Thursday, May 2, 2024

අධ්‍යාපන ඇමැතිතුමනි, කුළියාපිටියේ මවගෙන් සහ දරුවාගෙන් සමාව අයදින්න, ලිංගිකත්ව අධ්‍යාපනයට දොරහරින්න!

2016, මාර්තු 09.

ගරු අධ්‍යාපන ඇමතිතුමා වෙත විවෘත ලිපියක්.

ගරු ඇමති තුමනි,

මෙම ලිපිය ඔබ අතට එන්නේ, එච්.අයි.වී සමඟ ජීවත් වන පුද්ගලයන්ගෙන් සැදුම් ලත් ආයතනයක් වන පොසිටිව් හෝප්ස් එලායන්ස්, ශ්‍රී ලංකාවේ නැව් කරුවන් අතර එච්.අයි.වී නිවාරණය වෙනුවෙන් වෙහෙස වී වැඩ කරන ජාතික  නැව් කරුවන්ගේ වෘත්තීය සමිතිය, ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය සහ අයිතිවාසිකම් වෙනුවෙන් අධිවාචනය කරන තරුණ ප්‍රජාවෙන් සැදුම් ලත් ශ්‍රී ලංකා තරුණ අධිවාචන ජාලය, පරිපූර්ණ ලිංගිකත්වය සහ සම්බන්ධතා අධ්‍යාපනය සහ එච්.අයි.වී නිවාරණය, සහය සහ සත්කාර වෙනුවෙන් වැඩ කරන ද ග්‍රාස්රූටට් ට්‍රස්ට් ආයතනය  යන ආයතන වෙතිනි.

ජන මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට, 2016 මාර්තු 05 වන දින ඔබ විසින් කරන ලද ප්‍රකාශය විවිධාකාරයේ ප්‍රතිචාරයන් මතු කර ඇති බවට සැකයක් නැත. මෙම ප්‍රතිචාරය, එච්.අයි.වී සමඟ ජීවත් වන පුද්ගලයන් සහ ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී නිවාරණය  සඳහා වැඩ කරන පුද්ගලයන් වෙනුවෙනි. එච්.අයි.වී සමඟ ජීවත් වන පුද්ගලයෝ මේ රටේ පුරවැසියෝය. ඔවුහු සිය එච්.අයි.වී තත්ත්වය නිසා විවිධාකාරයේ අසීරු සහ අභියෝගාත්මක අවස්ථාවලට  එනම්, කොන් කිරීම සහ වෙනස්කොට සැළකීම නිසා මතු වන තත්ත්වයන්ට නිරන්තරයෙන් මුහුණ දෙති.

1980 දශකයේදී එච්.අයි.වී පිළිබඳ පැවති පණිවුඩය එනම්, ඒඩ්ස් මාරාන්තිකයි යන්න පොදු ජනයා තුළ බිය සහ නොදැනුවත්කම ඉහල නංවා ඇති අතර දැන් ඒ බව අපට ඉතාමත් පැහැදිළිය. ශ්‍රී ලංකාවේ එච්.අයි.වී සමඟ ජීවත් වන පුද්ගලයන්ගේ කොන් කිරීමේ දර්ශකය (2010) නම් වන  සමීක්ෂණ වාර්තාවේ පිටපතක් ඔබ කාර්යාලයට අපි එවා ඇත්තෙමු. මේ 2016 වර්ෂයයි. එච්.අයි.වී ජය ගැනීම, වේදනාව සහ මරණය සමඟ සම්බන්ධ වී තිබුණු 80 දශකයට වඩා අපි දැන් බොහෝ දුර විත්ය. සෞඛ්‍යය අමාත්‍යංශයෙන් නොමිලේ ලබා දෙන එච්.අයි.වී ප්‍රතිකාර නිසා ශ්‍රී ලංකාවේ එච්.අයි.වී සමඟජීවත් වන පුද්ගලයන්ට පූර්ණ  සහ ඵලදායී ජීවිත ගත කිරීමට හැකි වී ඇත. එච්.අයි.වී සම්ප්‍රේෂණය පිළිබඳ අප අද දන්නා කරුණු වලින් කිව හැක්කේ ශ්‍රී ලංකාවේ එච්.අයි.වී සමඟ ජීවත් වන මව් වරුන්ට නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගෙන එච්.අයි.වී වලින් තොර දරුවන් බිහි කළ හැකි බවයි. රෙට්‍රො වෛරස ස්වරූපයෙන් එන පූර්ව නිරාවරණය සහ පසු නිරාවරණ එච්.අයි.වී ප්‍රතිකාර මගින්  ද තහවුරු කරන්නේ එච්.අයි.වී නිවාරණයයි. එච්.අයි.වී ආසාදනය වීමෙන් පසු ජීවිතය අද කළ හැකි දෙයක් පමණක් නොව යථාර්ථයකි. ශ්‍රී ලංකාවේ එච්.අයි.වී සමඟජීවත් වන ඒ වන දහස් ගණනකගේ යථාර්ථයකි. ඔබට අපව විශ්වාස නැතිනම් , aidscontrol.gov.lk නැමති ශ්‍රී ලංකාවේ එච්.අයි.වී ව්‍යාප්තිය පිළිබඳව සෞඛ්‍යය අමාත්‍යංශය මගින් පවත්වාගෙන යන පරිපූරණ තොරතුරු ඇතුළත් වෙබ් අඩිවියට පිවිසී ඔබටම මේ ගැන කියවා දැන ගත හැකිය.

කුලියාපිටිය දරුවා සහ මව සම්බන්ධ අවාසනාවන්ත සිදු වීමට ප්‍රතිචාරයක් වශයෙන් ඔබ විසින් කළ ප්‍රකාශය මගින් සෞඛ්‍යය අමාත්‍යංශය සහ එච්.අයි.වී සමඟ ජීවත් වන ප්‍රජාව ඇතුළු සිවිල් සමාජ සංවිධාන විසින් මෙතෙක් සිදු කර ඇති එච්.අයි.වී නිවාරණ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මුළුමණින්ම බාල්දුවට ලක් කර ඇත.

එච්.අයි.වී නිවාරණය පිළිබඳ වැඩ කරන සංවිධාන වශයෙන් අපට අපගේ උපාය මාර්ග නැවත සලකා බැලීමට මෙමගින් අවස්ථාව ලබා දී ඇත. රජයේ දැනුවත් කිරීමේ වැඩසටහන්, ගෝලීය අරමුදල හරහා අධි අවදානම් කණ්ඩායම් (ලිංගික වෘත්තියේ යෙදන පුද්ගලයන්, පිරිමින් සමඟලිංගිකව හැසිරෙන පිරිමින්, මත් ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් ඇතුළු එච්.අයි.වී සම්ප්‍රේණය වීමට වැඩි අවදානමක් ඇති කණ්ඩායම්) වෙනුවෙන්  සිදු කළ නිවාරණ වැඩසටහන්, එච්.අයි.වී පිළිබඳ ව්‍යාපාර හවුල විසින් සේවා ස්ථානයේ සිදු කළ දැනුවත් කිරීමේ වැඩසටහන්, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහ එච්.අයි.වී පිළිබඳ වැඩ රාමුවක් ඇති සියළුම ආයතන මින් පෙනී යන පරිදි අසාර්ථක වී ඇත. අවාසනාවන්ත ලෙස අසමත් වී ඇත. අවම වශයෙන් කුළියාපිටියේදී අපි අසාර්ථක වී ඇත්තෙමු. ඔබගේ දැනුම ගත් විට ඒකාන්තයෙන්ම අසාර්ථක වී ඇත.

මවකට සිය එච්.අයි.වී තත්ත්වය දරුවාට ලබා දිය හැකි බවට ඔබ කළ ප්‍රකාශයට වගකීම් විරහිත සහ වැරදි එකකි. ඔබගේ එම ප්‍රකාශයේ සදහන් වූ සෙසු කරුණු වලට හේතුව එච්.අයි.වී සම්ප්‍රේෂණය වීම ගැන ඇති මූලික කරුණු පිළිබඳව ඔබ තුළ ඇති අනවබෝධයයි. ඒ ප්‍රකාශය කිරීමට පෙර ඔබ ඒ පිළිබඳ ගූගල් කර බැලුවානම් ඔබට එච්.අයි.වී පිළිබඳ ඔබ නොදන්නා තොරතුරු දැන ගැනීමට අවස්ථාව තිබුණා පමණක් නොව ඔබගේ ප්‍රකාශයට මීට වඩා වගකීම් සහිත එකක් වට පත් කර ගැනීමට ඉඩ තිබුණි. ඇමතිතුමනි, එච්.අයි.වී සමඟජීවත් වන මව් වරු ඔවුන්ගේ දරුවන් අසලින් නිදා ගනිති. ඔවුන්ගේ පවුලේ සෙසු අයද නිදා ගනිති. එසේ කළා කියා එච්.අයි.වී බෝ වෙන්නේ නැත. අපගේ එකම පැතුම වන්නේ  එච්.අයි.වී සමඟජීවත් වන පුද්ගලයන් සෞඛ්‍යය සේවා ප්‍රවර්ධකයන් විසින් ලබා දෙන සත්‍ය තොරතුරු මිස ඔබ කියන දේවල් විශ්වාස නොකරත්වා යන්නයි.

පොදු ජනයාට නිවැරදි සහ පරිපූර්ණ තොරතුරු වෙත ප්‍රවේශය නොමැති වීම තුළ ගොඩනැගුණු මුරණ්ඩු අනවබෝධය කුලියාපිටිය ජනතාව මනාව පෙන්වා ඇත. එච්.අයි.වී සමඟ ජීවත් වන ඇතැම් පුද්ගලයන් අද ජීවත් වන්නේ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ටද කුළියාපිටියේ මවට සහ දරුවාට අත් වූ ඉරණය අත් වේ යැයි බියෙනි.

ගරු ඇමති තුමනි, එච්.අයි.වී සමඟ ජීවත් වන විට බිය අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරයි. මානසික සෞඛ්‍යය අපේ කායික සෞඛ්‍යයට බලපායි. ගූගල් කර බලන්න. එසේත් නැතිනම් ඕනෑම ආගමික ග්‍රන්තයක් කියවන්න. ඔබට ඒ බව සැක හැර දැන ගත හැකියි. එච්.අයි.වී සමඟ ජීවත් වන විට බිය ජය ගන්නට අපි මහත් පරිශ්‍රමයක් දරන්නෙමු. මරණය බිය. ප්‍රතිකාර වලට යන වියදම් පිළිබඳ බිය, මිනිස්සු දැන ගනීවි යැයි ඇති වන බිය මේ සියළු දේ අපේ එච්.අයි.වී තත්ත්වය පාලනය කර ගැනීමට බලපායි.

ඡන්ද තණ්හාව නිසා ඔබ සැබෑ තොරතුරු ප්‍රතික්ෂේප කරයි. ඡන්ද තණ්හාව නිසා ඔබ මෙම සිදුවීමට අදාල මවට එච්.අයි.වී ආසාදනය වී ඇති බව යෝජනා කරමින් රහස්‍ය භාවය සුරැකීමට රජය බැදී ඇති තොරතුරු අනාවරණය කරයි. ඔබට ඒ අයිතිය දුන්නේ කවුරුන්ද? සෞඛ්‍යය අමාත්‍යංශය විසින් නිකුත් කළ ජාතික එච්.අයි.වී ප්‍රතිපත්තියේ (2011) සහ කම්කරු අමාත්‍යංශය මගින් නිකුත් කළ වැඩ ලෝකය තුළ ජාතික එච්.අයි.වී ප්‍රතිපත්තියේ (2011) රහස්‍යභාවය පිළිබඳ ඇති වගන්ති ඔබ උල්ලංඝණය කර ඇත. ඔබටම ඒ ගැන කියවා බැලිය හැකිය. සිය නොදැනුවත්භාවය ලෝකයට පෙන්වා දඩු කදේ වැටුණු ඔබ අදාල මවගේ චරිතය ඝාතනය කරමින් ඔබගේ නම්බුව ආරක්ෂා කර ගරනීමට නින්දිත උත්සහයක යෙදෙයි. මෙවැනි හැසිරීමක් රටේ අධ්‍යාපන ඇමතිවරයෙකුට සුදුසුද?

ගරු ඇමති තුමනි, ඔබ කුළියාපිටියේ මවගෙන් සහ දරුවාගෙන් සමාව අයදිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ඔබ අතින් අත් වැරැද්දක් සිදු වූ බව පිළිගන්න. ඔබ කියූ දේ වැරදි බව පිළිගන්න. රටේ ඇතැමුන් සිදු කරන නොදැනුවත්, අසත්‍ය ප්‍රතිචාර නැවැත්වීම සඳහා නිවැරදි සහ සත්‍ය තොරතුරු ඉගෙනීමටත් ඒවා බෙදා හදා ගැනීමටත් ඔබ සූදානම් බව පෙන්වන්න. ඔබ මහත්මා ගුණයෙන් හෙබි ඇමතිවරයෙක් බව ඔබට ඡන්දය දුන් පෙන්වා දෙන්න. ඔබට ඡන්දය දීම මොඩ කමක් යැයි අපට සිතන්නට ඉඩ තබන්න එපා.

අවසන් වශයෙන්, වැඩිහිටින්ට ඉගැන්වීමට දරණ උත්සහයන් නවත්වා දරුවන් සමඟ තිරසාර අධ්‍යාපන වැඩසටහනක් ආරම්භ කරන මෙන් එච්.අයි.වී නිවාරණය පිළිබඳ වැඩ කරන කණ්ඩායමක් වශයෙන් වශයෙන් අපි ඔබගෙන් ඉල්ලා සිටිමු. හතර එකතු කිරීම හතර සමානයි අටයි කීමට අපට දැනුවත් කිරීමේ ව්‍යාපාර අවශ්‍ය නැත. මන්ද අප එය පාසලෙන් ඉගෙන ගන්නා නිසාය. අංක සහ අකුරු වලින් ඔබ්බට ගිය සාක්ෂරතාවයක් අපිට අවශ්‍ය බව පිළිගැනීමට කාලය එළඹ ඇත. අපට භාවාත්මක උගත්කමක් අවශ්‍යය. ලිංගිකත්ව අධ්‍යාපනය සඳහා නිවැරදි, පරිපූර්ණ, විද්‍යාත්මකව සහතික කළ ප්‍රවේශයක්  අපට අවශ්‍යය. යුනෙස්කෝ ආයතනය එය මෙසේ නිර්වචනය කරයි.

“ලිංගිකත්වය, ප්‍රජනනය සහ සම්බන්ධතා පිළිබඳ විද්‍යාත්මකව නිවැරදි, යථාර්ථවාදී, විනිශ්ච නොකරන තොරතරු ඇතුළත් වයසට සරිලන, සංස්කෘතිකමය අදාලත්වයක් ඇති ප්‍රවේශයකි. ”- යුනෙස්කෝ තාක්ෂණික මගපෙන්වීමේ කණ්ඩායම, පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය

ගරු ඇමති තුමනි, දැන් ඇහුම් කන් දීමට කාලයයි. කරුණාකර පරිපූර්ණ ලිංගිකත්ව සහ සම්බන්ධතා ආධ්‍යාපනය පාසල් තුළට ගෙන යාමට විධිමත් යාන්ත්‍රණයක් සකස්  කරන්න. එසේම, දැනට පාසල් සෞඛ්‍යය විෂය මාලාවේ ඇති එච්.අයි.වී පිළිබඳ පාඩම නිවැරදිව ඉගැන්වීමට ඔබගේ ගුරුවරුන්ව පුහුණු කරන්න. එච්.අයි.වී නිවාරණ අධ්‍යාපනය පංති කාමරයෙන් ආරම්භ කිරීම මගින්  දරුවන් ලිංගික හැසිරීම් වලට පෙළඹෙනවා යැයි  බොරුවට හැගවීම නවත්වමු. අපේ දරුවන්ට සහ තරුණ ප්‍රජාවයට අන්තර් ජාලය හරහා මෙන්ම ඔවුන්ගේ සමවයස් කණ්ඩායම් වලින්ද  ඕනෑ තරම් තොරතුරු ලබා ගත හැකිය. මේ ලැබෙන තොරතුරු පංති කාමරය තුළ ප්‍රඥා ගෝචර, විද්‍යාත්මක ප්‍රවේශයක් මගින් තුළිත කළ යුතු නොවේද?.

මේ අරමුණ ජය ගැනීමට ඔබට සහය වීමට ඕනෑ තරම් පිරිස් සිටී. යුනෙස්කෝ, යූඑන්එෆ්පීඒ සහ යුනිසෙෆ් මේ ආයතන සියල්ලම පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය පාසල් තුළට ගෙන යාම පිළිබඳ ඔබ සමඟසාකච්ඡා කරන බව ප්‍රකාශ කර ඇත. දැන් ඔබට  ඇහුම්කන් දීමට කාලය එළඹ ඇත. 2015 දී පාසල් යන වසසේ දරුවන් 23කට එච්.අයි.වී ආසාදනය වී ඇත, 2014 දී එම ගණන 22කි.( එච්.අයි.වී ජාතික වැඩසටහනේ දත්ත) ලිංගික අධ්‍යාපනය පිළිබඳ අපගේ අදූර දර්ශී ප්‍රවේශය වෙනස් කිරීමට තවත් එවැනි සිදුවීම් කීයක් නම් වුවමනාද?

ස්තුතියි.

මෙයට විශ්වාසී,

පොසිටිච් හෝප්ස් එලායන්ස් (Positive Hopes Alliance)

ජාතික නැව්කරුවන්ගේ වෘත්තීය සමිතිය (National Union of Seafarers in Sri Lanka)

තරුණ අධිවාචන ජාලය (Youth Advocacy Network)

ද ග්‍රාස්රූටට් ට්‍රස්ට් (The Grassrooted Trust )

Archive

Latest news

Related news