Saturday, April 20, 2024

කවුද සේනාධිපති, ඇවන්ට් ගාඩ් ද? ජනපති ද ? – උපුල් ජෝශප් ප්‍රනාන්දු

2008දී මහින්දගේ ආණ්ඩුවේ අය – වැය පරාජය කරන්න රනිල්, මංගල සහ ශ්‍රී පති ආණ්ඩුවෙන් එළියට අරන් විජයදාස රාජපක්ෂ සමඟ සාකච්ඡා කරන විට විජයදාස හමු වෙන්න ආ හිටපු හමුදා නිලධාරියෙක් සිටියේය. ඔහු ඒ වන විට පෞද්ගලික ආරක්ෂක සමාගමක සේවය කරමින් සිටි අයෙකි. ඔහු විජයදාස හමුවෙන්න ඇවිත් පෙරැත්ත කළේ යළි ආණ්ඩුවට එක්වන්න කියාය. ඒ සඳහා විජයදාස සහ ගෝඨාභය අතර හමුවක් සංවිධානය කළ හැකි බව ඔහු අඳෝනා නඟමින් කීවේය. අය – වැයෙන් මහින්දගේ ආණ්ඩුව පරාජය කළ නොහැකි විය. අය – වැයට එරෙහිව ඡන්දය පාවිච්චි කරන්න ආණ්ඩුවෙන් එළියට ආ විජයදාස එදින ඡන්දය පාවිච්චි කළේ නැත. විජයදාස මෙන්ම ජවිපෙද ඡන්දය පාවිච්චි නොකොට මහින්දගේ ආණ්ඩුව බේරා ගත්හ.

අය – වැයෙන් ආණ්ඩුව පෙරළන්න විජයදාස සමඟ සාකච්ඡා කරද්දී විජයදාසව ආණ්ඩුවේ තියාගන්න වලිකාපු හිටපු හමුදා නිලධාරියා කවුදැයි රනිල්ලා හොයන්න පටන් ගත්තේ ඉන් පසුවය. ඔහු කවරකුවත් නොව අද ආන්දෝලනාත්මක ඇවන්ගාඩ් කොම්පැනිය හිමි නිශ්ශංක සේනාධිපතිය.
“යතුරුපැදියකින් ගිය නිශ්ශංක කොහොමද මෙහෙම ප්‍රකෝටිපතියෙක් වුණේ…?”

ඒ ගැන හොඳම කතාව කියන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාය. ඇය ‘යුක්තිය’ වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඇවන්ගාඩ් සහ නිශ්ශංක සේනාධිපති ගැන මෙලෙස කියා ඇත.

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ඇවන්ගාඩ් සිද්ධිය පිළිබඳ ජනාධිපතිතුමාගේ තීන්දුව පිළිබඳ ඔබතුමියගේ අදහස කුමක්ද?
මොකක්ද තීන්දුව. මම දන්නෙ නෑ.

ඇවන්ගාඩ් ගිවිසුම අහෝසි කළා කියලා මාධ්‍යයෙන් වාර්තා වුණා නේ?

ඔය තීන්දුව මං ගන්න කිව්වේ මාස නවයකට කලින්. ඒ තීන්දුව සියයට සියයක් හරි. මාස 9ක් තිස්සේ මම ඕක කිව්වා.

ඒක හරි කියන්නේ කොහොමද?

මම අධ්‍යයනය කළා ඕක ගැන. පොලිසිය ඉතාමත් හොඳට, ඉතාමත් ඉක්මනට මාස දෙකක් ඇතුළත, එනම් මාර්තු වෙනකොට අදාළ සියලුම විස්තර හොයාගෙන තිබුණා. රහස් පොලිසිය ඇතුළු පොලිසියේ විවිධ අංශවල ඒ වාර්තා ගෙන්නාගෙන මම අධ්‍යයනය කළා. ඒ කරලා, මම ලිව්වා පිටු දෙකක වාර්තාවක්. මම යෝජනා කළේ ආණ්ඩුවට පැහැදිලිවම ඇවන්ගාඩ් ගිවිසුම අහෝසි කරලා මේ කටයුත්ත නාවික හමුදාවට භාර දෙන්න කියලා. මේ නාවික හමුදාවට මේක කරන්න බෑ කියන්නේ බොරු. අපි මේක යසට කෙරුවා. අපි නාවික හමුදාවත් එක්ක කතා කළා. ඒ අය කිව්වා කරන්න පුළුවන් කියලා.

ගෝඨාභය රාජපක්ෂ එතකොට හිටපු නාවික හමුදාපතිට බල කරලා, මේක කරන්න බෑ කියලා ලියුමක් ගත්තා. අරගෙන ගෝඨාභයයි, මොහාන් පීරිසුයි අධ්‍යක්ෂවරුන් වෙලා රක්නා ලංකා කියලා සමාගමක් හදාගත්තා. අවුරුදු එකහමාරක් මේ රක්නා ලංකා එක මේ බිස්නස් එක කෙරුවේ. ඊට පස්සේ කවුරුහරි ඒගොල්ලන්ගේ මොළේ පාදන්න ඇති මේක සම්පූර්ණයෙන් නීති විරෝධියි, ඒගොල්ලෝ හිරේ යන්න පුළුවන් කියලා. ආරක්ෂක ලේකම් වෙලා ඉන්නකොට හමුදාවක් මුදල් හම්බ කරපු එකක් අරගෙන, ඒගොල්ලන්ගේ සාක්කුවට සල්ලි දාගත්තාම මේක වැරැදි ක්‍රියාවක් කියලා. ඊට පස්සේ ඉක්මනට මේක වෙන මොකද්දෝ අරමුදලකට දාල තියෙනවා. ඒත් ඒක භාණ්ඩාගාර අරමුදලට යවලා නෑ. රක්නා ලංකා එක ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගන්නේ ඊට පස්සේ. නිශ්ශංක සේනාධිපති ගෝඨාගේ යාළුවෙක්. එයා ලව්වා ඇවන්ගාඩ් කියලා සමාගමක් හදාගෙන ඒගොල්ලන් රක්නා ලංකා එකත් එක්ක ගිවිසුමක් ගහනවා. ඒක කරලා තමුසෙලා බිස්නස් එක කරනවා අපිට සියයට පනහක් දෙනව කියලා තියෙනවා. ලාභයෙන් සියයට පනහක් දෙන්න කියලා ලියලාම තියෙනවා. හැම මාසෙකටම දශ ලක්ෂ 438ක ලාභයක් තියෙනවා. ඒකෙන් භාගයක් ගෝඨාභයගේ සමාගමකට.

චන්ද්‍රිකා කියන්නේ මහින්දගේ ආණ්ඩුවෙන් පළිගැනීම්වලට ලක් වූ අයෙකි. ඇය එකල රට හැර දමා ගියේත් මර බියෙනි. ඇයගේ ආරක්ෂාව අඩු කොට ඇයගේ හිතට මර බිය ඇති කළේ මහින්දගේ ආණ්ඩුවය. මහින්දගේ ආණ්ඩුව පෙරළන්න මෛත්‍රිපාලව පොදු අපේක්ෂකයා ලෙස ගෙනාවේත් ඇයය. එම නිසා ඇයට තරම් මේ ආණ්ඩුව ආරක්ෂා කරගන්න වුවමනාවක් වෙනත් කාටවත් තිබිය නොහැකිය. ඇය හොඳට දුර පෙනෙන දේශපාලනඥවරියකි. 1994 මහ මැතිවරණය දිනා, ජනාධිපතිවරණය දිනා ඇය ආණ්ඩුව කරන්න පටන් ගත් විට ඊට පෙර බලයේ සිටි යූඇන්පී ආණ්ඩුවේ පිහිටෙන් ව්‍යාපාර කළ ව්‍යාපාරිකයන් එක් රොක් වූයේ ඇයගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වටාය. අන්තිමට ඒ ආණ්ඩුව වැට්ටුවේ එම ඇමැතිවරයාය.

“අද නිශ්ශංක සේනාධිපති කරන්න යන්නේත් ඒකමද?”

දුර දකින චන්ද්‍රිකාට එහෙම පේනවා විය යුතුය. දැන් නිශ්ශංක සේනාධිපති වෙනුවෙන් කතා කරන ඇමැතිවරුන් කියන්නේ ආණ්ඩුව පෙරළන කුමන්ත්‍රණයක් තියෙනවා යැයි කියාය. ඔවුන් නොකියා කියන්නේ ඇවන්ගාඩ් අහෝසි කරපු මෛත්‍රිපාල රනිල්ගේ ආණ්ඩුව පෙරළන්න යනවාය කියාය. හරීන් ප්‍රනාන්දු බීබීසීයට කියා ඇති පහත කතාවෙන් ඒ බව පැහැදිලිය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණයක් තිබේද යන්න විමසූ විට අමාත්‍යවරයා පැවැසුවේ තමන්ට එවන් දෙයක් දැනෙන බවයි.

‘මට එහෙම හැඟීමක් තියෙනවා. මට ඒක දැන් වැඩිපුරම තේරුම් ගිහිල්ල තියෙනවා. ඒත් තාම ජනාධිපතිවරයා ගැන විශ්වාසයක් තියෙනවා’ ඇමැතිවරයා පැවැසීය.

දැන් මේ ඇවන්ගාඩ්ට කඩේ යන හරීන්ලා මෛත්‍රිපාල ඇවන්ගාඩ් එකට ගැහුවේ යූඇන්පීයට ගහන්න කියා පෙන්වා දෙන්න උත්සාහ දරමින් සිටී. හරීන් මීට පෙර ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස් කරන්න ගිහින් මෛත්‍රිපාල එක්ක ගැටුමක් හදාගෙන ඒ ගැටුම රනිල් ළඟට ගෙනිච්චේ මෛත්‍රිපාල ටෙලිකොම් අමාත්‍යාංශය පවරා ගන්න යනවාය කියා චෝදනා කරමින්ය. තමා කඩේ යන ඇවන්ගාඩ් එකට ගැහුවා කියා මෛත්‍රි ආණ්ඩුව පෙරළන්න යනවාය කියා හරීන් මේ හදන්නේ යූඇන්පීය කුලප්පු කිරීමය.

“හරීන්ලාට ඕන මෛත්‍රි ලව්වා රනිල්ගේ ආණ්ඩුව පන්න ගන්න”

හරීන්ලාට කොහොම වෙතත් නිශ්ශංක සේනාධිපතිට ඕන ඒකය. ඔහු හරීන්ලාව ඒ සඳහා පාවිච්චි කරයි. රනිල් විජයදාසට තරවටු කළේ තම ආණ්ඩුව වට්ටවන්න නිශ්ශංක කුමන්ත්‍රණය කරන බව දැනගෙනය. ඇවන්ගාඩ් වෙනුවෙන් කතා කරන ප්‍රබල ඇමැතිවරයකුට රනිල් අනතුරු අඟවයි කියා පුවතක් පළ වූ විට විජයදාස කියන්නේ තමන්ට නම් රනිල් එහෙම අනතුරු ඇඟවීමක් කළේ නැත කියාය. ඇවන්ගාඩ් සමාගමට දී ඇති අවි ආයුධවලට බලපත්‍ර නැතැයි රනිල් පාර්ලිමේන්තුවේදී කියද්දීත් ඇවන්ගාඩ් අවි නීත්‍යනුකූල යැයි කීමෙන් විජයදාස අභියෝග කරන්නේ රනිල්ටය. රනිල් ප්‍රබල ඇමැතිවරයකුට අනතුරු ඇඟවූවා කියා ඇවන්ගාඩ් ආණ්ඩුවට කරන විනාශය වළක්වන්න යද්දී තමන්ට රනිල් එලෙස කීවේ නැති බව කීමෙන් විජයදාස අභියෝග කරන්නේ රනිල්ටය.

රනිල් විපක්ෂයේ සිටි කාලයේ මහින්දව ආරක්ෂා කර ගන්න රනිල්ව විපක්ෂ නායකකමේ තියා ගන්නවා කියා මහින්ද එක්ක ඩීල් දමා ගත්ත දේශපාලනඥයන් කිහිපදෙනකුම අද රනිල් වටේ සිටී. ඔවුහු මහින්දගේ ආණ්ඩු කාලයේ රනිල්ව ආරක්ෂා කරල දෙන්නම් කියා මහින්දගෙන් වරප්‍රසාද ලබා ගත්හ. රනිල්ද තම නායකත්වය ආරක්ෂා කරල දුන්න ඔවුන්ට කෘතගුණ සලකන්න හොඳ ඇමැතිකම් දුන්නේය. අද ඇවන්ගාඩ් අල්ලාගෙන ඉන්නේ මේ ටීම් එකය. ඔවුන් ඇවන්ගාඩ් ආරක්ෂා කරද්දී මෛත්‍රි පිලෙහි හෝ වත්මන් ආණ්ඩුවේ ඇමැති මණ්ඩලයේ සිටින ශ්‍රී ලනිප ඇමැතිවරුන් කිසිවකු ඔවුන්ව ආරක්ෂා කරන්න කතා කරන්නේ නැත. ඔවුන්ව ආරක්ෂා කරන්න කතා කරන්නේ මෛත්‍රි විරෝධී රාජපක්ෂවාදී ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නා විමල්, අලුත්ගමගේ, ලොහාන් රත්වත්තේ, ගාමිණී ලොකුගේ යන අයය.

“ඒ කියන්නේ එජාපය විපක්ෂයේ සිටියදී මහින්ද-රනිල් අතර ඩීල් දමන්න ගිය අය දැන් ඒ පරණ ඩීල් එක අලුත් කරන්න හදනවාද?”

මහින්දගේ පළමු ඉලක්කය රනිල් නොව මෛත්‍රිය. රනිල් අගමැති ලෙස දිවුරුම් දෙන උත්සවයට මහින්ද ගියේ රනිල්ව විපක්ෂ නායකකමේ තියාගෙන සදහටම ජනාධිපතිකම් කරන්න දමපු ඩීල් එක අලුත් කරගන්න පුළුවන්ද කියලා බලන්නටය. මහින්දට ඕන පළමුව මෛත්‍රිව විනාශ කරලා ශ්‍රී ලනිපයේ බලය අල්ලලා පසුව රනිල් විනාශ කිරීමය. රනිල් විනාශ කිරීම කජු කනවා වගේ ලෙහෙසි යැයි මහින්ද සිතයි. හැබැයි පළමුව මෛත්‍රි විනාශ කරන්න නම් රනිල් මෛත්‍රිගෙන් ගලවා ගත යුතු බව ඔහු දනී. ඒ සඳහා දෙන්නාව කෙටවීම ඔහුගේ උපායයි. මෛත්‍රි රනිල්ගේ ආණ්ඩුවට ගහන්න යනවා යැයි ඇවන්ගාඩ් ගාඩ් කරන ආණ්ඩුවේ ඇමැතිවරුන් නොකියා කියන්නේ දෙන්නා හප්පවල මෛත්‍රිට ගහන තැනකට රනිල් තල්ලු කර ගන්නටය. ඒ සඳහා මහින්දවාදී ඒකාබද්ධ විපක්ෂයේ සහාය ලැබේ යැයි ඔවුහු සිතති. රණවිරුවන් වෙනුවෙන් පොළොවෙ හැපිලා වැලි කන, වැලපෙන ඒකාබද්ධ විපක්ෂය මෛත්‍රි ඇවන්ගාඩ් කළ ව්‍යාපාරය නාවික හමුදාවට භාර දී රණවිරුවන් ශක්තිමත් කිරීමට ගත් දේශප්‍රේමී තීන්දුවට එරෙහි වීමෙන් නටන්නේ හෙලුවෙන්ය. ඔවුන්ට රණවිරුවන් ආරක්ෂා කරන්න වුවමනාවක් නැත. ඔවුන්ට ඕන ඇවන්ගාඩ් ගාඩ් කරලා සම්තින් එකක් හොයා ගෙන ඇවන්ගාඩ් මෙහෙයුමෙන් මෛත්‍රිව ඉවර කරන්නටය.

“මහින්ද ඇවන්ගාඩ් හරහා දියත් කරන මෙහෙයුම හරි යයිද?”

හරි නොයන්න නම් රනිල් ඇවන්ගාඩ් ගාඩ් කරන ඇමැතිවරුන්ට ශුද්ධ සිංහලෙන් මේ ටික කියා දිය යුතුය.

“මේ රටේ සේනාධිපතිලා දෙන්නෙක් නැහැ. ඉන්නේ එක සේනාධිපතියි. ඒ මෛත්‍රිපාල විතරයි.”

Archive

Latest news

Related news