Saturday, April 27, 2024

ශාන්ත විජේසූරියත් සී.අයි.ඩි.යට කැඳවයි

මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතා 2012 වර්ෂයේ ජූලි 05 දා පැහැර ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා  පසුගිය 14 දා  ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. මෙහි දී ඔහුගෙන් එම පැහැර ගැනීම පිළිබඳ මෙන්ම ”සත්හඬ” පුවත්පතට ඔහු විසින් ලියන ලද ප‍්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය කිරීම සම්බන්ධව  සහ කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීමට අදාළ ලිපි පිළිබඳව ද ප‍්‍රශ්න කර තිබේ.
ශාන්ත විජේසූරිය මහතා පැහැර ගැනීමට උත්සාහ කිරීමට අදාළව පොලිස්පතිවරයාට සිදු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි. පසුව ඔහු ජීවිත ආරක්ෂාව පතා විදේශගත වුවත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ආරක්ෂක අංශ බව කියාගත් පිරිසකගේ හිරිහැර කිරීම්වලට ලක් වන්නට සිදු විය.

පසුගිය 7 වන දා මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතාගේ නිවසට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියකු විසින් එම පැහැර ගැනීම පිළිබඳ ප‍්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබුණි.

මේ පැහැර ගැනීමට උත්සාහ කළවුන් කවුරුන් ලෙස සැක  කරන්නේදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විමසූ විට හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක අංශ මෙන්ම මාධ්‍ය ආයතන හිමිකරුවකු ද තමන් පැහැර ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු බව ශාන්ත විජේසූරිය මහතා පවසා ඇත.

මේ ප‍්‍රශ්න කිරීම පිළිබඳ අදහස් දක්වමින් ශාන්ත විජේසූරිය මහතා පැවසුවේ පැහැර ගැනීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබුණත් තමන්ගෙන් දිගින් දිගටම ප‍්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය සම්බන්ධව සහ කුමාර් ගුණරත්නම් පැහැර ගැනීමට අදාළ ලිපිවල අඩංගු තොරතුරු සම්බන්ධයෙන් විමසූ බවයි. එසේම මෙතෙක් කල් තමන් ඇතුළු මාධ්‍යවේදීන් සහ සිවිල් ක‍්‍රියාකාරිකයන් දඩයමට ලක් වීම සම්බන්ධ සාධාරණ පරීක්ෂණයක් නොපැවති බවයි. වත්මන් පාලකයන් විසින් එවැනි සාධාරණ පරීක්ෂණයක් ආරම්භ කරන්නේ නම් තමන් ඊට සහයෝගය දක්වන බව ශාන්ත විජේසූරිය මහතා පවසා තිබේ.

– ලිකා නිව්ස් වෙබ්

Archive

Latest news

Related news