Saturday, April 27, 2024

අධිකරණ නියෝගයක්: රාජපක්ෂ ආරක්ෂකයන්ගේ වත්කම් වාර්තා දෙන්න

 හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරින් තිදෙනකුගේ බැංකු ගිණුම්වල ඇති මුදල් තැන්පතු කොටස් වෙළෙඳපොළ තුළ කළ ආයෝජන පිළිබඳ වාර්තා රහස් පොලිසිය වෙත ලබාදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (10) වානිජ බැංකු හා මූල්‍ය ආයතන 79ක අධ්‍යක්ෂවරුන් වෙත නියෝග නිකුත් කළේය. මොවුන්ට විරුද්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන ආරම්භ කර ඇති බව පැවසූ රහස් පොලිසිය ආරක්ෂක නිලධාරින් වන මේජර් නේවිල් වන්නිආරච්චි, බ්‍රිගේඩියර් හෙනරත්ගේ දමිත ගොමින් රණසිංහ හා කපිතාන් ලේකම් මුදියන්සේලාගේ තිස්ස විමලසේන යන අයගේ බැංකු ගිණුම්වලට අදාළ වාර්තා කැඳවීමට අවශ්‍ය බව පැවැසීය. මොවුන් විසින් අයථා වත්කම් උපයා ඇති බවට දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල මහතා 2015/10/16 වන දින පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලිසියේ මූල්‍ය විමර්ශන අංශ 11 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් ද සිල්වා මහතා විමර්ශන ආරම්භ කළ බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

මේජර් නේවිල් වන්නිආරච්චි රජයේ ඉඩම් හා ගෙවල් විශාල ප්‍රමාණයක් ඔහුගේ නමට ලියාගෙන ඇති බවත් ටිපර් රථ විශාල ප්‍රමාණයක් මඟ නැඟූම ව්‍යාපෘතියට යොදවා ඇති අතර බස් රථ, ඉඩම් ඉන්ධන පිරවුම්හල් ආදී වත්කම් අයථා ලෙස උපයා ගෙන ඇති බවට පැමිණිල්ලේ සඳහන්ය.

මීට අමතරව බැංකු ගිණුම්වල විශාල මුදල් ප්‍රමාණයක් තිබෙන බවත් ඔහුගේ රැකියාවට අනුව මෙලෙස වත්කම් උපයා ගැනීමේ හැකියාවක් නොමැති බවට කරුණු දක්වන පැමිණිලිකරු මුදල් විශුද්ධි කරන පනත යටතේ විමර්ශනයක් පවත්වන ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ.

මේජර් ජනක ජයරත්න, කර්නල් ශාන්ත රත්නායක, බ්‍රිගේඩියර් රවිප්‍රිය, කැප්ටන් මූර්ති කොඩිතුවක්කු, මේජර් භාරත කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති ධම්මික තුඩුවේවත්ත, සහකාර පොලිස් අධිකාරි තිලකරත්න යන නිලධාරින් මෙම කරුණුවලට අනුව වගකිව යුතු පුද්ගලයින් බවටද වැඩිදුරටත් පැමිණිල්ලේ සඳහන්ය.

2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇත්ද? යන්න සම්බන්ධ විමර්ශන ආරම්භ කර ඇති බවට රහස් පොලිසිය අධිකරණය හමුවේ පැවැසීය.

මීට අදාළව මොවුන් තිදෙනා නමින් වාහන ලියාපදිංචිය පිළිබඳ වාර්තා ‍මෝටර් රථ දෙපාර්තමේන්තුව මඟින් ලබා ගත් බව පවසන රහස් පොලිසිය ‍ෙම්ජර් නේවිල් වන්නිආරච්චි නමින් BB74 දරන යතුරුපැදිය, RO-3944, RX-3946 ට්‍රැක්ටර් ටේලර් 2, 49-3509, 3510, 44-3568, RA-9730, RV-5853 ට්‍රැක්ටර් 5 හා LL-1133, LL-1122 ‍මෝටර් ලොරි රථ 2 ඔහුගේ නමට ලියාපදිංචි වී ඇති බව පැවැසීය.

මීට අමතරව NB 1259, NB 6038, NB 7532, NB 7712, NB 4103, NC 4103, NE 4111, NC 4170 දරන බස් රථ 7ද මේජර් වන්නිආරච්චිගේ නමට ලියාපදිංචි බවත් NB 2276 හා NB 2258 දරන බස් රථ දෙක හා LC 2410 දරන ට්‍රිපර් රථය මේවනවිටත් ඔහු විකුණා ඇති බවට අධිකරණයට කරුණු අනාවරණය කළේය.

කපිතාන් ලේකම් මුදියන්සේලාගේ තිස්ස විමලසේන නමින් 127-5858 හා UB – 0835 දරන යතුරු පැදි 2 ලියාපදිංචි බවත් බ්‍රිගේඩියර් ගොමින් රණසිංහගේ නමින් KX -7009 මිට්සුබිෂි ජීප් රථය ලියාපදිංචි බවට කරුණු අනාවරණය වූ බව පැවසීය.

බ්‍රිගේඩියර් ගොමින් රණසිංහ 2015 සැප්තැම්බර් මස දක්වා ශුද්ධ වැටුප ලෙස 11,639,332.82 මේජර් නේවිල් වන්නිආරච්චි 2015 ඔක්තෝබර් දක්වා කාලය තුළ දී 7,202,662.51 වැටුපක්ද කපිතාන් තිස්ස විමලසේන 8,162,430.66 වැටුපක් ලබාගෙන ඇති බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් සාමාන්‍ය බස් රථ 6, සුඛොපභෝගී බස් රථ 2 හා අධිවේගී මාර්ග බස් රථ 2කට ධාවනය සඳහා බලපත්‍ර තිබූ බවට ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ජාතික හැඳුනුම්පත් 640421843 මේජර් වන්නිආරච්චිගේ නේවිල්, ජා.හැ. අ 662270784 කපිතාන් තිස්ස විමලසේන හා ජා.හැ.අ 642940155 බ්‍රිගේඩියර් දමිත රණසිංහගේ බැංකු හා මූල්‍ය ආයතන වෙත කර ඇති මූල්‍ය තැන්පතු පිළිබඳ වාර්තා කැඳවන ලෙසට රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණ.

මීට අමතරව ඔවුන් කොටස් වෙළඳපළ තුළ සිදු කළ කොටස් ආයෝජන පිළිබඳ වාර්තා කොටස් වෙළඳපළ ප්‍රධාන විධායක නිලධාරිවරයා වෙතින් කැඳවන ලෙසට රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අදාළ කරුණු සලකාබැලු මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කරමින් මූල්‍ය ආයතන හා බැංකු 79 ක අධ්‍යක්ෂවරු වෙත ඊට අදාළ වාර්තා ලබා දීමට නියම කළේය

සිරන්ජනි කුමාරි / දිනමිණ

Archive

Latest news

Related news