Sunday, April 28, 2024

ජනපති සිරිසේනට සන්ධ්‍යා එක්නැළිගොඩගෙන් පිළිතුරු

‘අපි ඡන්දේ නොදුන්නා නම්’: සන්ධ්‍යා එක්නැලිගොඩ

අදින් වසර හයකට ඉහතදී 2010 ජනවාරි 24 වැනි දින ප්‍රගීත් එක්නැලිගොඩ කොළඹ දී අතුරුදහන් විය

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් මීට මාස ගණනාවකට පෙර කරුණු දාහතරකින් යුත් වාර්තාවක් හමුදාවෙන් ඉල්ලා ඇති නමුත් තමා දන්නා තරමින් පසුගිය නඩු වාරය වන තුරුත් එය ලැබී නොතිබුණු බව සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි.

ඇය මේ බව බීබීසී සංදේශයට කියා සිටියේ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වීම සම්බන්ධ පරීක්ෂණයට සහාය නොදෙන බවට හමුදාවට එල්ල වන චෝදනා ප්‍රතික්‍ෂේප කරමින් ජනාධිපතිවරයා බීබීසීයට කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

එම පරීක්ෂණයට හමුදාවෙන් නිසි සහයෝගය නොලැබීම පිළිබඳව කණගාටු වන බව ඇය සඳහන් කළාය.

එමෙන්ම අතුරුදහන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන විත්තිකරුවන් මේ වන විට සිටින්නේ බන්ධනාගාරයේ නොව, බන්ධනාගාර රෝහලේ බව පසුගිය නඩු වාරයේ දී හෙළි වූ බවත් ඇය සඳහන් කළාය.

හරියටම අදින් වසර හයකට ඉහතදී 2010 ජනවාරි 24 වැනි දින ප්‍රගීත් එක්නැලිගොඩ කොළඹ දී අතුරුදහන් විය.
‘අඩි හයක් යට’

ඒ පිළිබඳ පරීක්ෂණයට හමුදාවෙන් උපකාර නොලැබෙන බවට චෝදනා කිරීමට සන්ධ්‍යා එක්නැලිගොඩ විශේෂඥ වරියක් නොවන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බීබීසී සංදේශයේ අසාම් අමීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී සඳහන් කළේ.

ඊට ප්‍රතිචාර දක්වමින් සන්ධ්‍යා එක්නැලිගොඩ කියා සිටියේ මෙම පරීක්ෂණය පිළිබඳව තමා එක් රැස් කර ගෙන ඇති අත්දැකීම් කිසිවෙකුට සම කළ නොහැකි බවයි.

“මම අපරාධ පරීක්ෂණ ගැන විශේෂඥ වරියකුත් නෙමෙයි, නීතීඥ වරියකුත් නෙමෙයි. ඒත් මේ අපරාධය සහ නීතිය සම්බන්ධයෙන් හැමතැනම ඇවිදලා එකතු කරගත්ත අත්දැකීම් කිසිවෙකුට සම කරන්න බැහැ,” ඇය පැවසීය.

“හැබැයි ඒක දෙයක් කියන්න කැමතියි. ජනාධිපතිවරයා කියපු දෙයක් උපුටා ගන්න කැමතියි. යම් හෙයකින් ජනාධිපතිවරයා අප විසින් පත් කර නොගත්තානම් එතුමා මේ වෙනකොට අඩි හයක් යට ඉන්නේ කියන එක.”

කෙසේ නමුත් පොලිස් අපරාධ පරීක්ෂණ කාර්යාංශයේ නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන නීතිවේදියා එම පරීක්ෂණය මෙහෙයවන ආකාරය පිළිබඳව තමන් සතුටු වන බවත් ඇය සඳහන් කළාය.

– බිබීසී සිංහල

Archive

Latest news

Related news