Saturday, April 27, 2024

නාමල් රාජපක්ෂට මුදල් විශුද්ධිකරණ වෝදනා: අධිකරණය ගිණුම් 4ක් අත්හිටුවයි

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි කියන ගෝවර් කෝපරේට් සර්විසස් (ප්‍රයිවට්) ලිමිටඩ් නම් වෙළෙඳ සමාගමට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් හතරක් අත්හිටුවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ නියෝග කළේය. මුදල් විශුද්ධිකරණය පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකරන ලද විමර්ශන අනුව මේ නියෝගය නිකුත් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා, මෙම වෙළෙඳ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට මෙරටින් පිටිවීමද තහනම් කෙරෙන නියෝගයක්ද නිකුත් කළේය.

කොළඹ 05 ප්‍රදේශයේ පිහිටි මෙම සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා සම්බන්ධීකරණ කටයුතු සපයා ඇති බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් මහේස්ත්‍රාත් උසාවියට දන්වා තිබිණ.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටිමින් රජය සමඟ වෙළෙඳ ගිවිසුම්වලට එළැඹී අයථා අන්දමින් මිලියන 307කට ආසන්න මුදලක් උපයා ඇති බව කියන සිද්ධියට අදාළව මන්ත්‍රීවරයා හැර සැකකරුවන් හත්දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (09) නියෝග නිකුත් කළේය.

මේ සැකකරුවන්ගෙන් දැනටමත් සැකකරුවන් කිහිපදෙනකු විදේශගතව ඇති බවත් ඔවුන් දිවයිනට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත භාර දෙන ලෙස ආගමන විගමන පාලකට නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා සෙසු සැකකරුවන් විදේශ ගත වන්නේ නම් අධිකරණ අවසරයකින් විදේශ ගත විය යුතු බවට සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ, නිත්‍යා සේනානි සමරනායක, බටපොල ආරච්චිගේ ඔරනෙල්ලා ඉරේෂා සිල්වා, චන්ද්‍රසේකර පවිත්‍රා සුජානි බෝගොල්ලාගම, සිනිබෝ ගනේගොඩ මුදියන්සේලාගේ සුදර්ශන බණ්ඩාර ගනේගොඩ, මහානාම විදානගමගේ, දිල්රුක්ෂි දිසානායක, නිමල් ලාලින්ද හෙට්ටිආරච්චි, ඉන්දික ප්‍රභාත් කරුණාජීව යන අයට මෙම විදේශ තහනම අධිකරණය මඟින් නිකුත්විණ. මේ අය නීති විරෝධී මුදල් උපයා ගැනීමට මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ආධාර අනුබල දුන් සැකකරුවන් බවත් ‍මොවුන් එකී සමාගම්වල කොටස්කරුවන් හා අධ්‍යක්ෂවරුන් මෙන්ම විධායක නිලධාරින් බවට මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

තවද ගවර්ස් ‍කෝපර්ට් නමින් ආයෝජනය කර ඇති සියලු ආයෝජන නිසි අධිකරණ අවසරයකින් තොරව සමාගම වෙත මුදානොහැරීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වෙත ද අධිකරණය නියෝග නිකුත් කළේය.

ඉඩම් 11ක් විකිණීම, පැවරීම, අන්සතු කිරීම, තහනම් කරමින් තංගල්ලේ පිහිටි සන්වේ ප්‍රොපටි හා සිල්වර් ප්‍රොපටි සමාගම් වෙත මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළේය.

2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත ප්‍රකාරව අයථා ලෙස උපයන ලද මුදල්වලින් නාමල් රාජපක්ෂ මහතා දේපළ හා වත්කම් මිලදී ගෙන ඇති බව සඳහන් කරමින් කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත ඊයේ (09) ඉදිරිපත් කළ දීර්ඝ වාර්තාවක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටිමින් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹී අයථා ලෙස මුදල් උපයා ඇති බවට 2015/07/29 වන දින දූෂණ විරෝධී සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ල මත මෙහි විමර්ශන ආරම්භ කර ඇත.

[dropcaps style=”e.g:style-1 or style-2 or style-3″ fchar=””]එයාර් ලංකා ආයතනයට පූර්ණ සම්බන්ධීකරණ සේවා සපයන ලද Hello Corp පුද්ගලික ආයතනය දැනට ගවර්ස් කෝපරේට් සර්විසස් පුද්ගලික සමාගම යන නමින් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සතු බවත් මීට පෙර Hello Corp පුද්ගලික සමාගම එක්ස්පෝ ලංකා ප්‍රේට් සමාගම, එක්ස්පෝ ලංකා හෝල්ඩින් සමාගම යන සමාගම් දෙකට හා ලොගේෂ්වරන් රවින්ද්‍රන් යන අයට අයත්ව පැවැති බවත් එවකට එහි ප්‍රාග්ධනය සාමාන්‍ය කොටස් 196078ක් එනම් රුපියල් 125,259,581 බවත් මෙතරම් විශාල ප්‍රාග්ධනයක් ඇති සමාගමක් නාමල් රාජපක්ෂ මහතාට පූර්ණ හිමිකම ඇති ගවර්ස් කෝපරේට් සර්විස් පුද්ගලික සමාගම මිලදී ගැනීමේදී අයථා ලෙස උපයා ගන්නා ලද මුදල් යොදවා ඇති බවට තොරතුරු ලැබුණු බවට මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.[/dropcaps]

එයාර් ලංකා ආයතනය හා Hello Corp පුද්ගලික සමාගම අතර ඇති වෙළෙඳ ගිවිසුම මඟින් ලැබෙන ආදායම නාමල් රාජපක්ෂ මහතාට ලැබෙන බවත් පැමිණිල්ල ඉදිරිපත් කර ඇති සමාගම් රෙජිස්ට්‍රාර් ලේඛන අනුව ගවර්ස් කෝප් සමාගමේ පූර්ණ අයිතිය නාමල් රාජපක්ෂ මහතා සතු බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

එම සමාගම 2013/02/14 දින ආරම්භ කර ඇති බවත් 2012/09/13 වාර්ෂික වාර්තා අනුව Hello Corp පුද්ගලික සමාගම ගවර්ස් සමාගම විසින් අත්පත් කරගෙන ඇති බවත් 2013/06/14 දින තෙක් ගවර්ස් කොපරේට් සමාගමේ පූර්ණ අයිතිය Carlton Mahawela Road, Tangalla යන ස්ථානයේ පිහිටි N. R. Consaltans Private Ltd සතුව ඇති බවට කරුණු අනාවරණය වන බවට මුල්‍ය අපරාධ කොට්ඨාස අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

මේ අනුව එන්. ආර්. කන්සල්ටන්හි පුද්ගලික සමාගම හා ගවර්ස් කෝපරේට් පුද්ගලික සමාගම් දෙකෙහි අයිතිකරු නාමල් රාජපක්ෂ මහතා බවත් බොස්ටන් කැපිටල් ආයතනය සමඟ සිදුකරන ලද ගනුදෙනුවලදී නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව සිදුව ඇති බවට අධිකරණයට කරුණු වාර්තා කරන පොලිසිය ගවර්ස් කෝපරේට් සර්විස් ආයතනය මඟින් Hello Corp සමාගම මිලදී ගැනීම සඳහා යොදවන ලද මිලියන 50 හා මිලියන 307 කොටස් අයිතිය ඇති N. R. කන්සල්ටන්හි පුද්ගලික සමාගම හරහා මුදල් විශුද්ධිකරණයක් සිදුව ඇති බවට මූල්‍ය අපරාධ කොට්ඨාසය කරුණු වාර්තා කර තිබිණ.

මේ අනුව මේ සමාගම්වල හිටපු අධ්‍යක්ෂවරු සමාගම් සාමාන්‍යාධිකාරි හා ගණකාධිකාරි, චෙස්මි කොන්සලිටෙටිව් ආයතන අයිතිකරු හිමාල් හෙට්ටිආරච්චි, නීතිඥ කරුණාජීව හා මිලියන 50ක් දුන් බංගලිදේශ ජාතික අහමඩ් සල්මාන් යන අය මුදල් විශුද්ධිකරණයට ආධාර අනුබල දුන් බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.

එසේම නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු කොමසාරිස්වරයා වෙත 2014.03.31 දිනට ඉදිරිපත් කළ වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව N. R. කන්සල්ට සමාගමේ ආයෝජනය කර ඇති 4981000 බවත් ගවර්ස් කෝපර්ට් සමාගමේ මිලියන 50ක් ආයෝජනය කර ඇති බවට සඳහන් කර තිබූ බව පවසන පොලිසිය 2014.03.31 වනවිට ගවර්ස් කෝපර්ට්හි වත්කම් මිලියන 213ක් වූ අතර 2013.03.31 දිනට N. R. කන්සාල්ටහි වත්කම් මිලියන 83 වූ බවත් එසේම පූර්ණ අයිතිය තිබූ ගවර්ස් කෝපර්ට් සර්විස් ආයතනයේ 2015.10.02 මිලියන 112ක් වත්කම් සතු වූ බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තු කොමසාරිස්වරයා වෙත ලබා දී තිබූ වත්කම් බැරකම් ප්‍රකාශවලටද සත්‍ය වසන් කර ඇති බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

මීට අමතරව N. R. කන්සල්ටන්සි හා ගවර්ස් කෝපරේට් සර්විස් ආයතන පිහිටි කාර්යාල අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තු අනුව සෝදිසි කළ අතර ලිපි ගොනු 12ක් පරිගණක දත්ත 4ක් හා සී.එස්.එන්. ආයතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළ අංක 4129 දරන ඔප්පුව සොයා ගත් බවත් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වන බවට පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවැසීය.

ගවර්ස් කෝපරේට් සර්විස් සමාගම ලියාපදිංචි ලිපිනය බත්තරමුල්ල සඳහන්ව ඇති බැවින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙම නඩුව යොමු කර තිබූ අතර එය හුදෙක් ලියාපදිංචි ලිපිනයක් පමණක් බවත් අදාළ සමාගම ගවර් වීදිය කොළඹ 5 ස්ථාපිත බැවින් නඩු මෙම අධිකරණ බල සීමාවට අයත් හෙයින් කඩුවෙල සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මාරු කර තිබිණ.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පොලිසිය ඉල්ලූ නියෝග නිකුත් කර මේ මස 31 වන දිනට නඩුව යළි කැඳවීම කල් තැබිණ.
Dinamina

 

Archive

Latest news

Related news