Friday, April 26, 2024

තෛපොංගලුත් ඉවරයි. තාමත් වැටුප් නැහැ – වතු කම්කරුවන්

වතු සේවක වැටුප් වැඩි කරන බවට වතු හිමියන් විසින් ලබා දෙනු ලැබූ පොරොන්දුව මෙතෙක් ඉටු වී නොමැති බව වතු කම්කරුවෝ පවසති.

දීපවාලි උත්සවයට පෙර වැටුප් වැඩි කරන බවට එක්‌ වරක් පොරොන්දු වූ හාම්පුතුන් අනතුරුව නව වසර උදාවට පෙර වැටුප් වැඩි කරන බවට ප්‍රතිඥා දුන් බව කියා සිටින වතු කම්කරුවන් තෛපොංගල් උත්සවය ගෙවී ගොස් ඇතත් තවමත් සිය වැටුප් වැඩි වී නොමැති බවයි පේපෙන්වා දෙන්නේ.

පොරොන්දු වූ පරිදි වතු සේවක වැටුප් ඉහළ නැංවීම සඳහා ආණ්ඩුවට වගකීමක් ඇති බව කඳුරට සමාජ සංවර්ධන ආයතනයක විධායක අධ්‍යක්ෂවරයකු වන පී.මුත්තුලිංගම් පැවසීය.

‘ආණ්ඩුව තමයි ප්‍රකාශයට පත් කළේ දෙදහස් පන්සීයක් දෙනවා. ඒ සඳහා දිනකට සියය බැගින් එකතු කරනවා කියලා. සමාගම් කියනවා නම් මේ ගෙවීම් කරන්න බැහැ කියලා මහා භාණ්ඩාගාරයෙන් හෝ ඒ ගෙවීම කරන්න ආණ්ඩුව පියවර ගන්න ඕන’ඔහු කියා සිටියි.

රුපියල් දෙදාස් පන්සීයක්

පොරොන්දු වූ පරිදි ආණ්ඩුව රුපියල් දෙදාස් පනසීයකින් වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බවට මේ අතර කඳුරට කම්කරු පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුනාචලම් අරවින්ද් කුමාර් බලාපොරොත්තු පළ කළේය.

මීළඟ පාර්ලිමේන්තු සැසියේ දී රුපියල් දෙදාස් පනසීයේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව සභාගත කොට අනුමත කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සෑම වසර දෙකකට වරක් වතු සේවක වැටුප් සම්බන්ධයෙන් සම්මුතියකට පැමිණෙන්නේ වතු හාම්පුතුන් සහ වතු කම්කරුවන් අතර 1992 වසරේ ඇති කර ගනු ලැබූ සාමූහික ගිවිසුමට අනුවයි.
ඒ අනුව 2015 වසරේ මාර්තු 31 වනදාට පෙර වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන් හා එකඟතාවකට පැමිණීමට නියමිතව තිබුණි.

වතු කම්කරුවන්ගේ මූලික වැටුප සම්බන්ධයෙන් හැකි ඉක්මනින් එකඟතාවකට පැමිණිය යුතු බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

BBC Sinhala

Archive

Latest news

Related news