Sunday, April 28, 2024

සාදරයෙන් ලියමු: ජනපතිතුමනි, මෙන්න ඉටු නොකළ යහපාලන පොරොන්දු!

(සංවේදී පුරවැසියන් පිරිසක් විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ වෙත ඉදිරිපත් කරනු ලබන විවෘත ලිපියකි)

ගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා වෙතටයි,

මුලින්ම, ශ‍්‍රී ලංකාවේ ජනතාවට ඔබතුමන්ලා දුන් පොරොන්දු ඉටු කරලීමට ඔබලාට හැකියාව ලැබෙන නව වසරක් වේවා යැයි අපි ඉත සිතින් පතමු.

පසුගිය ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමේ සහ බලය අත්පත් කර ගැනීමෙහි ලා යහපාලනයේ සටන් පාඨ මහත් සේ ඉවහල් විය. එහිදී ඔබව බලයට පත් කළ සියල්ලන්ම උද්දාමයට පත්කරමින් ඔබ ප‍්‍රකාශ කොට සිටියේ, දේශපාලන පක්ෂ හෝ පාට ඔබට වැදගත් නොවන බවත්, ඔබේ එකම කල්පනාව වන්නේ රටට සේවයක් කිරීම බවත් ය. ජුනි 28 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පත වාර්තා කළ පරිදි, ඔබ පෙනී සිටියේ, ‘‘නීත්‍යානුකූල ආණ්ඩුකරණයක්, යහපත් ජීවිතයක් සහ වටිනාකම් පිරි සමාජයක් වෙනුවෙනි.’’

දූෂිතයන්ට, ජාවාරම්කරුවන්ට සහ එතනෝල් ව්‍යපාරිකයන්ට ඡුන්දය නොදෙන්නැයි, ඔබත් අගමැතිතුමාත් නැවත නැවතත් රටෙන් ඉල්ලා සිටියේය. අවාසනාවකට, අද ඔබලා අපේ අපේක්ෂා සුන් කොට තිබේ.

යහපාලනයේ මූලික ලක්ෂණය වන්නේ සුපිළිපන් භාවය නම්, ඡුන්දයෙන් පරාජය වූ, අතීතයේ දුඟද කැරැට්ටුවක් ඇති මන්ත‍්‍රීවරුන් සහ ඇමතිවරුන් ජාතික ලැයිස්තුවෙන් පත්කර එවීමෙන් ඒ සුපිළිපන් භාවය නිරූපණය කරන්නේ කෙසේද? මෙවැනි ඇමතිවරුන් සහ මන්ත‍්‍රීවරුන් යටතේ සේවය කරන දක්ෂ රාජ්‍ය නිලධාරීන්ට, මේ අය අමතා ගරු ඇමතිතුමා හෝ ගරු මන්ත‍්‍රීතුමා යැයි කීමේ හැකියාවක් කෙසේ නම් ලැබෙන්නද? ඔවුන්ගෙන් කෙසේ නම් උපදෙස් ගන්නද? ඔවුන්ව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් බවට පත්කෙළේ ජනතාවට සේවය කිරීමටද, නැත්නම්, වැරදිකරුවන්ට රැකියා සපයන සහ ජීවිත කාලයට විශ‍්‍රාම වැටුප් සකසා දෙන ආයතනයක් බවට පාර්ලිමේන්තුව පත් කිරීමටද? දූෂණය මෙරටින් අතුගා දැමීමේ තිර අදිටනක සිටින සේයාවක් ඔබේ ක‍්‍රියාවන් තුළින් නිරූපනය වන්නේ නැත. ජනතාව අපේක්ෂා කළ වෙනස ඇති කර ගැනීම සඳහා, බහු-විධ කුසලතාවෙන් යුත් පිරිස්වල සහාය ඔබට ලබා ගත හැකිව තිබුණි.

ජනතාව විසින් ඔබට පවරන ලද බලය, ජනතා අපේක්ෂාවන් පිළිබඳ තැකීමකින් තොර ඔබේ න්‍යාය පත‍්‍රයක් සාර්ථක කර ගනු වස් ඔබ පරිහරණය කරන බවක් පෙනෙන්ට තිබේ. ළඟ එන පලාත් පාලන මැතිවරණයට ඔබ නායකත්වය සැපයීමට අදහස් කරන බව දැන ගැනීමට ලැබීම අප තුළ තවත් කණස්සල්ල දනවන්නකි. ජනාධිපතිවරයෙකු වශයෙන් ඔබේ කාර්යය වන්නේ මුළු රටටම නායකත්වය සැපයීම මිස විශේෂිත වූ පක්ෂයකට නායකත්වය සැපයීම නොවන බව ඔබට නොවැටහේද?

ජනතා අප‍්‍රසාදය පළවන තවත් කාරණයක් වන්නේ රාජ්‍ය ආයතන සහ බැංකුවලට කරන පත්වීම් ගැනයි. එහිදී එම ආයතන මෙහෙයැවීම පිළිබඳ සුදුසුකම් හෝ හැකියාවන් පිළිබඳ නොතකමින් නෑයන්, හිතමිතුරන් සහ පාක්ෂිකයන් පත්කර ගැනෙනු දක්නට තිබේ. පසුගිය රජය පරාජය කෙරුණේම, ඥාති සංග‍්‍රහය සහ වංචනිකත්වය අස්සේ, සාධාරණ අධිකරණ ක‍්‍රියාවලියක් නොපැවතීම හේතුකොටගෙනයි.

පාරදෘෂ්‍ය භාවය සහ වගවීම, යහපාලනයක මුල්ගල් ය. මේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම පමා වන තරමට, මේ වෙනස ඇති කිරීම සඳහා රටේ ජනතාව තුළ තිබූ උනන්දුව සහ සාමූහික අධිෂ්ඨානය මොට කෙරෙන්නේය. පාරදෘෂ්‍ය භාවය සහ වගවීම ඌන වන විට ජනතාව සතු ස්වෛරීත්වය ඛාදනය කෙරේ. රටේ ධනය කොල්ලකෑ අයවළුන් නීතිය ඉදිරියට පැමිණවීමට අසමත් වීම තුළ, ජනතා අපේක්ෂා භංගත්වය උත්සන්න කෙරේ.

මේවාට අදාළ පරීක්ෂණ සිදුවීමේ මන්දගාමී භාවයත්, අපරාධකරුවන්ට නඩු පැවරීම පමා වීමත් තුළින් පෙන්නුම් කරන්නේ, පසුගිය රජයට සම්බන්ධ අයවළුන්ට අදාළ පරීක්ෂණ ඉදිරියට ගෙන නොයාමට බලධාරීන් තුළ පවතින කැමැත්තකි. මේවා ජනතාව දකින්නේ, තමන්ට හොරෙන් කෙරෙන යටිකූට්ටු වැඩ ලෙසිනි. මෙයින් පෙනෙන්නේ, අදාළ සිදුවීම් සම්බන්ධයෙන් නිසියාකාරයෙන් ක‍්‍රියා කිරීමට තරම් ශක්තියක් සහ හැකියාවක් රටට නැති බවද?

කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් 48 දෙනෙකු සිටියත්, ආර්ථිකයත් ඉදිරියට යන පාටක් පෙනෙන්ට නැත. ඉතා අත්‍යාවශ්‍ය කරන ප‍්‍රතිසංස්කරණවලින් තොරව, තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කර ගත නොහේ. ලංකාව දකුණු ආසියාවේ ග‍්‍රීසිය වීමට කලින් ඔබතුමාත්, අගමැතිතුමාත්, පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා නිර්භය පියවර ගත යුතුව තිබේ.

අවසාන වශයෙන්, ජාතික ආණ්ඩුවක් ඇති කර ගැනීමට හැකි වීම ගැන අපේ ප‍්‍රශංසාව ඔබතුමන්ලාට හිමි වෙයි. එහෙත්, ඔබ පෙනී සිටිතැයි අප විශ්වාස කළ හර පද්ධතිය වෙනුවෙන් ඔබලා පෙනී සිටිය යුතුය. ඒ නම්, අවංකත්වය, යුක්තිය සහ සාධාරණත්වය රජයන දේශපාලන සංස්කෘතියකි. එසේ නොවුණහොත්, ඔබලා මෙතෙක් කී දේවල් අපට සළකන්ට වන්නේ, හිස් ප‍්‍රලාප වශයෙනි.

මෙරටේ වෙසෙන පුරවැසියන් නියාලූ නැත. නිවට නැත. එවැනි පුරවැසියන් දැන් පෙරට පැමිණිය යුතුව තිබේ. ‘වෙනසක්’ පොරොන්දු වුණි. ඒ වෙනස සඳහා ඡුන්දයක් පාවිච්චි වුණි. එසේ හෙයින් එවැනි වෙනසක් අපේක්ෂා කිරීමේ අයිතියක් ජනතාවට තිබේ. පුරවැසියන් වශයෙන් ඒ වෙනස ඉල්ලා සිටීමට අප අපොහොසත් වන්නේ නම්, තිරසාර වෙනසක් ඇති කර ගැනීම සඳහා ලැබුණු මහඟු අවස්ථාවක් අප පැහැර හැරියා වන්නේය. එයින් සිදුවනු ඇත්තේ, පසුගිය රජය යටතේ සිදුවිණැ යි කී, දූෂණය සහ ඥාති සංග‍්‍රහය ඉදිරිටත් පැවතීමයි. මේ නිසා අර්ථවත් වෙනසක් රටට වහා අවශ්‍ය කෙරේ.

‘‘යහපත පරයා අයහපත ජය ගැනෙන්නේ යහපත් මිනිසුන් කිසිවක් නොකර සිටීම නිසාමයි.’’- එඩ්න්ඩ් බර්ක්

Archive

Latest news

Related news