Saturday, April 27, 2024

මට වැදගත් පස් වසරකට පසු මා නොව රට සිටිනු ඇති තැනයි – ජනපති සිරිසේන

මා ඉතාමත් සතුටු වෙනවා පසුගිය වසරේ ජනවාරි 08 වෙනිදා මේ රටේ සිදු වූ ඉතාමත් සාමකාමී දේශපාලන පරිවර්තනයට වසරක් සපිරෙන අවස්ථාවේ මේ රටේ ආදරණීය ජනතාවගේ ප‍්‍රධාන සේවකයා ලෙස මා පත්කරගෙන වසරක් සම්පූර්ණ අවස්ථාවේ ඔබව ඇමතීමටලැබීම පිළිබදව.

මීට වසරකට පෙර පොදු අපේක්ෂකයා විදිහට මා තෝරාගෙන එදා මැතිවරණ ව්‍යාපාරයට නායකත්වය දුන්, සහයෝගය ලබාදුන්, අනුග‍්‍රහය ලබාදුන් මේ ජයග‍්‍රහණය සදහා ඡුන්දය පාවිච්චි කළ හැට දෙලක්ෂ පනස්දාහකට ආසන්න ආදරණීය ජනතාවටත්, ඒ වගේම මා තෝරාපත් කර ගැනීමට එකග නොවී ඡුන්දය පාවිච්චි කළ පනස් අට ලක්ෂයක් වන ජනතාවටත් මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනු ලබනවා.

වසරකට පෙර සිද්ධීන් එක් පැත්තකින් ත‍්‍රාස ජනකයි, තවත් අතකින් විනෝදාත්මකයි, තවත් අතකින් එමගින් ලැබුණු දැනුම පරිණතයි. තවත් අතකින් මේ රටේ දේශපාලනයට අත්‍යාවශ්‍ය වූ අත්දැකීමක පුථල් පරාසයක් ලෙස සැළකිය හැකි අතර ඒ පිළිබද මා ඉතාමත් සතුටු වෙනවා.

බොහෝ අය මගෙන් අහන ප‍්‍රශ්නයක් තිබෙනවා, මගේ හිතවතුන්, මිත‍්‍රයින්, මාධ්‍යවේදින් ඉතා ළගින් ඇසුරු කරන අය අහන ඒ ප‍්‍රශ්ණය ඊයේ පෙරේදා දිවයිනට පැමිණි පාකිස්ථාන අග‍්‍රාමාත්‍යතුමත් මගෙන් ඇහුවා. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබදව ඔබ එකග වෙනවා. ඔබේ ධූර කාලයෙන් පසුව අවුරුදු 05 කට පස්සේ ඔබේ ස්ථානය හා තැන කුමක්ද යන්න ඒ ප‍්‍රශ්ණයයි. ඒ ප‍්‍රශ්ණය මගෙන් අහන අයටත් සියලූදෙනාටත් මම ගෞරවයෙන් මතක් කරනවා මට වැදගත් වන්නේ ඉදිරි පස් වසරක කාලයකට පසු මට හිමි තැන නොව, මේ රට තිබෙන ස්ථානය පිළිබදවයි. මේ රට මොන ආකාරයට තිබෙනවාද කියන කාරණය කියන එකයි.

මට මා පිළිබදව දේශපාලන න්‍යාය පත‍්‍රයක් නැහැ. මට තිබෙන්නේ රට පිළිබද දේශපාලන න්‍යාය පත‍්‍රයක්. ලෝකයේ සියලූදෙනා පිළිගන්නා ගෞරවයට පාත‍්‍රවන කාගේත් පිළිගැනීමට ලක්වන විශිෂ්ට ශ්‍රේෂ්ඨ ජාතියක් බවට ඔබෙත් මගෙත් ආදරණීය මාතෘ භූමිය ඉදිරි පස් වසර තුළ ගොඩ නැගීමේ සිහිනය සැබෑ කර ගැනීමයි ඔබේ මෙන්ම මගෙත් න්‍යාය පත‍්‍රය කියන එක මම මතක් කරනවා.

ඒ වගේම මම නම් වශයෙන් කියන්න යන්නේ නැහැ වෙන වෙනම කියන්න ගියොත් කාලය ගත වෙනවා. පොදු අපේක්ෂකයා ලෙස මාව පත් කරගෙන මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවමින් ඒ විශිෂ්ට ජයග‍්‍රහණය රට සහ ජනතාව වෙනුවෙන් ලබාදීමට කටයුතු කළ එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාත්, ඒ වගේම චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා වැනි ඒ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වී සිටි ද්‍රවිඩ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය, ජාතික මුස්ලිම් පෙරමුණ, ජාතික හෙළ උරුමය ඒ වගේම අපට විශාල සහයෝගයක් ලබාදුන් ජනතා විමුක්ති පෙරමුණ, ඒ වගේම සිවිල් සංවිධාන, පුරවැසි සංවිධාන ගෞරවනීය මහා සංඝරත්නය ප‍්‍රමුඛ අනෙකුත් පූජකතමන්ලා වෘත්තීය සමිති, ස්වේච්ඡුා සංවිධාන ඒ සියලූදෙනාට මම මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා මේ විශාල කැපකිරීම කරන්නට රට වෙනුවෙන් මා කෙරෙහි විශ්වාසය තබලා ඔබ සෑම කෙනෙක්ම දැක්වූ ඉමහත් වූ කැපවීම සහ පරිත්‍යාගශිලී භාවය පිළිබදව.

සමහර අය කියනවා ඇහෙනවා මේ වර්ෂ පූර්ණය ගැන කථා කරන විට වසරක් තුළ බොහෝ දේ මේ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් කළා කියලා. තවත් කෙනෙක් අහනවා මොනවද කළේ වසරක් තුළ කියලා. තවත් සමහර අය කියනවා වසරක් තුළ කරපු දෙයක්නම් නැහැ කියලා.

ඒ වගේම මේ වර්ෂ පූර්ණයත් එක්ක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පරිවර්තනයන් පිළිබද කථා කරන විට සමහරු කියනවා අපි මේ කටයුතු කරන්නේ රට දෙකඩ කරන්න කියලා.

සමහර අය කියනවා බුද්ධාගමට හිමි තැන නැති කරන්නයි මේ හදන්නේ කියලා. තවත් සමහර අය කියනවා විදේශීය උපදෙස් අනුව ආරක්ෂක හමුදා දුර්වල කරලා ජාතික ආරක්ෂාව බිදින්නයි හදන්නේ කියලා. මම ඒ සියලූදෙනාටම කියනවා නැහැ අපි උත්සාහ කරන්නේ ඔබ කියන දේ නොව ඔබ නොදකින දෙය, ඔබට නොතේරෙන දෙය ඉෂ්ට කිරීම ස`දහායි කියලා.

අපිව බලයට පත් කිරීමෙන් මේ රටේ ජනතාව බලාපොරොත්තු වූ අධීෂ්ඨානශීලීව අපේක්ෂා කළ කරුණු කිහිපයක් තිබෙනවා. අපේ රට සමාජ ප‍්‍රජාතනත්‍්‍රවාදීකරණය කිරීම අප තුළින් ඔවුන් ප‍්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ රට තුළ දුෂණය, වංචාව, නාස්තිය, අක‍්‍රමිකතාවය ඉවත් කරලා යහපාලනයක් තුළ යහපත් ආර්ථික කළමණාකරණයක් බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම නූතන ශී‍්‍ර ලංකා රාජ්‍යය ගොඩනැගීමේ වගකීම අපිට භාරදීලා තිබෙනවා. පසුගිය වසරේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ මා මුලින් කී සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීකරණය, යහපාලනය සදහා මූලික අඩිතාලම දැම්මා. මේ රටේ ජනතාව වසර 40 කට වඩා කථා කළ මැතිවරණ දුෂණ, අක‍්‍රමිකතා වළක්වන්න ස්වාධීන කොමිසන් සභාවක් අපි පසුගියදා පිහිටුවනු ලැබුවා. මානව හිමිකම් කොමිසන් සභා, අල්ලස් දුෂණ කොමිසන් සභා ශක්තිමත් කිරීම, රාජ්‍ය සේවය, පොලිස් සේවය විගණන කටයුතු මේ සම්බන්ධයෙන් ස්වාධින කොමිෂන් සභා පිහිටවනු ලැබුවා එය මේ රටේ ජනතාවගේ දෛනික ජීවිතයට නොදැනුනත්, එය බඩට දැනෙන දෙයක් නොවුනත්, ඇසට නොපෙනෙන දෙයක් වුවත්, අතට අල්ලා ගතහැකි දෙයක් නොවූවත් එය මුථ මහත් මානව සමාජයේ විශිෂ්ටත්වය සහ ශ්‍රේෂ්ඨත්වය සදහා අපි විසින් කරන ලද විශිෂ්ට කාර්යයක් ලෙස මා විශ්වාස කරනවා.

ඒ වගේම අපි බලාපොරොත්තුවන වෙනස්කම් කරා යන්නට අපි පළමු වසර තුළ ආරම්භයක්, ප‍්‍රවේශයක් තබලා තිබෙනවා. පසුගිය වර්ෂය මැතිවරණ වර්ෂයක්. ජනවාරි 08 වෙනිදා මැතිවරණය, ඒ වගේම අගෝස්තු 17 මහ මැතිවරණය. මැතිවරණ කාලය සාමාන්‍යයෙන් අපේ රටේ බොහෝ කටයුතුවල අස්ථාවර තත්ත්වයන් ඇති කරනවා. සංවර්ධන කටයුතු බොහේ දුරට අඩපණ වෙනවා. දුර්වල වෙනවා මැතිවරණ කාලවලදි. බොහෝ වෙලාවට රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. සොයා බැලීම් අඩු වෙනවා.

ඒ නිසා පළවෙනි වර්ෂයේ අපි කාටත් සතුටු විය හැකි ජයග‍්‍රාහී වර්ෂයක් සමාජය වෙනුවෙන් ඉෂ්ට කළ යුතු ප‍්‍රධාන යුග මෙහෙවර ඉෂ්ට කිරීම සඳහා අපි ඒ කාර්යය මුල් ආරම්භයක් කළා කියන එක විශේෂයන් කියන්න ඕනෑ. නූතන ශ‍්‍රී ලංකා රාජ්‍ය ගොඩනැගීමේ කාර්යයේදී අද දවස වගේම හෙට දවස සඳහා මේ රට තුළ තිබිය යුතු ජාතික සංහිඳියාව, ජාතීන් අතර සමගිය, රටේ සියලූ ජනකොටස්වල විශ්වාසය, සැකය, අවිශ්වාසය දුරුකිරීමෙන් මේ කාර්යයන් ඉතාම අත්‍යවශ්‍ය වෙනවා.

එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මැතිතුමාට මා ශ‍්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා අපිට අද දවසේ සුබපැතීම ආශිර්වාද කිරීම පිළිබඳව. ඒවගේම ඉතාම කාලෝචිත වූ අදහසක් තම දේශන තුළ ඉදිරිපත් කිරීම පිළිබඳව ක‍්‍රිෂ්ණ ගෝපාල් ගාන්ධි මැතිතුමාටත් මම ස්තූතිවන්ත වෙනවා.

අපිට අපේ රට ශක්තිමත් කරන්න, අපේ රට ගොඩනගන්න අපට තිබෙන ප‍්‍රශ්න අපි ඉතාමත්ම හොඳින් හඳුනාගැනීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා අප විසින් කැපකිරීම් කළ යුතු වෙනවා. උතුරේ සහ දකුණේ අන්තවාදී පිරිස් වල අපේක්ෂාවන් සහ බලාපොරොත්තු සුන් කළ යුතු වෙනවා. මේ රටේ නැවත යුද්ධයකට ඉඩ නොදී ස්ථිර සාමකාමී රටක් ගොඩනගන්න, මේ රට නොබෙදෙන්න, මේ රටේ සියලූ ජනකොටස් විශ්වාසයෙන් සහ සහෝදරත්වයෙන් ජීවත්වෙන්න අවශ්‍ය පරිසරයක් ගොඩනැගීම අප විසින් කළ යුතු වෙනවා.

වසර 26 ක බිහිසුණු යුද්ධයේ ඉතාම කටුක වූ අත්දැකීම් වලින් යුද්ධය අවසන් වී භෞතික වශයෙන් යුද්ධය ජයග‍්‍රහණය කරලා ඒ ලබා ගත් සාමය ස්ථිර සාමයක් කර ගැනීම සඳහා විශේෂයෙන්ම යුද්ධය ඇති වූ හේතු අප විසින් සෙවීම අවශ්‍ය වෙනවා. යුද්ධයට තුඩු දුන් කාරණා අප විසින් සෙවීම අවශ්‍ය වෙනවා. ඒවගේම 26 වසරක යුද්ධය අවසන් වෙලා පශ්චාත් යුධ සමයේ ශ‍්‍රී ලංකාවේ අප විසින් කළ යුතු මෙහෙවර අතපසු වීම පිළිබඳව අප කණගාටු විය යුතු වෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිෂන් සභාව හරහා අප වෙත එවන ලද යෝජනා වල ඒ යෝජනා ඉපදීමට හේතුව කුමක්ද කියලා බැලූවොත් මා විශ්වාස කරන්නේ විශේෂයෙන්ම පශ්චාත් යුධ සමයේ ශ‍්‍රී ලංකාවේ කළ යුතු කාර්යයන් වගකීම් සහ යුතුකම් අප විසින් ඉටු නොකිරීමේ එක්තරා ප‍්‍රතිඵලයකින් ඒ යෝජනා අපිට එන්නේ කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිසා අපි සෑම කෙනෙකුටම අපේ කාර්යයන් කිරීම සඳහා අධිශ්ඨානශීලීභාවය, කැපවීම, ආත්ම ධෛර්යය සහ ආත්මාභිමානය රටක් විදිහට අවශ්‍ය වෙනවා.

මේ රට ගොඩනගන්න මේ රටේ සෑම කෙනෙකුටම උගතුන්ට බුද්ධිමතුන්ට තිබෙන උවමනාව අවශ්‍යතාවය ඒ සියල්ල අපි එක ගොඩකට ගන්න ඕනෑ. රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක්සත් ජාතික පක්ෂයත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒවගේම ඊට එකතු වී සිටින අනිකුත් සහෝදර දේශපාලන පක්ෂත්. මේ එකතුව ඇතැමෙකුට උහුලන්න බැරිකමක් තිබෙනවා. එය ඇතැමෙකුට විඳවන්න බැරිකමක් තිබෙනවා. එය ඇතැමෙකුට පිළිගන්න බැරිකමක් අපි දකිනවා. නමුත් මේ කරන කාර්යය අද මේ රටේ උගත් බුද්ධිමත් පොදු මහ ජනතාවගේත් සෑම කෙනෙකුගේමත් බහුතරයේත් අතිගෞරවයට සහ ප‍්‍රසාදයට ලක්වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්තුමාගේ ඉඳලා ලෝකයේ ප‍්‍රබල රාජ්‍යවල රාජ්‍ය නායකයින්ගේ මේ සඳහා අපිට ආශිර්වාදය තිබෙනවා.

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුථවට ගිය වෙලාවේ හමු වූ රාජ්‍ය නායකයින් තුළ ඕස්ටේ‍්‍රලියාවේ අගමැති මැල්කම් මැතිතුමා මට කිව්වේ ඔබ කරන්නේ ඉතාමත් අපහසු කාර්යයක්. අවුරුදු හැට ගාණක් හැත්තෑවක් විතර බෙදිලා සතුරන් විදිහට සටන් කරපු ප‍්‍රධාන දේශපාලන පක්ෂ එකතු කරගෙන ආණ්ඩුවක් හදලා ජාතික සංහිඳියා පිළිවෙත ශක්තිමත් කරමින් රටේ යුද්ධයක් ඇති නොවන්න අවශ්‍ය වෙනස්කම් කරමින් පරිවර්තනය කරමින් ඔබ ඉතා අසීරු කාර්යයක් කරන්නේ. එහෙත් ඒ අසීරු අමාරු කාර්යය ඔබ මේ වනවිට හොඳින් කරනවයි කියලා අපිට පේනවා කියලා එතුමා කිව්වා.

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුථවේදි මා හමුවුණු අවස්ථාවේ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා කිව්වේ, ඔබ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ අයිතීන් තහවුරු කරමින් හොඳ රටක් හදන්න ගන්න උත්සාහය අපි ඉතාමත් අගය කරනවා කියලා. මට කියන්න පුථවන් රාජ්‍ය නායකයින් හැමකෙනෙක්ම පෞද්ගලිකව මා සමග කියූ දේවල්. මා ඒවාට කාලය ගන්නේ නැහැ.

අපි මිනිසුන් විදිහට ජීවත් වන මේ සමාජයේ බොහෝ අයට සරල දේ කළ හැකියි. බොහෝ අයට පහසු දේ කළ හැකියි. එහෙත් අප විසින් අතගැසිය යුත්තේ ඒ සරල හා පහසු දේවල් වලට නොව සැමවිටම අභියෝගාත්මක අවදානම්කාරී මානව සමාජයේ රටේ මාතෘභූමියේ යහපත සඳහා වූ දේවල් සඳහායි අප අත ගැසිය යුත්තේ. රට වෙනුවෙන් රටේ යහපත වෙනුවෙන් ජාතියේ යහපත් වෙනුවෙන් සාමකාමී දේශයක් මේ රටේ ස්ථිරව ගොඩනැගීම වෙනුවෙන් මේ රටේ නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීම වෙනුවෙන් එන සියලූ අභියෝග මා ආදරයෙන් වැළඳ ගන්නත් ජීවිත පරිත්‍යාගයෙන් මම මගේ වගකීම් සහ යුතුකම් ඉටු කරන්නත් මම පැහැදිලිවම අධිෂ්ඨානශීලීව බැදී ඉන්නවා.

මම භයානකම අභියෝගය සහ අවදානම භාරගත්තේ 2014 නොවැම්බර් මාසේ 21 වෙනිදා. එදා තිබුණු ආණ්ඩුවෙන් එළියට එන විට පක්ෂයේ මහලේකම් විදිහට අඛණ්ඩව අවුරුදු 13 ක් වැඩ කරලා පාර්ලිමේන්තුවේ 26 අවුරුද්දක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අඛණ්ඩව අවුරුදු 48 ක් කටයුතු කරලා මගෙන් කෙනෙක් ඇහුවොත් ඔබේ ජීවිත කාලය තුළ ඔබ වඩාත්ම සතුටින් සිටි දවස කුමක්ද කියා අපේ මහ නායක හාමුදුරුවනේ, අනුනායක හාමුදුරුවනේ මම කියන්නේ මගේ ජීවිත කාලයේ මා සතුටුම වෙච්ච දවස තමයි මම තනතුරු සියල්ල අත්හැරලා 2014 නොවැම්බර් 21 වෙනිදා ආණ්ඩුවෙන් එළියට ආපු දවස කියලා. බලය අත්හැරිිම පිළිබඳව සතුට, වගකීම් වලින් නිදහස් වීම පිළිබඳ සතුට, හිත තුළ තිබූ බොහෝ පීඩාවන් වේදනාවන් මගෙන් ඉවත් වූ දවස. මට මගේ රට වෙනුවෙන්, මගේ ජාතිය වෙනුවෙන් මගේ මව්බිම වෙනුවෙන් ශ‍්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මට යම් කිසි යුග මෙහෙවරක් කළ හැකියි කියා මා තුළ ඇති වූ විශ්වාසය තහවුරු වෙච්ච දවසයි මා සතුටු වූ දවස.

අපි මේ ගමන් කරන්නේ සරල පහසු ගමනක් නොවෙයි අපි ගමන් කරන්නේ අභියෝගාත්මක ගමනක්. මිනිසුන්ගේ යහපත වෙනුවෙන් බොහෝ දේ කළ දේශපාලනඥයින් ලෝකයේ බොහෝ වෙලාවට නොයෙකුත් බරපතළ ඛේදවාචකයන්ට ලක් වෙලා තිබෙනවා. ඇමරිකාවේ විශිෂ්ටතම ජනාධිපතිවරයා විදිහට අදත් සැළකෙන ඒබ‍්‍රහම් ලින්කන් මැතිතුමා වෙඩි තියලා මරලා දැම්මා.
ආචාර්ය මාටින් ලූතර් කිං වර්ගභේදවාදයට විරුද්ධව සටන් කෙරුවහම වෙඩි තියලා මරලා දැම්මා. මහත්මා ගාන්ධිතුමා ඉන්දියාවේ අවිහිංසාවාදයේ මහා මානව දායාදයක්. මහත්මා ගාන්ධිතුමා දේශපාලනඥයෙක් නෙවෙයි සාන්තුවරයෙක්. මහාමානවවාදී අවිහිංසාවාදයෙක්. ඔහු මහා භාරතයට පමණක් නොවෙයි ශ්‍රෙෂ්ටත්වය පිළිඹිබු කළේ. සංකේතවත් කළේ. මුථමහත් මානව සමාජයටමයි. ඔහු මොහොතින් ඝාතනය කළා. මගේ දේශපාලන පක්ෂයේ නායකයා එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරනායක මැතිතුමා කුරිරු විදිහට ඝාතනය කරලා දැම්මා. ලෝකයේ සමාජය වෙනස් කරන්න රුදුරු බව වෙනස් කරන්න. හිංසාව වෙනස් කරන්න ම්ලේච්ඡුත්වය වෙනස් කරන්න මිනිසුන්ගේ තිබෙන නොමිනිස්කම් වෙනස් කරන්න යන මිනිස්සුන්ට මිනිසුන් විසින් දී තිබෙන දායාදය පරිත්‍යාගය සහ තිළිණය වෙඩිල්ල බෝම්බය ජීවිතය අහිමි කිරීම. එය ඉතිහාසය පුරා අත් දැකලතිබෙනවා. මුථ ලෝකය පුරා අත්දැකලා තිබෙනවා.

නමුත් අපි කිසිවිටෙකත් ඒවායින් ඉගෙන ගන්නා වූ පාඩම් තුළින් පසුබට වීම අවශ්‍ය වන්නේ නැහැ. අපි ඒ තුළ තව තවත් ධෛර්යමත් විය යුතුයි. ඒ තුළ අපි තවත් ශක්තිමත් විය යුතුයි. සමාජයට රටට මිනිසුන්ට අවශ්‍ය වෙනස අප විසින් කළ යුතුයි. නව පරපුර විසින් හඳුනා ගන්නා වූ නව අධි තාක්ෂණික ලෝකයත් සමග අපි අපේ ජනතාව එක් කළ යුතුයි. අභ්‍යවකාශ යුගයෙන් බිමට බැස වර්තමානයේ නූතනයේ මිනිසා තොරතුරු තාක්ෂණයත් සමග වේගයෙන් ඉදිරියට යනවා. ඒ අභ්‍යවකාශ යුගයෙන් බිමට බැසි මිනිසා වේගයෙන් තොරතුරු තාක්ෂණයත් සමග ඉදිරියට යන විට ඒ වේගයෙන් ඉදිරියට යන ලෝකයේ තරගකාරී සමාජයට අපේ දරුවන් එක් කිරීමේ කාර්යය අප විසින් කළ යුතු වෙනවා. හෙට දවස හොඳ දවසක් කළ යුතු වෙනවා. අද දවසේ ජීවත් වන මිනිසුන්ට යහපත් සමාජයක් වගේම මේ රටේ හෙට උපදින සෑම දරුවෙකුටම උතුරේ ද දකුණේ ද නැගෙනහිර ද බටහිර ද සතුටින් නිදහසේ සාමකාමී ව ජීවත් විය යුතු සමාජයක් පරිසරයක් ගොඩනැගිය යුතු වෙනවා. ඒ නිසා කුමන ආකාරයේ අභියෝග ආවත් කළ යුතු වෙනස්කම් කරන්නත් ගත යුතු තීරණ ගන්නත් අවශ්‍ය අවස්ථාවේදී කළ යුතු කාර්යය අවශ්‍ය අවස්ථාවට නිසිකලට කරන්නත් මා කිසිකලෙකත් පසුබට නොවන බව ඔබට සඳහන් කරන්නට කැමතියි.

ඒ නිසා අද මේ වසරක් පිරෙන අවස්ථාවේ ඔබ සමග එක්වන්නට ලැබීම පිළිබඳව මා ඉතාමත්ම සතුටු වෙන අතර ඉදිරි කාලසීමාව අපේ රටට සෞභාග්‍ය උදා කරන්න ස්ථිරසාර සාමයක් ලබාදෙන්න ජාතික සංහිඳියා පිළිවෙත ශක්තිමත් කරමින් පශ්චාත් යුධ සමයක වූ කාර්යයන් කිරීමට තිබූ දේ ඒ අපහසු වූ දේ අතපසු වූ දේ අප විසින් කාර්යක්ෂමව ඉටු කරන්නටත් විශේෂයෙන්ම ජනතාවගේ ජීවන බර, දුප්පත්කම දුගීභාවය මේ රටෙන් තුරන් කරන්නට ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න කෘෂි ආර්ථිකය ශක්තිමත් කරන්න ඒක පුද්ගල ආදායම වර්ධනය කරන්න දළ ජාතික නිෂ්පාදනය වැඩි කරන්න මේ සියල්ල සඳහා දේශීය කර්මාන්ත ශක්තිමත් කරමින් දේශීය නිෂ්පාදන ශක්තිමත් කරමින් අපේ දේ අපේ උරුමය අපේ ශිෂ්ටාචාරයේ ගෞරවය ආරක්ෂා කරමින් අපේ මහා සංස්කෘතිය ආරක්ෂා කරමින් අපේ උරුමයන් රැුක ගනිමින් සුන්දර වූ ලස්සන වූ සෞභාග්‍යමත් වූ ප‍්‍රබුද්ධ වූ ශ්‍රේෂ්ට විශිෂ්ට ජාතියක් සහ රටක් ගොඩනගන්න ඉදිරි කාලය තුළ ඔබ අප සියලූදෙනාම කැපවෙමුයි කියන ගෞරවණීය ආයාචනය කරමින් ඔබ සියලූ දෙනාටම තෙරුවන් සරණ පතමින් ඔබෙන් සමුගන්නවා.

ස්තූතියි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය පාලනයට වසරක් සපිරීම සමරනු වස් පැවති ප‍්‍රධාන ජාතික සැමරුම් උත්සවයේදී ජනාධිපතිතුමා කළ කථාව
(2015-01-08 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී)

Archive

Latest news

Related news