Tuesday, July 16, 2024

ඇවන්ට් ගාඩ් දූෂිත යි; නීති විරෝධි යි – චම්පික රණවක

• ඇවන්ගාඩ් ගාඩ් කරන්න කතා කරන අයත් ඉන්නවා. විරුද්ධව කතා කරන අයත් ඉන්නවා. ඔබ කියන්නේ කුමක් ද?

මේක ඉතාම පැහැදිලියි. 2009 ඇමෙරිකානු සමාගමක් මෙහෙ ඇවිල්ල ඉල්ලීමක් කළා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා නාවික හමුදාවේ උදව් ගන්න. නාවික හමුදාවට ලංකාව තුළ නීතිය අනුව ව්‍යාපාර කරන්න බැරි නිසා ඒ අනුව නාවික හමුදාව පහසුකම් සපයන්නෙක් බවට පත් වුණා පාවෙන අවි ගබඩාවල. ඒ අනුව විවිධ සමාගම් 70ක් රට තුළ ක්‍රියාත්මක වුණා. සමහර අය විදේශිකයෝ සී මාර්ෂල් හැටියට නැව්වල සේවයට ගත්තා. සමහර දේශීය නාවික භටයෝ හා වෙනත් භටයෝ ඒ සඳහා පාවිච්චි කළා. ඒ සඳහා නාවික හමුදාවට මේ අවි තැන්පත් කරගැනීම වෙනුවෙන් සහ ඒ ලබාදෙන පහසුකම් වෙනුවෙන් ආදායමක් ලැබුණා. මසකට මිලියන 180ක් විතර මේ විදියට නාවික හමුදාවට ලැබුණා. නමුත් එකපාරටම වුණේ මොකක්ද 2012 ඔක්තෝබර් මාසේ මේ ව්‍යාපාර සියල්ලම රක්නා ලංකා එකට දෙන්න කිව්වා. රක්නා ලංකා එකට දුන්නා. රක්නා ලංකා ආයතනයට නාවික හමුදාව හා ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට අයිති ආයුධ 3200ක් පමණ බාර දුන්නා. ඊට පස්සේ මොකද කළේ? ඊළඟ ලියුම එනවා ඒ රක්නා ලංකා එකේ බිස්නස් එක ඇවන්ගාඩ් එකට දෙන්න. ඇවන්ගාඩ් මෙයින් ආයුධ 813ක් අරගෙන මේ ඒකාධිකාරයක් පවත්වාගෙන ගියා. දැන් කියනවා ඇවන්ගාඩ් හරි නිර්මාණශීලී ව්‍යාපාරයක් කරගෙන ගියා. රටට විදේශ විනිමය ඉපැයෙව්ව වගේ කතා. රැකියා ලබා දුන්නා කියලා. ඒව පට්ටපල් බොරු කතා.

• ඇවන්ගාඩ් නීති කඩල ද නැද්ද?

පැහැදිලිවම නීති කඩල තියෙනවා. මේකෙ තියෙන්නෙ සමාගම් 70ක් කරපු දේ එක සමාගමක් අතට දීම. එතකොට ඒ මිනිහ ඒකෙන් ලාබ උපයන්න පටන්ගත්තා. මිලියන 180 නාවික හමුදාවට ලැබුණ එක මිලියන 50 ට බැස්සා. වැදගත් ප්‍රශ්නෙ මේකයි. ආයුධ පරිහරණයෙහිලා පනත් තුනක් ක්‍රියාත්මකයි. එකක් පුපුරන ද්‍රව්‍ය ආඥා පනත, දෙක ගිනිඅවි ආඥා පනත, අනෙක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත. මේවයේ සඳහන් කරල තියනවා ගිනිඅවියක් ආරක්ෂක හමුදාවල භටයන්ට ගිනිඅවි පාවිච්චි කරන්න බලපත්‍ර ඕන කරන්නේ නැහැ ශ්‍රී ලංකා රජයට බලපත්‍රයක් තියෙනවා. පිට අයට බලපත්‍ර පාවිච්චි කරනවනම් කළ යුත්තේ කෙසේ ද කියල පනතේ තියනවා. එවැනි බලපත්‍රයක් ඇවන්ගාඩ්වලට දීල තියන ගිනිඅවිවලට දීල නැහැ.

ඒ අනුව මම අභියෝග කරනව පුළුවන්නම් ඇවන්ගාඩ්වලට තියන අවිවලට පනතේ සඳහන් පරිදි නිසි බලපත්‍රයක් තියනවනම් ඒක පෙන්වන්න කියලා. දෙක ආරක්ෂක ලේකම්වරයා හෝ වෙනත් කිසි කෙනෙකුට බලයක් නැහැ. අන්තර්ජාතික අවි ආයුධ රට ඇතුළේ ගබඩා කරන්න. අන්තර්ජාතික අවි ආයුධ තියෙන්න ඕන අන්තර්ජාතික මුහුදේ. අන්තර්ජාතික මුහුදේ තියෙන්න ඕන අවි තමයි ගාලු වරායේ තිබුණේ
. මෙතන සිද්ධි දෙකක් තියෙනවා. එකක් ශ්‍රී ලංකා හමුදාවට අයත් අවි ඇවන්ගාඩ් එකට දීම හා විදේශීය අවි රක්නා ලංකා එක හරහා නාවික හමුදා ගබඩාවල තිබීම ගාලු වරායේ. ඊළඟට දෙවැනි ඇවන්ගාඩ් නැව ඔක්තෝබර් 6 අත්අඩංගුවට ගත්තම පෙනී ගියා එහි ආයුධ 43 ක නොම්මර වෙනස් කරල විකෘති කරල තියන බව. ඒක පැහැදිලිවම ගිනිඅවි ආඥා පනත උල්ලංඝනය කිරීමක්. නැවේ තිබුණ උණ්ඩ 130,000 ක් වැඩියි. ඒක පැහැදිලිව පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත උල්ලංඝනය කිරීමක්. මම අහන්නේ සාමාන්‍ය රටේ වැසියෙක් අතේ ගල්කටස් තුවක්කුවක් තිබුණත් ඇප නැහැනේ.

• කොච්චර ඔබලා චෝදනා නැඟුවත් අදත් නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ…?

ඇත්ත.

ආයුධ දහස් ගණනක් තිබිල අල්ල ගත්තත් දැන් මොකුත් නැහැ. ඒකයි දැන් තියන නීති ප්‍රශ්නය. ඊළඟට මේ මුදල් ගනුදෙනු ඔක්කොම කළේ ඩොලර්වලින්. මෙතනදී විශාල සූරා කෑමක් කළා අපේ රණවිරුවන්ට. ඩොලර්වලින් කරන්න තිබුණ ගනුදෙනු කළ යුතුව තිබුණේ මහ බැංකුව හරහා. එහෙම කළේ නැහැ. එහෙමනම් මුදල් විශුද්ධිකරණය යටතේ බරපතළ චෝදනාවක් එතන තියනවා. ඒක නීතිපතිවරයත් පිළිගත්තා. ඊළඟට සමාගම් 70ක් අතේ තිබුණ ව්‍යාපාරය තනි ආයතනයකට දුන්නා. ඒ මඟින් පැහැදිලිවම දූෂණයක් සිදු වුණා. ඒකත් නීතිපතිවරයා පිළිගත්තා. ඊළඟට නාවික හමුදාපතිවරයා කිව්වා ආණ්ඩුවට ලැබෙමින් තිබුණ ආදායමක් අහිමි වෙලා තිබෙනවා.

මෙවැනි වැරැදි ගොඩක් කරල තියෙද්දි ඇවන්ගාඩ් කිසි වරදක් කරල නැහැ කියල කාටහරි කියන්න පුළුවන්නම් ඒ කියන්නේ ඔළුවෙන් නෙවෙයි බඩෙන්.

• මාරපන ඇමැතිවරයට මේ ප්‍රශ්නය නිසා ඉල්ලා අස්වෙන්න සිදුවුණා?

ඒක හොඳ පුරුද්දක්. මොකද ඔය පුරුද්ද කාලයක් මේ රටේ තිබුණේ නැහැ. හොඳ සම්ප්‍රදායක්. මහජන හඬට කන් දීල එවැනි පියවරක් ගැනීම පිළිගත හැකියි
දිවයින

Archive

Latest news

Related news