Friday, May 3, 2024

සෝභිත හිමියනි, අඳුරට සාප කරනු වෙනුවට පහන දැල්වුයේ ඔබය! – ජනතා ප්‍රජාතන්ත්‍රවාදී මණ්ඩපය

රටක් වැනසෙන්නේ දුෂ්ඨ මිනිසුන්ගේ ප්‍රචන්ඩත්වයට වඩා යහපත් මිනිසුන්ගේ භයානක නිහැඩියාව නිසා ය.

සෝභිත හිමියනි, මේ අපගේ දේ‍‍ශයේ වු එවන් භයානක නිහඩතාවයන් බිඳ ලූ පින්බර මිනිසුන් අතර ඔබවහන්සේගේ පුරෝගාමී මෙහෙවර අපි මේ සෝබර මොහාතෙහි බැතියෙන් සිහිපත් කරමු!

සාදූ! සාදූ!! සාආආ !!!

ශ්‍රී ලංකාව තනි පවුලක පාලනයට යටත් කොට මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටි ජනයාට මිහිපිට නරකාදියක් ද දූෂිත භීෂිත පාලක හැතිකරයට සුරවිමනක් ද මේ ආත්මයේ ම තැනූ රාජපක්ෂ දුර්දාන්ත සමය අහෝසි කිරීමට ආත්ම පරිත්‍යාගයෙන් පෙරමුණ ගත්තේ හිමියනි, ඔබ ය.

ඉදින් ඔබ දෙපා නැමද උපහාර කිරීම තරම් පින්කමක් මේ මොහොතේ මෙරට නැත්තේ ය‍.

සාදු! සාදු!! සාආආ!!!

දේශපාලනයේ නාමයෙන් ජාවාරම්කාරයින් ද වංචාකාරයින් ද කප්පම්කාරයින් ද යන කි නොකී දූෂිතයින් බලය සහ ඒ සමඟ එන ධනය සඳහා පොරකත්දී බලය නොව වෙනස සඳහා පෙනි සිටි සිවිල් ජනයා අතර පෙරමුනෙහි ම වැඩියේ හිමියනි ඔබ ය.

ඔබ දහසින් බැදි පියලි, මැති ඇමැතිකම්, කොන්ත්‍රාත්, විදේශ සංචාර, තානාපතිකම් පසුපස කෙළ හළන දේශපාලන පංතියට අයත් නොවීම කොතරම් සැපතක් ද! ඔබ අපේ ය. බලය නොව මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මක් ඉල්ලා සිටින පුරවැසි සමාජයේ ය.

ඒ මත පදනම් වූ සාධාරණ සමාජය ඔබ පැතූ නිවන නොවී ද? මහාජනයාගේ මානව හිමිකම් රැකෙන ඒ වෙනස ඔබේ බුදු වදන විය.

සාදු! සාදු!! සාආආ…

නිදහස් යහපත් ජිවිතයක් සඳහා මහා ජනයාට ඇති අයිතිය. අප එයට මානව හිමිකම් යැයි කියමු. හිමියනි, ඒ වනාහී ඔබේ සුමධුර වේගවත් අධිශ්ඨානශීලී හඩින් ද ගැයුනු වත්මන් යුගයේ කාහළ නාදය වේ. ඒ සදාකාලික ය. අයුක්තිය අසාධාරණය කොතැනද ජාතිය- ජන්මය, කුළය-මළය, ස්ත්‍රී-පුරුෂ වෙනස පරයා එය නැගෙයි. වැටි වැටී නැගිටියි. මැඩළනු නොහේ.

සාධාරණ සමාජයක් සඳහා ඔබ සෙවනේ පැවැති විධි-අවිධිමත් කතා බහ සිහිකරමින් ඔබ දේශනා කළ මහජන අයිතියේ ධර්මය මෙනෙහි කරමින් සමාධි ගත වන්නට අපට අවසර දෙන්න. හිමියනි එකළ අපට ඇසෙන්නේ ඔබේ කරුණාබර හැගුම් බර හඩ ය. අපට ඔබ දෙසන ධර්මය ශ්‍රවනය වෙයි. අපේ බසින්ම අපේ වහරින්ම ඔබේ වචන නින්නාද වෙයි.

‘‘තැටිය රත් කරලා දුන්නේ ගිනි තපින්න නෙවෙයි! ජනවාරි විප්ලවයෙන් බලය ආ පාලකයිනි. කරුණාකර රොටිය පුච්චන්න ’’

මාදුළුවාවේ සෝභිත හිමි නමින් අපි එකාසේ ජනවාරි විප්ලවයෙන් බලයට ආ නායකයින්ට කියා සිටිමු.

ගිනී තැපීම නොහොත් ජනවාරි විප්ලවයන් හම්බකරගෙන කෑම නවත්වනු.

පොරොන්දු වූ සමාජ සාධාරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ඇතුළත් වෙනස සඳහා දින වකවානු සහිත නිශ්චිත පොරොන්දුව සෝභිත හිමිගේ සිරුර අභියස ශපථ කරනු!.

සිය ජිවිතය මහජන සුඛය වෙනුවෙන් කැප කලා වූ අපේ කාලයේ මහජනයාගේ යතිවරයාණෙනි, සමාජ සාධාරණයේ නොනවතින අරගලටයේ යෙදී සිටිනු වස් පහන් තරුවක් වී සදා අපට දිරිය ද අධිටන ද කැපවීම ද පෙන්වනු මැනව.

සාදු! සාදු!! සාආආ!!

ජනතා ප්‍රජාතන්ත්‍රවාදී මණ්ඩපය
නොවැම්බර් 10 2015

Archive

Latest news

Related news