Thursday, April 25, 2024

‘රජය සාධාරණව කටයුතු කර නැහැ’ – සම්බන්දන්

උතුරු සහ නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක පහක් සඳහා දිස්ත්‍රික් කමිටු සභාපතිවරුන් පත් කිරීමේදී ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් ලබා නොදීම සම්බන්ධයෙන් එම පක්ෂය නොසතුට පළ කොට තිබේ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල වන්නි, යාපනය, මඩකලපුව සහ ත්‍රිකුණාමලය වැනි දෙමළ ජාතිකයන් බහුතරයක් වෙසෙන දිස්ත්‍රික්ක සඳහා දෙමළ සන්ධානයේ එකදු මන්ත්‍රීවරයකු හෝ පත් නොකිරීම දෙමළ සන්ධානයේ ඇතැම් සාමාජිකයන් දකින්නේ දෙමළ ජනතාවගේ බලාපොරොත්තු කඩවීමක් ලෙසටයි.

මෙසේ දිස්ත්‍රික් කමිටු සභාපතිවරුන් ලෙස පත් කොට ඇත්තේ ආණ්ඩු පක්ෂය සහ හවුල්කාර පක්ෂ වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

විපක්ෂයේ සිටිය ද මේ රජය බලයට පත් කිරීමේ දී කැපවී කටයුතු කළ දෙමල ජාතික සන්ධානයේ සාමාජිකයන්ට ද මෙම තනතුර ලබා දීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මීට පෙර එකඟවී සිටි බවයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

මේ පිළිබඳව බී බී සී ය සමග අදහස් දැක්වූ විපක්ෂ නායක ආර් සම්බන්දන් පැවසුවේ මේ සම්බන්ධව ජනාධිපති හා අගමැතිවරයා සමග සාකච්ඡා කර ඉල්ලීම් ලබා ගැනීම දේශපාලන විසඳුම යන තම ඉලක්කය දුර්වල කිරීමක් වනු ඇති බවයි.

“සංවර්ඩන කමිටු හෝ සම්බන්දීකරන කමිටු මෙම කාල වකවානුවේ ඉතා වැදගත් එකක් වශයෙන් සලකන්නට මම සුදානම් නැහැ. රජයෙන් සුළු උදව් ලබාගෙන ඒ මගින් අපේ ඉලක්කය විය යුතු දේශපාලන විසඳුම් ලබා ගැනීමේ දී දුර්වලතාවය ඇති නොවිය යුතුයි යනු මගේ අදහසයි. නමුත් මෙම කැරුණේ දී රජය සාධාරණව කටයුතු කල යුතු බව අපි හිතනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය..

දේශපාලන විචාරකයන් පවසන්නේ දෙමල ජාතික සන්ධානය ඉල්ලීමක් නො කළ ද වර්තමාන රජය බලයට පත් කිරීම පිණිස සහය ලබා දුන් එහි සාමාජිකයනට ද ද මෙම තනතුරු ලබා දිය යුතුව තිබූ බවයි

– BBC Sinhala

Archive

Latest news

Related news