Sunday, April 28, 2024

ඇඹිලිපිටිය පොලිස් මිනීමැරුම් නඩුව: මාධ්‍යවේදීන්ට පොලිසියෙන් බාධා

මරණයට පත් සුමිත් ප්‍රසන්නගේ ගැබිනි බිරිඳ ශෂිකා නිෂාමනී මුණසිංහ සිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් වූ ලිඛිත පැමිණිල්ලක් ඇඹිලිපිටිය පොලීසියටත් පොලිස්පතිවරයාටත් බාර දී ඇත)

විසි නව හැවිරිදි එක් දරු පියකු වූ සුමිත් ප්‍රසන්න ජයවර්ධන මරණයට පත් වුනේ ඇඹිලිපිටිය නව නගරයේ නිවසක පසුගිය 04 වනදා රාත්‍රීයේ පැවති සාදයකට සහභාගී වූ පිරිසක් සහ ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරීන් අතර සිදු වූ ගැටුමකින් අනතුරුවයි

ඇඹිලිපිටිය සාදයේ දී පොලිසිය සහ ප්‍රදේශයේ කණ්ඩායමක් අතර සිදු වූ ගැටුම අතරවාරයේ මරු මුවට පත් සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය වාර්තා කිරීමට ගිය තමන්ට පොලිසිය බාධා කළ බව මාධ්‍යවේදීහු පවසති.

අද (13)ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මරණ පරීක්ෂණය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් අත තිබූ සටහන් පොත් අධිකරණ පොලිස් නිලධාරියාගේ බාරයට ගනු ලැබ ඇත.

ජාතික පුවත්පත් හයකට අයත් මාධ්‍යවේදීන් එම අවස්ථාවේ අධිකරණය තුළ වූ අතර අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු විනිශ්චයාසනයේ විය.

මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයේ පළමු සාක්ෂිකරුගේ සාක්ෂි මෙහෙයවන අවස්ථාවේ මාධ්‍යවේදීන් සතු සටහන් පොත් අධිකරණය බාරයට ගනු ලැබූ අතර සාක්ෂි මෙහෙයවනු ලැබුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර විසිනුයි.
පොලිස් ප්‍රකාශක

නීතිඥවරයකු වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නීතිඥ ලෝගුව පැලඳ අධිකරණයට පැමිණ සිටියේය.

මාධ්‍යවේදීන්ගේ සටහන් සහ සටහන් පොත් සියතට ගත් අධිකරණ පොලිස් නිලධාරියා කියා සිටියේ අවශ්‍ය නම් නඩු වාර්තා පොතෙන් සාක්ෂි සටහන් උපුටා ගන්නා ලෙසයි.

විසි නව හැවිරිදි එක් දරු පියකු වූ සුමිත් ප්‍රසන්න ජයවර්ධන මරණයට පත් වුනේ ඇඹිලිපිටිය නව නගරයේ නිවසක පසුගිය 04 වනදා රාත්‍රීයේ පැවති සාදයකට සහභාගී වූ පිරිසක් සහ ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරීන් අතර සිදු වූ ගැටුමකින් අනතුරුවයි.

සාදයකට කඩා වැදුණු ඇඹිලිපිටිය පොලිසිය පොලු වලින් පහරදී විසිනව හැවිරිදි එක් දරු පියා ඉහළ මහලකින් බිමට තල්ලු කර මරා දැමූ බවට සාදයට සහභාගී වූ පිරිස් සහ මිය ගිය අයගේ ඥාතීහු චෝදනා කරති.

මේ අතර පොලිසිය ප්‍රකාශ කළේ මරුමුවට පත් පුද්ගලයා ඉහළ මහලකින් බිමට පැන්න බවයි.

මරණයට පත් සුමිත් ප්‍රසන්නගේ ගැබිනි බිරිඳ ශෂිකා නිෂාමනී මුණසිංහ සිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් වූ ලිඛිත පැමිණිල්ලක් ඇඹිලිපිටිය පොලීසියටත් පොලිස්පතිවරයාටත් බාර දී ඇත.

ඇය පවසන්නේ පොලිසිය මුලින් ලියා ගත් සටහන් පිළිබඳ තමන්ට විශ්වාසයක් නොමැති බවයි.
බීබීසී සිංහල

Archive

Latest news

Related news