Saturday, April 27, 2024

රාජපක්ෂ පවුලට එරෙහි විමර්ශන 725ක් – මංගල සමරවීර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලේ සාමාජිකයන් ඍජුව හෝ වක්‍රව සම්බන්ධවූ බරපතල වංචා, නාස්තිය, මිනිමරුම ආදී සිදුවීම් 725 ක් ගැන රජය පරීක්ෂණ පවත්වන බව විදේශ කටයුතු ආමාත්‍ය මංගල සමරවීර පවසයි.

අද එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආමාත්‍යවරයා පැවසුවේ මෙම පරීක්ෂණ 725ට අමතරව රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඍජුව සම්බන්ධ සිදුවීම් 25ක් ගැනද පරීක්ෂණ පැවැත්වෙන බවයි.

ඍජුවම හෝ වක්‍රව

” ඍජුවම නොවන හෝ වක්‍රව ගැවිලා ඉන්න 725ක් විමර්ශන සිදුවෙනවා, ඍජුවම රාජපක්ෂ පවුලේ අය සම්බන්ධවෙලා කරපු හොරකම් වෙන්න පුළුවන් මිනිමරුම් වෙන්න පුළුවන් පරීක්ෂණ 25ක් යනවා, මම මේ වගකීමෙන් කියන්නේ”

අලල්ස් කොමිසමේ සහ පොලිසියේ මානව සම්පත් ගැටළු නිසා මෙම පරීක්ෂණ සිදුකිරීම කල්ගතවන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කලේ.

ආණ්ඩුව පත්වී වසරක කාලයක් ගතවී තිබුනත් මෙම පරීක්ෂණවල කිසිදු ප්‍රගතියක් නොවීම ගැන බිබිසිය ප්‍රශ්න කල අවස්ථාවේදී අමාත්‍යවරයා පැවසුවේ මේම පරීක්ෂණ සියල්ල සිදුකර අවසන් කිරීම සදහා වසර 3ක් හෝ 4ක් ගතවනු ඇති බවයි.

තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදයක්

වර්තමාන රජය යටතේ රට තුල තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතිවී ඇති බව ප්‍රකාශ කල මංගල සමරවීර අමාත්‍යවරයා මේ තුලින් ඇතිවී තිබෙන නිදහස ඇතැමුන් දකින්නේ ආණ්ඩුව කඩාගෙන වැටීමක් ලෙස බවද සදහන් කළා

” අමාත්‍යවරු එකිනෙකා විවේචනය කරගන්නවා, අමාත්‍යවරු ඉල්ලා අස්වෙනවා, මේක ඇතැමුන් දකිනවා ආණ්ඩුවේ කඩාවැටීමක් කියල නමුත් මේක තමයි අපේ ශක්තිය, යහපාලනය කියන්නේ මේකයි”

රනිල් මංගල අතර විරසකයක් ඇතිවූ බවට පසුගිය කාලයේ පලවූ මාධ්‍ය වාර්තා ගැනද බිබිසිය මෙහිදී අමාත්‍යවරයාගෙන් විමසු අතර අමාත්‍යවරයා පැවසුවේ එය පුවත්පත් වසින් නිෂ්පාදනය කල පුවතක් බවයි
අසත්‍ය තොරතුරු

“බොරුමයි දාන්නේ, එක්පැත්තකින් දානවා ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයේ කොටසක් එක්ක කතා කරනවලු රනිල් එළවලා ආණ්ඩු හදන්න, තව එකකින් දානවා රනිල් මහින්ද එක්ක කතා කරනවලු ජනාධිපති නැතුව ආණ්ඩු කරන්න, නිකන් පුවත් නිෂ්පාදනය කරනවා ඝට්ටනයක් ඇති කරන්න”

ජනමාධ්‍යවල කෙතරම් වැරදි තොරතුරු ආණ්ඩුව එරෙහිව පල් කලත් කිසිදු මාධ්‍යවේදියෙක් ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමකට හෝ ලක්වී නැතිවීම ආණ්ඩුවේ යහපාලනයේ ලක්ෂණයක් බවද ඇමතිවරයා අවධාරණය කළේය.
– බීබීසී සිංහල

Archive

Latest news

Related news