Saturday, May 4, 2024

මර්වින්ගේ ලේකම්වරු පැහැරගත් සුදු වෑන් කල්ලි පිළිබඳ පරීක්ෂණ තවදුරටත්

සුදු වෑන්වලින් තම ලේකම්වරු තිදෙනකු පැහැරගෙන යාම සම්බන්ධව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලේ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

අමාත්‍යවරයා විසින් කරන ලද පැමිණිල්ලට අනුව ‘සුදු වෑන් කල්ලිය’ පවත්වාගෙන ගොස් ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ මහතා විසිනි.

2011 වසරේ දෙසැම්බර් මස අගභාගයේ සිට 2012 වසරේ අපේ‍්‍රල් මාසය දක්වා කාලය තුළ අමාත්‍ය මර්වින් සිල්වාගේ සම්බන්ධිකරණ ලේකම්වරු ලෙස කටයුතු කළ අමල් රුද්‍රිගෝ, තිලක් නොහොත් හට් පුටු තිලක්, ඩොනල්ඞ් පෙරේරා යන අය සුදු වෑන් රථවලින් පැහැරගෙන ගොස් ඇත.

මෙම පැහැර ගැනීම් සම්බන්ධව ප‍්‍රකාශ සටහන් කරගැනීම ඉකුත් නොවැම්බර් 19 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී සිදු කෙරිණ.

එදින සිය ප‍්‍රකාශය සටහන් කළ ඩොනල්ඞ් පෙරේරා මහතා ප‍්‍රකාශ කර ඇත්තේ 2012.01.07 වන දින සුදු වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් තමා පැහැර ගත් බවයි.

එම අවස්ථාවේ දී ආරක්ෂක අංශ සාමාජිකයෙක් ලෙස ක‍්‍රියා කළ උපුල් ජයවර්ධන නමැත්තා තමා හඳුනාගත් බවත් එම තැනැත්තා දැනට පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස (ASP)සේවය කරන බවත් පවසා ඇත.

2012 ජනවාරි මස 07 වන දින පැහැරගත් ඩොනල්ඞ් පෙරේරා මහතා රහසිගත ස්ථානයක රඳවා තබාගෙන සිට 2012.01.11 වන දින මුද්‍රා හැර තිබිණි.

(දයා නෙත්තසිංහ)/ ලංකා නිවස් වෙබ්

Archive

Latest news

Related news