Saturday, April 27, 2024

නාලක ගොඩහේවා, ධම්මික පෙරේරා ඇතුළු 3කට නඩු

තාරුණ්‍යයට හෙටක් සංවිධානයට ලබාදුන් රුපියල් ලක්ෂ පනහක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු අධිචෝදනා තුනක් යටතේ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා ඇතුළු තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (16)නඩු පැවරීය.

පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා විසින් එම නඩුව පවරා ඇත. දැනට රිමාන්ඩ් භරයේ පසුවන, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය ‍‍කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා, එහි හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු වන ධම්මික පෙරේරා හා තාරුණ්‍යය හෙටක් සංවිධානයේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ බව කියන රොනී ඊබ්‍රාහිම් යන තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් එසේ නඩු පවරන ලදී. ෙකාටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුහු තිදෙනා ලබන 23දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූහ. විත්තිකරුවන් ‍තිදෙනාට එරෙහිව නගා ඇති එම අධිචෝදනා තුන ඔප්පු කිරීම සඳහා ලේඛන 13ක් සහ සාක්කිකරුවන් 23 දෙනෙකු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය වෙත දැනුම් දුන්නේය.

විත්තිකරුවන් 2013 අගෝස්තු මස 6 වැනිදා අගෝස්තු මස 18 වැනිදා අතර කාලයේදී ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත තාරුණ්‍යයට හෙටක් සංවිධානය වෙත නිදහස් කළ රුපියල් ලක්ෂ පනහක මුදල එම සංවිධානයේගිණුමට බැර නොකර සිලෝන් ප්‍රිමියර් ස්පෝට් ලිමිටඩ් නමැති ක්‍රීඩා සමාජයේ ගිණුමකට බැර කිරීම සඳහා කුමන්ත්‍රණය කළ බවට විත්තිකරුවන් තිදෙනාටම එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා නගා ඇත.

කුමුදු හෙට්ටිආරච්චි/ දිනම්ණ

Archive

Latest news

Related news