Saturday, April 27, 2024

ශිරන්තිගේ ඩිෆෙන්ඩරයේ පාට වෙනස් කළේ ඇයි – අධිකරණය වාර්තාවක් ඉල්ලයි

හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාගේ අනුමැතියෙන් සිරිලිය සවිය වැඩසටහනට ලබාදුන් ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානයට අයත් ඩිෆෙන්ඩර් රථය දෙවතාවක්ම වර්ණ වෙනස් කර ඇති බවත් එසේ කරනු ලැබූවේ යෝෂිත රාජපක්ෂ මහතාගේ උවමනාවට යයි ජනාධිපති ආරක්ෂක අංශයේ කොස්තාපල්වරයකුගෙන් කරුණු අනාවරණය කර ඇති බවට රහස් පොලිසිය අධිකරණය හමුවේ පවසා ඇති අතර එසේ දෙවතාවක් වර්ණ වෙනස්කර යම් අපරාධයකට යොදා ගත්තේදැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පසුගිය 21වනදා රහස් පොලිසියට නියෝග කර තිබේ.

සිද්ධියට අදාළව හිටපු සමාජ සේවා අමාත්‍ය ෆිලික්ස් පෙරේරා මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටද මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝගයක්ද කර ඇත.

ඩිෆෙන්ඩර් රථ 2 රතුකුරුස සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් නමින් ලියාපදිංචි වී තිබිය දී එය පෞද්ගලික ස්ථානයක නවතා තිබීම පිළිබඳවද සැකයක් මතුවන බවත් ඒ අනුව එම වාහන පිළිබඳව සොයාබැලීම සඳහා 2015/02/20 වන දින සිසිල් සෙවණ, හබරකඩ, හෝමාගම ලිපිනයට ගිය බවට පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබිණි.

එම මිදුලේ කළුපැහැති WPKA 0642 දරන ඩිෆෙන්ඩර් රථය නවතා තිබෙනු දක්නට ලැබුණු බවත් නිවසේ ඒ අවස්ථාවේදී වෑවලගේ ලතිකා කුමුදුනී පෙරේරා නැමැත්තිය හා රූපසිංහ ආරච්චිලාගේ සිම්සන් පෙරේරා යන අය සිටි බවට පොලිසිය අධිකරණය හමුවේ පවසා ඇත.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී එම නි‍වසේ ගෘහ මූලිකයා රතුකුරුස සංවිධානයේ ප්‍රවාහන හා සැපයුම් කළමනාකරු වන මාජුවාන ගමගේ ජයන්ත කාරියවසම් බවට අනාවරණ වූ අතර ඒ අවස්ථාවේදී එහි සිටි ඩබ්ලිව්. ලතිකා පෙරේරා නැමැති අය ජයන්ත කාරියවසම්ගේ බිරිය බවත් සිම්සන් පෙරේරා රතුකුරුස සංවිධානයේ රියදුරු බවටත් කරුණු අනාවරණ වූයේ යැයි පොලිසිය අධිකරණයට දන්වා තිබේ.

මේ ඩිෆෙන්ඩර් රථය ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානයට අයත් එකක් බවත්, එම වාහනය හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් පවත්වාගෙන යනු ලබන “සිරිලිය සවිය” වැඩසටහනේ කාර්යයන් සඳහා එම සිරිලිය සවිය ව්‍යාපෘතියේ ලේකම්වරිය ලෙස කටයුතු කළ දිසානායක මුදියන්සේලා‍ගේ සීතා කල්‍යාණි කුමාරි යන අයගේ ලිඛිත ඉල්ලීම මත එවකට සමාජ සේවා ඇමැතිව සිටි ෆීලික්ස් පෙරේරාගේ නිර්දේශ අනුව 2011/8/11 දින එම ඩිෆෙන්ඩර් රථය සිරිලිය සවිය ව්‍යාපෘතියට භාරදී ඇති බවට පොලිසිය අධිකරණයට කරුණු දන්වා ඇත.

2011 ජූලි 27 වන දින හිටපු සමාජ සේවා ඇමැති ෆීලික්ස් පෙරේරා මහතාගේ ලිඛිත ඉල්ලීමක් මත “සිරිලිය සවිය” ව්‍යාපෘතියේ වැඩසටහන් සිදුකිරීම සඳහා තම සංවිධානයට අයත් සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයක් ලබාදුන් බවත් එය 2015 ජනාධිපතිවරණයෙන් පසුව නැවත ලබා ගැනීමට ක්‍රියා කළ බවත් රථයේ තිබූ වර්ණය වෙනස් කර පාවිච්චි කිරීම ප්‍රශ්න සහගත තත්ත්වයක් බවත්අ එසේ වර්ණය වෙනස් කර ඇත්තේ කුමන හේතුවක් මතදැයි තමන් නොදන්නා බවත් ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ සභාපති ජගත් බන්දු අබේ‍සිංහ මහතා ප්‍රකාශයක් ලබාදෙමින් පොලිසියට පවසා ඇත.

මෙම ප්‍රශ්නගත වාහනය ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහනයක් නොවුවද රථයට ඉන්ධන ලබා ගැනීම හා නඩත්තු කිරීම් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදලින් බවටද කරුණු අනාවරණය වී තිබේ.

‘සිරිලිය සවිය’ හිටපු ලේකම් සීතා කල්‍යාණි කුමාරි මහත්මිය ප්‍රකාශයක් ලබාදෙමින් එම ඩිෆෙන්ඩර් රථය ලබාගැනීමට තමන් ඉල්ලීම් කළද එම රථය “සිරිලිය සවිය” ව්‍යාපෘතියේ වැඩසටහන් සඳහා යොදවා නොතිබූ බවට සඳහන් කර ඇතැයි පොලිසිය අධිකරණයට ඇත.

ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල් චතුර ද සිල්වා ප්‍රකාශයක් ලබාදෙමින් යෝෂිත රාජපක්ෂ මහතාගේ දැනුම්දීමක් මත එම ප්‍රශ්නගත ඩිෆෙන්ඩර් රථයේ තිබූ සුදු වර්ණය ඉවත්කර නිල් වර්ණය ගැන්වූ බවත් පසුව 2012 දෙසැම්බර් මැදභාගයේ දී CSN මාධ්‍ය ජාලයේ අලෙවි විධායක ලෙස කටයුතු කළ ‘ඩීන්’ නමැත්තකුගේ උපදෙස් මත කොල්ලුපිටියේ ගරාජයකින් අදාළ රථයට කළු වර්ණය ගැන්වූ බවත් සඳහන් කර ඇතැයි පොලිසිය අධිකරණයට දන්වා තිබේ.

මෙම ‍ඩිෆෙන්ඩර් රථය ප්‍රථමයෙන් යෝෂිත රාජපක්ෂ මහතා, ඔහුගේ පුද්ගලික පරිහරණය සඳහා යොදාගෙන තිබූ බව ද පසුව යෝෂිත රාජපක්ෂ මහතාගේ සමීපතමයකු වූ ඩීන් නැමැත්තා පාවිච්චි කර ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

මෙම ඩිෆෙන්ඩර් රථය කිසිදු සමාජ සේවා කටයුත්තකට යොදාගෙන නොමැති බව දන්වා සිටි රහස් පොලිසිය, අදාළ රථයේ වර්ණය වෙනස් කර ඇත්තේ යෝෂිත රාජපක්ෂගේ යම් අවශ්‍යතාවයක් අනුව බවට ද කරුණු අනාවරණය වන්නේ යැයි රහස් පොලිසිය අධිකරණයට තිබේ.

කිසිඳු අවසරයකින් තොරව මෙම ප්‍රශ්නගත ඩිෆෙන්ඩර් රථය අවස්ථා දෙකකදී වර්ණය වෙනස් කර ඇති බවත්, ඊට මුදල් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වැය කර ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දන්වා ඇත.

මෙම ඩිෆෙන්ඩර් රථයේ වර්ණය වෙනස් කළේ ඇයි? එම රථය යම් අනතුරකට ලක් වූයේ ද? අලුත්වැඩියා කර තිබේද? වාහනයේ වර්ණය වෙනස් කර එය භාවිතා කළේ කුමන කටයුත්තකට ද? යන්න සෙවීමට පුළුල් පරීක්ෂණ පවත්වන බවට දන්වා සිටි රහස් පොලිසිය එම වාහනය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගෙන් සහ රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තා ලබාගත යුතු බවට අධිකරණයට දන්වා තිබේ.

රහස් පොලිසිය විසින් කරන ලද ඉල්ලීම්වලට අදාළව වාර්තා ලබා දෙන ලෙසට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට හා රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ලබන මාර්තු 3 වන දින විමර්ශනයේ ප්‍රගතිය දක්වන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කර ඇත.

– ලංකා ට්රුත්

 

Archive

Latest news

Related news