Friday, April 26, 2024

එජා විශේඥයින් හමුවූ පවුල්වලට හමුදා තර්ජන; පරණ පුරුදු හමුදාවේ තවම තියෙනවා – මංගල

( අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආරක්ෂක හමුදා විසින් තර්ජනය කිරීම ‘කිසිසේත්ම පිළිගන්න බෑ’යැයි  එක්සත් ජාතීන්ගේ විශේෂඥ කමිටුව කියයි)

අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් මේ දක්වාම ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවල තර්ජනවලට සහ හිරිහැරවලට ලක්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී තමන් හමු වී සාකච්ඡා කළ අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආරක්ෂක හමුදා විසින් තර්ජනය කරන ලද බවට පැහැදිලි සාක්ෂි ලැබුන බවයි, අතුරුදහන්වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව සඳහන් කරන්නේ.

Bernard Duhaime, Tae-Ung Baik saha Ariel Dulitzky ගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ දස දින සංචාරයක් අවසානයේ කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින්.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මෙය කිසිසේත්ම පිළිගත නොහැකි තත්වයක් බවයි, එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලය පවසන්නේ.

අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් 200 දෙනකු සිය සංචාරය අතරතුර තමන් හමු වූ බවයි කමිටුවේ දූත පිරිස පවසන්නේ.

කමිටුව එල්ල කරන චෝදනාව පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංචාරය අවසානයේ දූත මණ්ඩලය තමන් හමු වූ අවස්ථාවේත් එම චෝදනාව මතු කළ බව පැවසීය.

එය නව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවන නමුත් පැරණි ක්‍රමයට ක්‍රියාකිරීමට උත්සාහ දරන පුද්ගලයන් ආරක්ෂක අංශ තුල තවමත් සිටින බව තමන් දන්නා බවත් විදේශ ඇමතිවරයා සඳහන් කළේය.

අතුරුදහන්වූවන් රඳවා තබාගන්නා ලද සංකීර්ණ තුනක් සිය සංචාරයේදී දැකගන්නට ලැබුන බව පවසන ක්‍රියාකාරී කමිටුව, එම සංකීර්ණවල කාමර 12 ක් තිබුණු බවත් සඳහන් කළේය.

එම කාමර මුලින්ම භාවිත කරනු ලැබුවේ කවදාද හෝ කවදා වන තුරු එම කාමර භාවිත කර තිබෙන්නේද යන්න තමන් නොදන්නා බවයි කමිටු සාමාජිකයෙක් කියා සිටියේ.

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ භූගත කඳවුරක දී රැඳවියන්ට වද බන්ධන පනවා ඇති බවට පැහැදිලි සාක්ෂි දැකගන්නට ලැබුන බව පවසන දූත මණ්ඩලය, 2010 වසර දක්වා එම කඳවුරේ රහසිගතව පුද්ගලයන් රඳවා සිටි බව කඳවුරේ බිත්තිවල කටු සටහන්වලින් හැඟී යන බවත් සඳහන් කළේය.

කෙසේ නමුත් එම රැඳවුම් කඳවුරු මෑතදී භාවිතයට ගෙන නොමැති බව තහවුරු කළ යුතු බවත් තවත් එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලය අවධාරණය කරයි.

ශ්‍රී ලංකා බලධාරීන් සහ එල්ටීටීඊ සංවිධානය විසින් කරන ලද සියලු බලහත්කාර අතුරුදහන් කරවීම් පිළිබඳව පූර්ණ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකා ආණ්ඩුවට නිර්දේශ කරයි.

බලහත්කාර අතුරුදහන් කරවීම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් පරීක්ෂණ නොපැවැත්වීම සහ පැවැත්වෙන පරීක්ෂණවල මන්දගාමී ප්‍රගතිය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවයි දූත මණ්ඩලය පවසන්නේ.

යුද්ධය, ත්‍රස්තවාදය හෝ වෙනත් ඕනෑම කරුණක් විසින් කිසිවකු බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම සාධාරණීකරණය නොකෙරෙන බවත් එක්සතා ජාතීගේ දූත පිරිස අවධාරණය කරයි.

ගතව ගිය දශක කිහිපය ඇතුලත අතුරුදහන් කරන ලද දස දහස් සංඛ්‍යාත පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ට යුක්තිය ඉටුකිරීම පිණිස ශ්‍රී ලංකාවට කදිම අවස්තාවක් උදා වී තිබෙන බව පවසන එක්සත් ජාතීන්ගේ සංවිධානය, බලහත්කාර අතුරුදහන් කරවීම්වලට වගකිව යුත්තන්ට දඬුවම් පැමිණවීමේ අවශ්‍යතාවයද අවධාරණය කරයි.

ජිනීවා මානව හිමිකම් කොමිසම නිර්දේශ කළ ප්‍රකාර ඒ සඳහා හයිබ්‍රිඩ් අධිකරණ ක්‍රියාදාමයක් පිහිටුවීමේ යෝජනාවට සිය සහාය පළකරන දූත පිරිස, ආණ්ඩුව විසින් පිහිටුවීමට යෝජිත අතුරුදහන්වූවන් සම්බන්ධ විශේෂ කාර්යාලය ඈත අතීතයේ පටන් සිදු වූ සියලු අතුරුදහන්වීම් පිළිබඳව සොයා බැලිය යුතු බවත් සඳහන් කරයි.

යුද්ධය අවසානයේ බලහත්කාර අතුරුදහන්වීම් බොහෝ දුරට අඩු වී තිබෙන බව පිළිගන්නා එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව, විශේෂයෙන්ම ගතව ගිය වසර දෙක ඇතුලත එවැනි කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බව වැඩිදුරටත් පවසයි.

(අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ට ‘තවමත් තර්ජන’ නමින් බීබිසී සිංහල වෙබ් අඩවියේ පළ වු ලිපියකි)

Archive

Latest news

Related news