැනිදා එළිදැක්වීමට සූදානම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසර ගැනීමට තමිලිනීගේ සැමියා කිලිනොච්චිය පොලීසිය වෙත ගොස් සිය අවශ්‍යතාවය ප්‍රකාශ කර තිබේ. එහෙත් පොලීසියෙන් ඒ සඳහා අවසර නොලැබුණු බව ඔහු පවසයි.

මෙම ග්‍රන්ථය ISBN අංකය ද සහිතව නීත්‍යනුකූලව මුද්‍රණය කර ඇති ග්‍රන්ථයක් හෙයින් පොලීසියේ මෙම බාධාකිරීම් ගැටලු සහගත බව තමිලිනීගේ සැමියා අපවෙත ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අප කිලිනොච්චි පොලීසියෙන් විමසීමක් කළ අතර එහි නිළධාරියෙකු ප්‍රකාශ කළේ තවමත් පොත එළිදැක්වීම සඳහා අවසර ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නිළ ඇඳුම් හා ධජය ප්‍රදර්ශනය කරන ඡායාරූප තිබෙන හෙයින් අවසර දීම පිළිබඳව ගැටලුවක් පවතින බවත් මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ඉල්ලා ඇති බවත් අදාල නිලධාරියා ප්‍රකාශ කළේය. මේ වනතෙක් ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලැබී නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර වාර්තා වන්නේ අදාල ග්‍රන්ථය මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් තමිලිනීගේ සැමියා අද සවස් වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවයි.
ලංකා නිව්ස්වෙබ්

Archive

Latest news

Related news