Saturday, April 27, 2024

‘ආණ්ඩුව කෙරෙහි විශ්වාසය බිඳ වැටිලා’ – නි. ඇමැති අජිත් පෙරේරා

දූෂණ වංචා සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතියක් නොමැති වීම හේතුවෙන් ආණ්ඩුව කෙරෙහි සිය විශ්වාසය බිඳ වැටෙමින් තිබෙන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සංදේශයට පැවසීය.

ඇවන්ට්ගාඩ් සමාගමේ පාවෙන අවි ගබඩා සම්බන්ධ ප්‍රශ්නය පමණක් නොව තවත් බොහෝ පරීක්ෂණ කෙරෙහි තම විශ්වාසය බිඳ වැටී ඇති බවයි ඔහු කියා සිටියේ.
‘මන්ත්‍රීගේ දේපල’

‘අපි දන්නවා කලින් අල්ලස් දූෂණ කොමිසම අකාර්යක්ෂම කිරීමට හේතු වුනා කළුතර දිස්ත්‍රික්කයේ එක්තරා මන්ත්‍රීවරයෙකුගේ, එවකට ඇමතිවරයෙකු ගේ දේපල පිලිබඳ කාරණය. ඒ පරීක්ෂණ කටයුතු ඊට පස්සේ ආරම්භ වුනේ නැහැ. තව කාරණා බොහොමයක් තියෙනවා.

ඔබට මතක ඇති හිටපු ජනාධිපතිවරයා ගේ නිල බෙන්ස් රථයේ අංකය භාවිතා කළ රේසිං කාර් එකක් අත්අඩංගුවට ගත්ත. අද වෙනකම් චෝදනා ගොනු වෙලා නැහැ. මේ වන විට ඒ රථය අධිකරණ භූමියේත් නැහැ. මට ආරංචි වුනා ඒ රථය ආපසු භාර දීල කියල. මට තේරෙන්නේ නැහැ ජනාධිපතිවරයෙකු ගේ නිල රථයක අංකයක් භාවිතා කරපු රථයක් කොහොමද ආපසු භාර දෙන්නේ කියල.’ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පැවසීය.

මෙවැනි කාරණා නිසා නව රජය කෙරෙහි ජනතාවගේ විශ්වාසය ද බිඳ වැටී ඇති බව තමා පිළිගන්නා බවද නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

යුක්තිය ඉටු වනවා මෙන්ම යුක්තිය ඉටු වන බව පෙනෙන්නට ද තිබිය යුතු බවයි අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා බීබීසීයට කියා සිටියේ.

– බීබීසි සිංහල

Archive

Latest news

Related news