Friday, March 29, 2024

සමාදානය සඳහා සම්බන්දන්ගේ ද්විත්ව අරගලය එඩිතරයි – එම්. එස්. එම්. අයුබ්

”සම්බන්දන්ට හිසරදය ඇති කරවන තවත් කාරණයක් වන්නේ, උතුරු පළාත් සභාවේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් සහ ඔහු අතර ඇති මතභේදයි. අරමුදල් ගොඩනැගීමක් සඳහා කැනඩාවට යාම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් විග්නේෂ්වරන්ව පක්ෂයෙන් ඉවත් කරන්නැයි දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් ඉල්ලා සිටීමත් සමග එම තත්වය තවත් උග‍්‍ර විය. කරුණු එසේ සිදුවන අතරේ, වී. ආනන්දසංරීගේ ‘දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ’ හෙවත් ටී.යූ.එල්.එෆ් වැනි පක්ෂ බොර දියේ මාළු බෑමට තැත් කරන බවකුත් පෙනෙන්ට තිබේ. මහ ඇමති විග්නේෂ්වරන්ගේ පැත්තට මෑතකදී කතා කළ ආනන්දසංගරී, තමාගේ පක්ෂයේ නායකත්වය භාර ගන්නැයි විග්නේෂ්වරන්ගේ ඉල්ලා සිටියේය. ඒ ගැන මේ දක්වා විග්නේෂ්වරන් කිසිවක් කියා නැත.”

වෙනත් ප‍්‍රජාවන් යක්ෂයන් සේ වෙස්ගැන්වීම, දකුණේ මෙන්ම උතුරේද බොහෝ දේශපාලඥයන්ට සුපුරුදු කාර්යයකි. දීර්ඝ කාලයක් තිස්සේ දිග් ගැස්සෙන ජාතික ප‍්‍රශ්නයට අදාළ විවිධ ප‍්‍රවාද, එවැනි දේශපාලඥයන්ගේ කලහකාරී දේශපාලනයට සහාය වීමට මෙන්, විටින් විට මතුවෙයි. වාර්ගිකමය දෙපාර්ශ්වයේම බොහෝ දේශපාලඥයන්ගේ වර්තමාන විවාදයේ නිමිත්ත වී ඇත්තේ, අපකීර්තිමත් ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ’ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින රැඳවියන්ගේ ප‍්‍රශ්නයයි.

තවමත් අත්අඩංගුවේ පසුවන රැඳවියන් නිදහස් කිරීම සඳහා වර්තමාන ආණ්ඩුව ගන්නා පියවරට එරෙහිව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හිතවත් පිරිස් උද්ඝෝෂණය කරති. මේ අතර, බරපතල චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටින්නන් නිදහස් නොකරන බව, අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පවසා තිබේ.

දෙමළ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් පැන නැගී ඇති මේ ප‍්‍රශ්නයේදී, ප‍්‍රධාන දෙමළ දේශපාලන හවුල වන ‘දෙමළ ජාතික සන්ධානය’, පිටතින් මෙන්ම ඇතුළතින් ද නැගෙන විවේචනයන්ට ලක්ව සිටී. ඒ අතර, මේ ප‍්‍රශ්නය මුල් කරගෙන, හිටපු ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් ජාතිවාදය ඇවිස්සීමේ නිරතව සිටින බව පෙනේ.

කෙසේ වෙතත්, ආර්. සම්බන්දන් පෙන්නුම් කරන්නේ, මේ ගැටුම්කාරී දේශපාලනික සම්ප‍්‍රදායෙන් කැඞී වෙන්වීමේ උනන්දුවකි. දෙමළ සිරකරුවන්ට අදාළ ප‍්‍රශ්නයත්, බලය බෙදා හැරීමේ ප‍්‍රශ්නවලට අදාළ විවාදාපන්න කරුණුත් සම්බන්ධයෙන් ආණ්ඩුවේ එකඟත්වයක් ඇති කර ගැනීමට නම්, ආණ්ඩුව සමග සමාදාන ප‍්‍රතිපත්තියකින් වැඩ කිරීම වැඩදායක වෙතැයි සමහර විට ඔහු සිතනවා ඇති. නැතහොත්, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ සමග ඔහුට ඇති මිත‍්‍රත්වය නිසා එසේ කටයුතු කරනවා ඇති.

පසුගිය නොවැම්බර් 26 වැනි දා කොළඹ සිට ධාවනය වූ දුම්රියකට පැන දිවි නසා ගත්, යාපනේ කොකුවිල් හින්දු පාඨශාලාවේ 17 හැවිරිදි ශිෂ්‍යයාගේ සිද්ධිය හරහා දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප‍්‍රශ්නය ගැන උතුරේ ජනතාව ඇවිස්සී සිටින අවස්ථාවක, 2016 අයවැය දෙවැනි වර කියැවීමේ දී ඊට පක්ෂව දෙමළ ජාතික සන්ධානය ඡන්දය පාවිච්චි කිරීම ඉතා එඩිතර ක‍්‍රියාවක් වශයෙන් සැළකිය යුතුව තිබේ. එසේම, ඒ වනාහී, උතුරේ පවතින අශුභවාදී දේශපාලනික සම්ප‍්‍රදායෙන් මුළුමණින් කැඞී වෙන්වීමක්ද වන්නේය. කෙසේ වෙතත්, මේ තීරණය හේතුවෙන්, දෙමළ පක්ෂ පහේ හවුලට එරෙහි එදිරිවාදී පෙරමුණු දෙකක්- පාර්ලිමේන්තු මට්ටමෙන් මෙන්ම දෙමළ සන්ධානය ඇතුළතින්මත්- දැන් මතු වී තිබේ.

විපක්ෂ නායකයෙක් ආණ්ඩුවේ අයවැයකට පක්ෂව ඡන්දය පාවිච්චි කරන ප‍්‍රථම අවස්ථාව මෙයයි. එය, නැවතත් රාජපක්ෂ කණ්ඩායමට විපක්ෂ නායකත්වය ඉල්ලා සිටීම සඳහා අලූත් ජීවයක් සපයා තිබේ. දෙමළ ජාතික සන්ධානය අයවැයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ සැණින්, විපක්ෂ නායකත්වය තමන්ට ඉල්ලා සිටීමේ සටන නැවත දියත් කරන බවට රාජපක්ෂ කණ්ඩායම කියා සිටියහ.

අනිත් අතට, මේ තීරණය නිසා දෙමළ සන්ධානයේ අභ්‍යන්තර බල අරගලයද, මීට පෙරත් කිහිප විටකදී සිදුවූවා සේ, නැවත ඇවිලී තිබේ. අයවැය වෙනුවෙන් ඡන්දය විමසන අවස්ථාවේ ‘ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ’ හෙවත් ඊ.පී.ආර්.එල්.එෆ්, පක්ෂයේ මන්ත‍්‍රීවරුන් දෙන්නා සභා ගැබෙන් පිටව ගියහ. විශේෂයෙන් දෙමළ සිරකරුවන්ට අදාළවත්, පොදුවේ දෙමළ ජනතාව සම්බන්ධයෙනුත් මේ ආණ්ඩුව කිසිවක් කර නැතැයි යන්න ඔවුන්ගේ විරෝධයට හේතු විය. මේ අතර, අයවැය තුන් වැනි වර කියවීමේදී තමන්ගේ ඡන්දය පාවිච්චි කෙරෙන්නේ කොන්දේසිවලට යටත්ව පමණක් බව, දෙමළ ජාතික සන්ධානයේ තවත් පාර්ශ්වකරුවකු වන, පාර්ලිමේන්තු කාරක සභා නියෝජ්‍ය සභාපතිවරයෙකුද වන, ‘දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය’ හෙවත් ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අදෙයික්කලනාදන් පවසා තිබේ.

කාරක සභා අවස්ථාව අවසානයේදී සමහර විට මේ පක්ෂ දෙකම අයවැය සඳහා ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළැකී සිටීමට ඉඩ තිබේ. කෙසේ වෙතත්, අයවැය දෙවැනි වර කියැවීමේදී තුනෙන් දෙකක ඡන්දයෙන් එය සම්මත වූ බැවින් ඔවුන්ගේ වැළැකී සිටීම වැඩිමනත් බලපෑමක් ඇති කිරීමට සමත් නොවනු ඇත.

දෙමළ ජාතික සන්ධානයේ විශාලතම පක්ෂය වන ‘ඉලන්කෙයි තමිල් අරසු කච්චි’ පක්ෂය සහ සෙසු පාර්ශ්වකරුවන් අතර දැන් කාලයක් තිස්සේ සීතල යුද්ධයක් කෙරෙමින් පැවති බව නොරහසකි. ඊට ප‍්‍රධානතම හේතුව වුණේ, මැතිවරණ දෙපාර්තමේන්තුවේ මෙම සන්ධානය ලියාාපදිංචි කිරීම සිදු වූ ආකාරය සම්බන්ධයෙනි. දෙමළ ජාතික සන්ධානය පිහිටුවා අවුරුදු 13 ක්ම ගතව ඇතත්, මේ වන තෙක් පිළිගත් දේශපාලන පක්ෂයක් වශයෙන් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ එය ලියාපදිංචි කොට නොතිබීම උත්ප‍්‍රාසාත්මක ය. මේ නිසා, පසුගිය කාලයේ පැවති සෑම මැතිවරණයකදීම මේ සන්ධානය තරග වැදුණේ ‘ඉලංකෙයි අරසු කච්චි’ යන පක්ෂ නාමයෙනි. ඒ නිසා එම පක්ෂයට අනිත් පක්ෂ අභිබවා යන වැඩි වාසියක් සැලසුණි. එසේ වෙතත්, ඒ කුඩා පක්ෂවලට මෙකී පුළුල් සන්ධානයෙන් කැඞී යාමේ හැකියාවක් ඇත්තේද නැත. එසේ වුණොත් සිදුවන්නේ, දේශපාලනික ව්‍යාපාර වශයෙන් ඒවා දිය වී යාමයි. මීට කලින්, 2010 මහ මැතිවරණයෙන් පසු ගජේන්ද්‍ර පොන්නම්බලම්ගේ ‘සමස්ත ලංකා දෙමළ කොන්ග‍්‍රසයට’ එවැනි ඉරණමක් අත්වුණි.

සම්බන්දන්ට හිසරදය ඇති කරවන තවත් කාරණයක් වන්නේ, උතුරු පළාත් සභාවේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් සහ ඔහු අතර ඇති මතභේදයි. අරමුදල් ගොඩනැගීමක් සඳහා කැනඩාවට යාම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් විග්නේෂ්වරන්ව පක්ෂයෙන් ඉවත් කරන්නැයි දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් ඉල්ලා සිටීමත් සමග එම තත්වය තවත් උග‍්‍ර විය. කරුණු එසේ සිදුවන අතරේ, වී. ආනන්දසංරීගේ ‘දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ’ හෙවත් ටී.යූ.එල්.එෆ් වැනි පක්ෂ බොර දියේ මාළු බෑමට තැත් කරන බවකුත් පෙනෙන්ට තිබේ. මහ ඇමති විග්නේෂ්වරන්ගේ පැත්තට මෑතකදී කතා කළ ආනන්දසංගරී, තමාගේ පක්ෂයේ නායකත්වය භාර ගන්නැයි විග්නේෂ්වරන්ගේ ඉල්ලා සිටියේය. ඒ ගැන මේ දක්වා විග්නේෂ්වරන් කිසිවක් කියා නැත.

විග්නේෂ්වරන්ගේ බලපෑම යටතේ මේ වසර ආරම්භයේ උතුරු පළාත් සභාව විසින් සම්මත කරගත් ‘ජන සංහාරයක් පිළිබඳ යෝජනාවටත්’, රජයේ හමුදා අතින් සිදු වී යැයි කියන යුද අපරාධ සොයා බැලීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටීමේ අරගලයටත්, දෙමළ ජාතික සන්ධානයේ සහායක් නොලැබිණැයි යන්න පාදක කර ගනිමින්, ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධාන නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් ගිය සතියේ දෙමළ ජාතික සන්ධාන නායකත්වය විවේචනයට ලක්කෙළේය.

කෙසේ වෙතත්, ගිය සතියේ මඩකලපුවේ පැවති රැස්වීමකදී, ආණ්ඩුව සමග තමා පවත්වන මිත‍්‍රශීලී සම්බන්ධතාවේ ස්වභාවය යුක්ති සහගත කරමින්, ආණ්ඩුව මේ දක්වා දෙමළ ජනතාව වෙනුවෙන් ගෙන ඇති පියවර ගණනාවක් ආර්. සම්බන්ධන් ඉදිරිපත් කෙළේය. දෙමළ සිරකරුවන් සම්බන්ධයෙන් තමා සහ ජනාධිපතිවරයා අතර ගැටුමක් නැතැයි කී ඔහු, සෑම කරුණකදීම පාහේ ජනාධිපතිවරයා නිවැරදි මගක ගමන් කරමින් සිටින බව පෙන්වා දුනි. ඊට නිදසුනක් වශයෙන්, සාම්පූර් සහ යාපනේ වලිකාමම් වැනි තැන්වල එතෙක් හමුදාව අත්පත් කරගෙන සිටි ඉඩකඩම් ආපසු දෙමළ ජනතාවට ලබා දීම ගෙනහැර පෑවේය.

කලින් රජය යටතේ පැවති දෙමළ ජනතාවට අහිතකර පරිසරය නව රජය යටතේ සමනය වී ඇති බව ඔහු තවදුරටත් පෙන්වා දුනි. තමන් අයවැය විවේචනයට ලක්කළත් ඊට පක්ෂව ඡන්දය පාවිච්චි කෙළේ එවැනි සාධනීය කරුණු නිසා බව ඔහු කීය. ඉදිරි වසරේ ඇති කර ගැනීමට නියමිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හරහා ජාතික ප‍්‍රශ්නයට හිතකර දේශපාලනික විසඳුමක් සොයා ගැනීමට හැකි වෙතැයි යන බලාපොරොත්තුව ඔහුට තිබේ. එසේම, එල්.ටී.ටී.ඊ. මතවාදයට අනුව කටයුතු කිරීමට දෙමළ ජනතාව සූදානම් නැති බවත් ඔහු මතක් කර දුනි.

කෙසේ වෙතත්, බාගෙ විට පක්ෂයක් වශයෙන් දේශපාලනිකව ගන්නා ආරක්ෂක පියවරක් වශයෙන්, උතුරේ පවතින ආණ්ඩු විරෝධී සම්ප‍්‍රදාය විසින් ඇති කෙරෙන පීඩනයන්ට විටින් විට ඔහු අනුමැතිය දක්වා තිබේ. එසේම, ඉහත කී රැස්වීමේදී සම්බන්ධන් තවත් අදහසක් ඉදිරිපත් කෙළේය. එනම්, අගමැතිවරයා දෙමළ ජනතාවට වැදගත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් පරිද්දෙන් සංවේදී නොවන්නේද යන කුකුසයි. මේ අතර, දෙමළ ජනතාව වෙත තමන් විසින් ගෙන යා යුතු යැයි කියා ආණ්ඩුව දුන් ඇතැම් පොරොන්දු සම්බන්ධයෙන් පසුව ආණ්ඩුව කල්මැරීමත්, සුමන්දිරන්ගේ විවේචනයට ලක් විය.

මේ නිසා, ජාතික සංහිඳියාව සඳහා වන සම්බන්දන්ගේ ද්විත්ව සටන- එක පැත්තකින් තමන්ගේම පක්ෂය සමගත්, අනිත් පැත්තෙන් ආණ්ඩුව සමගත් ඔහු ගෙන යන අරගලය සඳහා, දැඩි එඩිතර භාවයකුත්, ඉවසීමකුත් අවශ්‍ය කෙරෙන බව කිව යුතුය. එවැනි අරගලයක් විසඳුමකින් තොරව එක දිගටම කරගෙන යාමට සිදුවීම, දෙමළ ජාතික සන්ධාන නායකත්වයට මෙන්ම, දීර්ඝ කාලීනව ගත් විට, රටටද විනාශකාරී විය හැකිය. ඒ නිසා, සංහිඳියාව සඳහා වන ස්වකීය ප‍්‍රතිඥා වචනයට සීමා නොකර ඉටු කිරීම, ආණ්ඩුවට පැවරෙන බරපතල වගකීමකි.

*2015 දෙසැම්බර් 11 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ History Made: Opposition Votes in Favour of Second Reading of Budget: Sampanthan’s Dual Struggle for Reconciliation Courageous
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

Archive

Latest news

Related news