Tuesday, July 16, 2024

ඇවන්ට්ගාඩ් පලහිලව්වේ සැබෑ ඇතුළාන්තය – නිලන්ත ඉලංගමුව

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇවන්ට් ගාඩ් සමාගෙමේ මෙහෙයුම් නතර කිරීම, ඇවන්ට් ගාඩ් සමාගම ආරක්ෂක අමාත්‍යංශයේ අනුදැනුම යටතේ මෙහෙයවන රක්නා ලංකා සමාගම යටතේ නව ගිවිසුමක් අත්සන් කිරීම,  ඇවන්ට් ගාඩ් සමාගම විසින් රටේ “වාචාල” දේශපාලනඥයින් සියල්ලටම පාහේ  මූල්‍ය වටිනාකමක් ලබා දීම, ආදී කාරණා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක විවාදයක් රට තුළ මතු වී තිබේ. මෙය හරයාත්මක වශයෙන් රටේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ කාරණයක් වන අතර එහි ඇති දේශපාලන වැදගත්කම අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

නව ගිවිසුම පිළිබඳ හෙළිදරව්ව කරළියට පැමිණියේ, ජනාධිපතිවරයා, නාවික හමුදාපතිවරයාගේ උපදෙස් සහ අනෙකුත් ස්වාධීන පිරිස්වල සහයෝගය මත ලබා දුන් නියෝගයට දින කිහිපයකට පසුය. ඇතැමුන්ට අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා ඇවන්ට් ගාඩ් සම්බන්ධයෙන් ගත් තීරණය කූඨඋපායක් ලෙස කියවේ. එහි අරමුණ ඔහුගේ හිතවතුන්ට අදාළ සමාගම විසින් සිදුකළ කටයුතු පැවරීමට පියවර ගනිමින් සිටීම බව කියවේ. මෙවැනි දෑ සඳහන් කිරීම සැබවින්ම ප්‍රහසනයට හේතුවක් පමණක් නොව එමඟින්, සමස්ථ රටට කරන හානිය සුළු පටු නොවේ. බරපතළ හෙළිදරව් කිරීම් සඳහා මාධ්‍ය වැදගත්ය. එසේම එවැනි බරපතල හෙළිදරව් කිරීම වලට සැලකිය යුතු සාක්ෂි තිබිය යුත්තේය. එවැනි දෑ හුදු කේලාම් මත පදනම් වීම වූ කලී, මතු කළ යුතු වැදගත් කාරණා හිතා මතාම යටපත් කිරීමකි.

avant-jobs-2මේ හා සමානව, ඇවන්ට් ගාඩ් සමාගමේ ප්‍රකාශකයෙකු යැයි නම් කළ හිටපු ආරක්ෂක අංශ නිලධාරියෙකු, අසනීප තත්වයෙහි පසුවන්නේ යැයි කියන එම සමාගමේ ප්‍රධානියාගේ හිඩැස පුරවමින්, මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කොට තිබේ. තම අධ්‍යක්ෂවරයා තුන්දාහකට වඩා සේවකයින්ගේ සේවාව අත්හිටුවීමේ ලිපි වලට අත්සන තැබූ බවත්, අදාළ සමාගම ගැන සිදු කළ පර්යේෂණ මඟින් මෙරටට අපකීර්තියක් සිදු වූ බවත් හෙතම කඳුළු පිරි දෙනෙතින් සඳහන් කොට ඇත.

අදාළ සමාගම සම්බන්ධයෙන් කළ පරීක්ෂණ නිසා රටට හානීයක් සිදු වූයේ යැයි කීම අමුලික බොරුවකි. නමුත්, අදාළ සමාගම විසින් සිදු කොට ඇති කටයුතු හේතුවෙන් රටට හානියක් සිදු වූ බව ඔප්පු වෙමින් තිබේ.  ලංකාවේ නැති වූ ආයුධ පොලනත්යේදී හමුවීම නමැති මුලික සිදුවීමක් මුලික කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ලංකාව ආනාරක්ෂිත ස්ථානයක් යැයි තොරතුරු ලබා දුන්නේ කවුරුන්ද? ඇවන්ට් ගාඩ් ආරම්භ කිරීමට අදාල එක්සත් ජාතීන්ගේ වාර්තාව භාවිතා කරනු ලැබුවේ කවුරුන්ද? ලංකාවේ තානාපති සේවාවන්වන සේවය කරන අයවලුන් ඒ සම්බන්ධයෙන් කටයුතු කළේ කෙසේද? ආදී කාරනා තවමත් පුළුල් ලෙස කතාබහට ලක් නොවූ පැතිකඩ වේ.

මීට හාත්පසින්ම වෙනස් මගක් වඩාත් ක්‍රමෝපායිකව ගනිමින්, ඇතැම් සිවිල් සංවිධාන ක්‍රියාධරයින් නාවික හමුදාව ව්‍යාපාර කටයුතු අල්ලා ගැනීම බලවත් තර්ජනයක් බව මතු කරනු ලැබීය. පසුගිය ආණ්ඩුව යටතේ පැවති ප්‍රභල උවදුර වත්මන් ආණ්ඩුවට ඈඳා ගනිමින්, පකිස්තානයේ ඇති තත්වය හා සමාන තත්වයක් එනම් කිසිවෙකුට වගනොකියන “හමුදා සමාගමක්” ඇති වේ යැයි අනතුරු ඇඟවීමක් සිදු කොට ඇත. පසුගිය ආණ්ඩුව විසින් නිපදවනු ලැබූ කාරණා හා බද්ධ කරමින්, තම සැබෑ වුවමනාව වන ඇවන්ට් ගාඩ් සමාගමේ චරිත සහතිකයට මුක්කු ගැසීම මෙවැනි උපායසීලී කටයුතුවල මුලික පරමාර්ථය වන්නේද?

ඇවන්ට් ගාඩ් බළලුන් ලවා කොස් ඇට බාන සැටියෙකි. තම සේවා දායකයින් මෙන්ම සේවකයින් මීයන් මෙන් ගුල් තුලට රිංගාගෙන සිටින විට විවිධ උප්පරවැට්ටි දමමින් සැබෑ විවාදය වෙනත් දිශාවකට හැරවීම සඳහා උත්සහ දරනු ලබයි. ඇවන්ට් ගාඩ් නැති තැන, මෙය මෙහෙවීමට අරාදින උගුඩුවන් කවුරුන්ද යන්නට වඩා වැදගත් වන්නේ, ඇවන්ට් ගාඩ් කළ කටයුත්ත ගැන සොයා බැලීමය. එවැනි කටයුත්තක් යළි ඇති වීම ඇති ඉඩ ඇහිරීමය. එසේම ඇවන්ට් ගාඩ් සිදුකරනු ලැබුවේ, හුරතල් සතුන්ට කෑම නිෂ්පාදනය කරන සොසේජස් කම්හලක් පවත්වාගෙන යාම නොවේ. අදාළ සමාගම කරනු ලැබුවේ මෙරට ජාතික ආරක්ෂාවට ප්‍රභල ලෙස ඍජුව බලපාන කාරණයකි.

කෙසේ වෙතත්, ඇවන්ට් ගාඩ් සමාගම කරගෙන යනු ලැබූ කටයුත්ත ජනාධිපතිවරයාට හිතැති කණ්ඩායමක් ගිල ගැනීමට වෙර දරන්නේය, යන අදහස ඉදිරියට දමමින්, ජනාධිපතිවරයාගේ තීන්දුව සැකය නමැති බොර දියට තල්ලු කොට තිබේ. එසේම ආණ්ඩුව මෙහිදී, ජනතාවගේ දෑස් වලට වැලි ගසමින් රක්නා ලංකා සමාගම සමග ඇවන්ට් ගාඩ් ගිවිසුමකට අත්සන් කොට ඇති බව වාර්තා සඳහන් කරයි. ඊට අදාළ අවබෝධතා ගිවිසුම හෙළිදරව් කළ මාධ්‍ය වාර්තා ගෙවී ගිය දින කිහිපය පුරා ප්‍රසිද්ධ විය.

විෂය ගැන නොදැන හුදු දේශපාලන කාරණා ඉලක්ක කරගමින්, මෙම වැදගත් කාරණය ආලපාලුවන්ගේ දොළ පිදේනී සංසිදවන කටයුත්තක් බවට පත්වෙමින් තිබීම අතිශය අවාසනාවන්ත කාරණයකි.

Avant-Garde-vesselඉහළ පෙලේ ආරක්ෂක අංශ ආරංචිමාර්ග වලට අනුව අදාළ අවබෝධතා ගිවිසුම දේශපාලනික වශයෙන් තිස්ස අත්තනායක මහතා පසුගිය ජනාධිපතිවරණයේදී සකස් කළේයැයි කියන ගිවිසුම හා සමාන කමක් දක්වයි. නමුත් මෙය ඊට වඩා හාත්පසින්ම වෙනස් උපායක් භාවිතා කරමින් අත්සන් කරනු ලැබූ ගිවිසුමකි. ආණ්ඩුව අදාළ ගිවිසුම සම්බන්ධයෙන් මෙන්ම ඊට අත්සන් තැබූ අයවලුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් පෘතුල වශයෙන් පැන නැගී තිබේ.

යම් සමාගමක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන අවස්ථාවේදී එම සමාගම සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට අනුමැතිය ලබා දීම ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා දැනුවත්ව සිදු වූයේ යයි සඳහන් කිරීම අසිරූ කටයුත්තකි.

නමුත් මෙහිදී සඳහන් කළයුතු මුලික කාරණයක් තිබේ. එනම් ආණ්ඩුව වෙනස් වූ පළියට ආරක්ෂක අමාත්‍යාංශය පමණක් නොව, බොහොමයක් රාජ්‍යය පරිපාලන කටයුතු වල සැලකිය යුතු වෙනස්කම් සිදු වූයේ නැත. ඒ වෙනුවට සිදුවූයේ පසුගිය ආණ්ඩුවෙන් කඳ බඩ පිරෙන තෙක් අනුබව කළ වුන්, නව ආණ්ඩු මාරුවත් සමග “යහපාලන” වෙස් මාරු කිරීමය. විදේශ කටයුතු අමාත්‍යංශයේ සිට ස්වදේශ කටයුතු අමාත්‍යංශය දක්වා වූ සියලුම ක්ෂේත්‍ර වල සිදු වූයේ මෙයයි.

සැබවින්ම, ආණ්ඩු වෙනස් වූ පමණින්, රාජ්‍යය නිලධාරීන් වෙනස් කළ නොහැකි බව සාදාරණ කාරණයකි. නමුත් බරපතල දූෂණ චෝදනා එල්ල වූ අයවලුන් හීන් සීරුවේ මාරුවීම සහ වෙස්මාරු කරගැනීම වූකලී වත්මන් ආණ්ඩුව ක්‍රමිකව අසමත්බාවය කරා තල්ලු වෙමින් සිටින බවට ලැබෙන සංඥාවකි. අදාළ ගිවිසුම මෙම ප්‍රවණතාවයේ උපායක් විය නොහැකිද?

ඇවන්ට් ගාඩ් සමාගම මෙරට දේශපාලන සහ රාජ්‍යය පරිපාලන අංශ තමන්ට රිසි සේ නැටවීම මගින් සනාථ වන්නේ මෙරට තීරණාත්මක කටයුතු එකිනෙකාගේ පෞද්ගලික ආශාවන් මූලික කොට ගනිමින් ලඝු වී ඇති ප්‍රමාණයයි. යහපාලන ආණ්ඩුව යටතේ සිදු විය යුත්තේ නූතන කෛරාටකන්ගේ ගුණ්ඩු වලට ගොදුරු වීමද? එසේ නොවේ නම් අතීතයෙන් ලද පාඩම් ප්‍රයෝජනයට ගනිමින්, සමත් නායකත්වයක් ලෙස රටේ ජනතාවට සමත් වීම සඳහා අවශ්‍ය දේශපාලන ඥානය සහ නිදහස ලබා දීමද? යන්න මෙම තත්වය හමුවේ විවර වී ඇති ප්‍රධාන මංතීරු දෙක වේ.

avant-gradeපෙර සඳහන් කළ ආකාරයෙන්, ඇවන්ට් ගාඩ් සම්බන්ධයෙන් වන කාරණය   ඍජුව මෙරට ජාතික ආරක්‍ෂාව පිළිබඳ කාරණයකි. මෙය නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම්වරයෙකු විසින් වඩාත් නිවැරදිව වාර්තා කොට තිබුණි. එමඟින්, වර්තමානයේ අදාළ සමාගම වෙනුවෙන් පෙනී සිටින බොහෝ පිරිස් යටපත් කිරීමට උත්සහ දරණ කාරණා සඳහන් කොට තිබුණි. විශේෂයෙන් ඇවන්ට් ගාඩ් සමාගම නිතී විරෝධී කටයුතු සිදු කළේ යම්සේද? ඊට ගත හැකි නීත්‍යානූකූල පියවර මොනවාද යන්න එහි නිවැරදිව සඳහන් කොට තුබුණි. කුමන හෝ හේතුවක් නිසා එය යටපත් කිරීමට නිතීපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් මෙන්ම අධිකරණ අමාත්‍යංශයේ ඇතැමුන් කටයුතු කළහ.

මෙලෙස උපායසීලිව වසා දැමුණු ලැබූ සිදුවීම යළි මතුපිටට පැමිණෙන්නේ නාවික හමුදාපතිවරයාගේ මුලිකත්වයෙන් ඇවන්ට් ගාඩ් සමාගම සතු ආයුධ ප්‍රවාහනය කරමින් තිබු නෞකාවක්  තම භාරයට ගෙන පාරීක්ෂණ ආරම්භ කිරීමෙනි. අදාළ පරීක්‍ෂණ ආරම්භ කිරීමට පෙර සකස් වී තිබු පරිසරය ගැන මේ දක්වා ප්‍රසිධියට පත් නොවූ කාරණයක් සැල කිරීම වැදගත් යැයි සිතේ.

එනම් අදාළ නෞකාව මෙරටට සේන්දු වීමට නියමිත තිබු දිනයේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න මහතා ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක් සඳහා පිටත් වීමට නියමිතව තිබුණි. එසේම ඇවන්ට් ගාඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ හිටපු නාවික හමුදාපතිවරයෙකු නිවාඩුවක් ගත කිරීම සඳහා රටින් බැහැරව සිටියේය.

කෙසේ නමුත්, නාවික හමුදාපතිවරයාට තම සංචාරය කල් දැමීමට සිදු වූයේ, වීර විභුෂණ සම්මානය ලබා ගැනීම සඳහා සහභාගී විය යුතුව තිබුණු බැවිනි. මෙවැනි තත්වයක්, අදාළ සමාගම අපේක්ෂා නොකළා විය යුතුය. එම සමාගම පමණක් නොව, ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයාද මෙවැනි තත්වයක් ඉස්මතු වේ යැයි නොසිතුවා විය හැකිය. ඒ අනුව, අදාළ නෞකාව තම සුපුරුදු මෙහෙයුම සිදු කරනු ලැබීය.  එය අපේක්ෂා නොකළ තත්වයක් දක්වා ඇදී ගියේය.

අදාළ සමාගමට අනුමැතිය ලබා දුන් අතිරේක ලේකම් සමන් දිසානායක මහතා, පසුව අදාළ සමාගම නීත්‍යානූකූල නොවන ලෙස කටයුතු කළ බව පාපොච්චාරණය කළ බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේය. එසේම නාවික හමුදාපතිවරයා ජනාධිපතිවරයාට පැහැදිලි සහ නිරවුල් ලෙස අදාළ කාරණය ගැන කරුණු සඳහන් කළේය.

එහිදී මතු කරනු ලැබූ මුලික කාරනා තුනක් පහත දැක්වේ;

  1. රටේ ජාතික ආරක්‍ෂාව ගැන මුලික වගකීම පැවරෙන නාවික හමුදාවට, පිටින් ගෙනන කුමන වර්ගයේ හෝ ආයුධයක් පෞද්ගලික සමාගමක් භාරයේ තැබීම කළ නොහැකි සහ කිසිඳු තත්වයක් යටතේ සිදු නොකළ යුතු කාරණයකි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝග කරනු ලැබුවේ, මෙරට තුළ සහ මෙරටට අයත් මුහුදු සීමාව තුළ සිදුවන සියලුම ආකාරයේ ආයුධ ගනුදෙනු නාවික හමුදාවට පවරා ගන්නා ලෙසයි. අනිකුත් සියලුම වාණිජ කාරණා නැව් සමාගම් සහ රාජ්‍යය යටතේ මෙහෙයවන රක්නා ලංකා සමාගම විසින් මෙහෙයවනු ඇත. මෙය රාජ්‍ය නායකයෙකු ගත යුතු තීන්දුවක් නොවන්නේද? වගකීම් විරහිතව කටයුතු කළ සමාගමකට මෙරට ආයුධ සම්බන්ධයෙන් වගකීමක් තව දුරටත් පැවරිය යුත්තේද? වැරදිකරු ලෙස උසාවියෙන් ඔප්පුවන තෙක් ඇවන්ට් ගාඩ් සමාගමට රිසිසේ කටයුතු කිරීමට ඉඩ සලසා දිය යුත්තේද?

ඇවන්ට් ගාඩ් යනු බෝනික්කන් පිටරට යවන සහ පිටරටින් ගෙන්වන සමාගමක් නොවේ. මෙවැනි බරපතළ කාරණයක් ගැන පැමිණිල්ලක් සිදු වූ වහාම, අදාල පෞද්ගලික සමාගමේ කටයුතු නීරීක්ෂණය කිරීම සහ පරීක්ෂණ අවසන් වන තෙක් එහි කටයුතු නතර කිරීම ඕනෑම රාජ්‍යය නායකයෙකුගේ වගකීම වේ. මෙය වැරද්දක් ලෙස දැකිය හැක්කේ කුමන ආකාරයේ පිරිස් වලටද යන්න, සාමාන්‍ය දැනුම පිළිබඳ ගැටලුවකි. එය හමුදාව ව්‍යාපාර පවරාගැනීමක් යැයි අර්ථ නිරූපණය කිරීම වූ කලී ඔලමොට්ටල නැඹුරුවකි.

avant_grade

  1. නාවික හමුදාව මේ වන විට තමන් භාරයට ගෙන ඇත්තේ එම්. වී. මහනුවර නමැති නෞකාවේ තිබු ආයුධ පමණි. ඒ සියල්ලම නීත්‍යානූකූල සහ විදෙස් රටවලට අයත් ඒවා යැයි සඳහන් වේ. නමුත්, නිතී විරෝධී ආයුධ ගබඩා කළේය යන චෝදනාව යටතේ තවමත් පරීක්ෂණ සිදුකරන එම්. වී. ඇවන්ට් ගාඩ් හී ඇති ආයුධ හමුදා භාරයට ගෙන නැත. ඇවන්ට් ගාඩ් සමාගමට අනුව ඒවා අයත් වන්නේ රක්නා ලංකා සමාගමටය. නමුත් අදාළ ආයුධ බොහෝමක ඛේත අංක වෙනස් කොට සූරා දමා තිබේ. එය හිතා මතාම කිසිවෙකු විසින් සිදුකළ කටයුත්තක් ලෙස ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරන්නේය. ඊට අදාළ සේයාරුවක් මෙහි පලකොට තිබේ. එහි ඉදිරි කටයුතු රජයේ රසපරීක්ෂක වාර්තාව මත තීරණය වේ. මෙහිදී මතු කළ යුතු වැදගත් කාරණය වූ කලී, නාවික හමුදාව භාවිතා කරනු ලබන්නේ ඇවන්ට් ගාඩ් සමාගම සතු ගාල්ලේ දක්ෂිණ නෞකා පර්යන්තයේ ඇති අනෙකුත් ගබඩාවේ ඇති ආයුධ වන අතර ඒ සියල්ලම නීත්‍යානූකූල ලියාපදිංචි කළ දෑ වේ.
  2. අදාළ සමාගමේ ප්‍රධානීයා විසින් විශාල පිරිසකට රැකියා ලබා දුන් බව සත්‍යයකි. එසේම තම රැකියාවලින් හුදු දේශපාලන කාරණා මුලික කොට ගනිමින් සේවයෙන් එලවා දැමු විශාල පිරිසක්ද සිටිති. මේ අතර ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් විශාල පිරිසක් අදාළ සමාගම විසින් සේවයේ පිහිටුවා ඇති නමුත් ඉන් එක් නාවික හමුදා නිලධාරියෙකු හෝ අදාළ සමාගමේ ප්‍රධානියාට පක්ෂව අදහස් ප්‍රකාශ නොකරන්නේ මන්ද? ( මුහුණු පොතේ සටහන් තබා හැංගි මුත්තන් සෙල්ලම නොකරන ඇතැමුන් හැර) ඔවුන්ගේ නිහඬතාවයෙන් සනාථ වන්නේ අදාළ සමාගම විසින් සිදුකළ නීති විරෝධී කටයුතු ගැන මනා අවබෝධයක් ඔවුන්ට ඇති බවද? නාවික කටයුතු සම්බන්ධයෙන් කටයුතු කළ සමාගමක් වෙනුවෙන් පිළිතුරු බැඳීම සඳහා විශ්‍රාමික යුධ හමුදා නිලධාරීන් පමණක් මාධ්‍ය ඉදිරියේ අදහස් පළකරන්නේ මන්ද?

කෙසේ වෙතත්, අදාළ කාරණය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා අදාළ සමාගමේ ප්‍රධානියා ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබේ. ඒ එළඹෙන නොවැම්බර් 20 වැනිදාය. ඔහු එහිදී සඳහන් කරන බොහොමයක් කාරණා අදාළ කාරණය සම්බන්ධයෙන් වැදගත් විය හැකිය.

avant-gradeඇවන්ට් ගාඩ් වූ කලී, මෙරට යහපාලනය මෙන්ම වත්මන් දේශපාලන වෙනස් වීම මනාව කිරා බැලීම සඳහා පෙළ ගැසී ඇති සිදු වීමකි. අදාල සිදුවීම සේම, මෙවැනි බරපතල කාරණා තනි පුද්ගලයෙකු මත පැටවීම සහ එම පුද්ගලයා සමස්ථ ජාතියට නූල් සූත්‍ර දමමින් රටේ ජාතික ආරක්ෂාව හා සම්බන්ධ කාරණා බරපතල ලෙස හෑල්ලුවට ලක් කිරීම යළිත් කිසිවෙකු හමුවේ සිදු නොවිය යුතු කාරණයක් වේ. මෙහි ඇති බරපතළකම හෙළිදරව් කිරීම පමණක් නොව, ඊට අදාළ පුද්ගලයින් විෂයෙහිලා නීත්‍යානූකූලව කඩිනමින් කටයුතු කිරීම අතිශය තීරණාත්මක වේ.

මේ වන විට අදාළ සමාගම මුලික ක්‍රමෝපායන් දෙකක් අත්හදා බලමින් සිටින බව පෙනේ. පළමුවැන්න වූ කලී, අදාළ සමාගම් විසින්ලබා දී ඇති රැකියා ප්‍රමාණය 12,000 කට අධික බවත්, නාවික හමුදාව එය පවරා ගැනීමෙන් අදාළ රැකියා අහිමි වූ බවටත් චෝදනා නැගෙයි. මෙය විපරීත කරනු ලැබූ අසත්‍ය කාරණයකි. දෙවැන්න, අදාළ සමාගම විසින් විවිධාකාර දේශපාලනඥයින්ට ලබා දී ඇති අල්ලස් වලට අදාළ සාක්ෂි හෙළිදරව් කිරීමයි. මින් ගම්‍ය වන මූලික කාරණය වූ කලී, අදාළ සමාගම නාවික හමුදාවට ගෙවිය යුතු රුපියල් මිලියට 580 ක මුදල ගෙවීම පැහැර හරිමින්, රටේ නීති තමන්ට රිසි සේ හැසිරවීම සඳහා දේශපාලනඥයින්ට මුදල් දී ඇති බවයි. මොවුන් සියල්ලම විධිමත් පරීක්ෂණයකට ලක් කිරීම බලධාරීන්ගේ වගකීම වේ.

කෛරාටකයින් රැකීමට ගොස් ඔවුන්ගේ උගුල්වලට හසු වී හොට පටලවා ගත් නායකයින් මෙරට අතීතයේ සිටි බව අමතක නොකළ යුතුය. එවැන්නක් යළි ඇති වීම වැලක්වීම සඳහා මෙවැනි සිදුවීම වලදී නායකත්වය, ගන්නා තීරණ ඉතා වැදගත් වේ.

යහපාලනය වූ කලී, තම හොරකම් වසා ගමිනින් අනෙකා මංමුලා කිරීම උදෙසා භාවිතා කළ යුතු වාග්මාලාවක් නොවේ. ඒ වූ කලී අව්‍යාජ මුලධර්මයන් මත පිහිටා නිර්මාණය වූ දැකුම්කලු පරිපාලන විදියකි. රටේ ජනතාව තම කැමැත්ත ලබා දෙනු ලැබුවේ, එම අව්‍යාජභාවය ඔස්සේ දෛනික ගැටලු විසඳා ගැනීමට මිස, යළිත් දේශපාලනික වශයෙන් අතරමං වී හුදෙකලා වූ අපකීර්තිමත් ජාතියක් වීමට නොවේ. විනිවදභාවය සහ ජනතාවට වගකීම වූ කලී සැබෑ පාරිපාලනයක ස්ථාවරත්වය සහතික කරන මුලික සාධක දෙකකි. රටක නායකයෙකු අසමත් නායකයෙකු ලෙස ධූරයෙන් විශ්‍රාම යෑමට අපේක්ෂකා නොකරන්නා සේම, රටේ ජනතාව අසමත් නායකයෙකු බලයේ තබා ගැනීමට කැමැත්තක් දක්වන්නේද නැත.

නිලන්ත ඉලංගමුව / Colombo Post

Archive

Latest news

Related news