Sunday, April 28, 2024

රාජපක්ෂ දේශපාලනය‘ මිනීමරුවන්’ සමඟ නිදිවැදීමද? – සුනන්ද දේශප්‍රිය

හිටපු ජනාධිපති රාජපක්ෂ ඊයේ ( දෙසැ 22දා) වැලිකඩ හිර ගෙදරට ගියේ ය. ඒ දඩුවම් විදීමට නොවේ. ජනමාධ්‍ය වේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් ගාතනය කිරීම සම්බන්ධයෙන් සැක පිට බන්ධානාගාර ගත කොට සිටින යුදහමුදා නිලධාරීන්ට නීති උපදෙස් දීමට ය. ඔහු එම පිරිස් හදුන්වන ලද්දේ දේශපාලන සිරකරුවන් ලෙසය!

ජනමාධ්‍ය වාර්තාවන්ට අනුව යුද හමුදාවට සම්බන්ධ පුද්ගලයින් විසින් පැහැර ගන්නා ලද ප්‍රගීත් පසුව ඝාතනය කරන ලද්දේ ද එකී යුද හමුදා පිරිස් විසිනි.

ප්‍රගීත් පහැර ගන්නා ලද්දේ මෙයට වසර පහකට පෙරය. එදා සිට මෙදා තෙක් මෙරට ජනමාධ්‍ය සංවිධාන මෙන්ම සන්ධ්‍යා එක්නැළිගොඩ සහ ඇගේ දරුවන් ද ප්‍රගීත් සොයා දෙන ලෙස බල කැරෙන අඛන්ඩ උද්ඝෝෂණයක යෙදී සිටියෝ ය. සන්ධ්‍යා සහ දරු දෙදෙනා ජනාධිපතිව සිටි රාජපක්ෂට මෙන්ම ඔහුගේ ඇඹේනිය වූ ශිරන්ති රාජපක්ෂට ද අතුරුදහන් වූ සිය සැමියා සහ පියා ගැන ලියුම් ලියූහ.

එනමුත් රාජපක්ෂ හෝ ඇඹේනිය හෝ පස් වසරක්පුරා ප්‍රගීත් එනතුරු බලා සිටි ඒ දරුපවුල බලන්නට එක දවසක් හෝ ගියේ නැත.

ජනවාරි විප්ලවයෙන් පසු ප්‍රගීත් පැහැර ගැනීම ගැන යළි ඇරඹි පරීක්ෂනයට යුද හමුදා පිරිස් කොටු වූහ. මේ තිරශ්චීන ක්‍රියාව සම්බන්ධයෙන් ඇති තරම් තොරතුරු මේ වන විට ජනමාධ්‍ය මගින් හෙළිදරව් කර තිබේ.

රාජපක්ෂ එකී අපරාධයේ සැකකාර යුද හමුදා පිරිස්හි නීතිවේදියකු බවට අද පත් වූයේ එම හෙළිදරව් කිරීම් ද දැන දැන ය.

රාජපක්ෂගේ වැලිකඩ සංචාරය හා සම්පාත වන සේ ජාතිවාදී රැළක් ද පුවත්පත් සාකච්ජාවක් පවත්වා ආවඩා කියා තිබේ. මේ සියළු දේශපාලන භුතයින්ට අවශ්‍ය වී ඇත්තේ ප්‍රගීත් ඝාතනය වසන් කිරීමටත් මිනීමරුවන් වුවත් යුද හමුදා පිරිස්වලට දඩුවම් නොකළ යුතු බවටත් ජාතිවාදී උමතුවක් ඇති කිරීමට ය.

රාජපක්ෂගේ දේශපාලන වහලුන් මේ දිනවල යෙදී සිටින්නේ ද අමු ජාතිවාදය වැපිරීමේ දුෂ්ඨ කෛරාටිකකම්හිය.

රාජපක්ෂ මෙම වැලිකඩ සංචාරය මගින් පෙන්නුම් කර ඇත්තේ ඔහු ආරක්ෂා කරන්නේ ජනමාධ්‍යවේදීන් හෝ විපකට පත් මහා ජනයා හෝ වින්දිතයින් හෝ නොව මිනීමරු සැකකරුවන් බවය.

පුහුල් හොරා කරින් දැනේ!

රාජපක්ෂ කියන්නේ ප්‍රගීත් ප්‍රංශයේ සිටින බව ඇමැතිවරයකු කී බවය. පැහැර ගෙන මරා දැමූ බවට සාක්ෂි ලැබි ඇති ජනමාධ්‍යවේදියකු ගැන කියන මෙවැනි සාහසික කතා වලට අපේ ගම්වල කියන්නේ කටේ හොරි දාපන් කියා ය.

පටු දේශපාලන වාසි කතා රාජපක්ෂ හුරතල් කරන යහපාලන ආණ්ඩුවේ ලොක්කන් කුමන තරාතිරමක වුවත් මෙවැනි අපරාධ කතාවල සහායකයින් බවට පත් වනු ඇත. එපමණක් නොව රාජපක්ෂගේ දේශපාලන සැළැස්ම වන ජාතිවාදයෙන් රට ගිනි තියා හෝ බලය අල්ලා ගැනීමේ බියකරු සිහිනයේ ද සහායකයින් බවට දැන හෝ නොදැන පත් වනවා ඇත.

වසීම් තාජුඩීන් ඝාතන පරීක්ෂණය ද යහ පාලන ආණ්ඩුවේ ලොක්කකු විසින් පමා කරමින් තිබෙන්නේ යැයි මතයක් දැන් සමාජ ගත වෙමින් තිබේ. අලුත්ම පුවතකින් කියැවෙන්නේ තාජුඩීන් ඝාතන පරීක්ෂණය රාජපක්ෂවාදී සරත් සිල්වාගේ හිතවතකුට පැවරීමට යන බවයි.

ස්වකීය දේශපාලන බලය රැක ගැනීම පිණිස රාජපක්ෂගේ ජාතිවාදය හෝ පිහිටවනු ඇතැයි සිතා සිටින කවර හෝ දේශපාලනඥයකු සිටින්නේ නම් ඔවුන්ද ඒ ගින්න සමඟම දැවී යාමට ඉඩ තිබේ.

අතනැර සර්පයා යන ගැමි වදන සිහිකර දූෂණයට සහ භීෂණයට නිසි දඩුවම් දීමෙන් තොරව රාජපක්ෂ හුරතල් කිරීමෙන් යහ පාලනය පෙරට ගෙන යා නොහැක. රාජපක්ෂ විරෝධී දේශපාලනය වෙනුවෙන් දිවිදුන් ප්‍රගීත් එක්නැළිගොඩ සහෝදරයාට කළ හැකි උපහාරය ද එයම වනු ඇත.

Archive

Latest news

Related news