Saturday, May 4, 2024

මාධ්‍යවේදී සම්පත් ලක්මාල් ද සිල්වා ගේ මිනීමරුවා ප්‍රගීත් ඝාතන සැකකරු කර්නල් ෂම්මි!

( සම්පත් ලක්මාල්ගේ මව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විරෝධතාවයකදී)

2006 ජුලි මස දෙවන දා දෙහිවලදී ඝාතනය කෙරුණු ආරක්ෂක අංශ වාර්තාකරුවකු වන මාධ්‍යවේදී සම්පත් ලක්මාල් ද සිල්වා මහතාගේ ඝාතකයා පිළිබඳව වසර 09 කට පසු හෙලිදරව් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබේ. මාධ්‍යවේදී සම්පත් ලක්මාල්ගේ ඝාතකයා වන්නේ දැනට ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග පිට පසුවන, යුද හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න බව හෙලිදරව් වී තිබේ.

2006 ජුලි මස පළමුවැනිදා රාත්‍රී ආහාර ගනිමින් සිටි මාධ්‍යවේදී සම්පත් ලක්මාල්ට ලැබුණු දුරකතන ඇමතුමකට අනුව ආහාර ගැනීම පවා පසෙක ලා හැඳ පැළඳගෙන පිටත් වී ගිය බව සම්පත්ගේ මව වන රූපා ද සිල්වා මහත්මිය එම දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තරයක් ලබාදෙමින් පවසා ඇත. තමා පුතුගෙන් හදිසියේ කොහේ යන්නේදැයි විමසූ විට ‘කුමාර සර් හදිසියකට එන්න කිව්වා’ කියමින් පිටවී ගිය තම පුතු ඉන්පසු කිසිදිනෙක නොපැමිණි බවත් ඔහුගේ මළසිරුර පසුදින හමු වූ බවත් ඇය සිය කටඋත්තරයේදී පවස තිබේ.

සම්පත්ගේ මව වන රූපා ද සිල්වා මහත්මිය ‘කුමාර සර්’ යනුවෙන් සඳහන් කර ඇත්තේ යුද හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න බව හෙලිදරව් වී තිබේ. සම්පත් ලක්මාල්ගේ ඝාතනය සාධාරණීකරණය කිරීම සඳහා එවක හමුදා බුද්ධි අංශය මාධ්‍ය හරහා පතුරුවා හැරියේ මාධ්‍යවේදී සම්පත් ලක්මාල් හමුදාවේ තොරතුරු කොටි සංවිධානයටත් කොටි සංවිධානයේ තොරතුරු හමුදාවටත් සැපයූ ‘ඩබල් ඒජන්ට්’ කෙනෙකු බවයි. නමුත් සම්පත් ලක්මාල් එසේ කළබවට කිසිදු සාක්ෂියක් ලැබී නොමැත. මෙම මාධ්‍යවේදියාගේ මරණය පිළිබඳව අදහස් දක්වන කඳුරට ජනතා පෙරමුණේ පී. රාධාක්‍රිෂ්ණන් එවක පවසා සිටියේ සම්පත් ලක්මාල් ද සිල්වා මරාදැමීමට හේතුව යුද හමුදාව සිදුකළ ඝාතන පිළිබඳව සියලු තොරතුරු ඔහු දැනසිට නිසා බවයි. මෙම ඝාතනය සිදුවූ අවධියේ ශම්මි කුමාරරත්න යුද හමුදාවේ ලුතිනන්ධූරයක කටයුතු කළබව තහවුරු වී තිබේ.

ඉරුදින, ලක්බිම, සත්දින යන මාධ්‍ය ආයතනයන්හි නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ මාධ්‍යවේදී සම්පත් ලක්මාල් ද සිල්වා මියයන විට සත්දින පුවත්පතේ ආරක්ෂක වාර්තාකරු ලෙස සේවය කළේය. 24 හැවිරිදි සම්පත් ලක්මාල්ගේ ඝාතනය පිළිබඳව ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්නට මූලික පරීක්ෂණයකින් තොරව කෙලින්ම අධිචෝදනා පත්‍ර භාරදිය හැකි බව නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා යවා තිබේ. නමුත් කවර හෝ අදිසි හස්තයකින් එය යටපත්වීමේ හැකියාව පවතින බව ද සඳහන් වේ.

සමපත් ලක්මාල්ගේ මව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විරෝධතාවයකදී - ජායාරූපය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙනි)
සමපත් ලක්මාල්ගේ මව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විරෝධතාවයකදී – ජායාරූපය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙනි)

LNW

Archive

Latest news

Related news