Saturday, May 4, 2024

“සෝභිත හිමි උත්තරීතර මනුෂ්‍යයෙකි“ – විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය

sobitha1-thero-500001පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ හදිසි අපවත් වීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය සිය සාතිශය සංවේගය පළ කරයි. පසුගිය වසර පහක පමණ කාලය තුළ සෝභිත ස්වාමීන් වහන්සේ විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය සමඟ ඉතාම කිට්ටුවෙන් කටයුතු කළහ. විශේෂයෙන්ම අප සම්මේලනය විසින් ලංකාවේ අධ්‍යාපනයේ අර්බුදය සම්බන්ධව මහජන අවධානය යොමුකරවීම සඳහා දියත් කළ ව්‍යාපාරවලට උන්වහන්සේ ඉතා කැපවීමෙන් සහ උද්‍යෝගයෙන් යුක්තව සම්බන්ධ වූහ. අප සම්මේලනය විසින් 2012 ඔක්තෝබර් මාසයේ දී පැවැත්වූ ගාල්ලේ සිට කොළඹ දක්වාවූ පා ගමන අවසානයේ කොළඹ හයිඩ් පිටියේ පැවැති මහජන රැළිය ආමන්ත්‍රණය කිරීමට මහ වැසි නොතකා ඉදිරිපත් වූ ආකාරය අප සිහිපත් කරන්නේ අතිශය ගෞරවයෙනි.

උන්වහන්සේ සිය විශිෂ්ට ජීවන චාරිකාව අවසන් කරන්නේ පසුගිය වසර කීපය තුළ උන් වහන්සේ නියැලී සිටි සමාජ-දේශපාලන කාර්යභාරය ඉදිරියට ගෙනයාම සඳහා සිය දායකත්වය සහ නායකත්වය ඉතා තදින් තව දුරටත් අත්‍යවශ්‍යව තිබෙන මොහොතකයි. එසේ වන්නේ සමාජ සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, යහපත් ආණ්ඩුකරණය සහ වාර්ගික හා ආගමික කණ්ඩායම් අතර සහජීවනය උදෙසා පසුගිය කාලය තුළ දියත් වූ මහජන කතිකාවේ කේන්ද්‍රය වූයේ උන්වහන්සේ නිසාය. මේ වසර මුල මෙරට ඇති වූ දේශපාලන පරිවර්තනය සඳහා උන්වහන්සේ ක්‍රියාශීලී සහ පුරෝගාමී කාර්යභාරයක් ඉෂ්ට කළ අතරම ඒ පරිවර්තනය හරහා ඉහත සදහන් සඳහන් කළ අරමුණු කිසියම් ප්‍රමාණයකට හෝ සාක්ෂාත් කරගැනීමට උන්වහන්සේ බලාපොරොත්තු වූහ. ඒ වෙනස මඟින් උන්වහන්සේ බලාපොරොත්තු වූයේ ආණ්ඩු බලය හෙබවීම සඳහා අලුත් මුහුණු ප්‍රමාණයක් ගෙන ඒම නොව ඉහත කී මුලධර්ම පදනම් කරගෙන සැබෑ සමාජ-දේශපාලන පරිවර්තනයකට අඩිතාලම දැමීමයි. නමුත් පසුගිය මාස කීපය තුළ උන්හන්සේ විසින් ඉදිරිපත් කරනු ලැබූ අදහස් දෙස බලන කළ පැහැදිලිවම පෙනී යන්නේ ඇති වූ දේශපාලන පරිවර්තනය මඟින් හා අලුතින් ඇති වු ආණ්ඩුව යටතේ උන්වහන්සේ පෙනී සිටි ඉහත සඳහන් කළ මූලධර්මවලට ලැබී ඇති වටිනාකම පිළිබඳව උන්වහන්සේ එතරම් සතුටු නොවන බවකි.

අපට මෙහි දී අවධාරණය කළ හැක්කේ සෝභිත ස්වාමීන් වහන්සේ වෙතින් මේ ආකාරයට ප්‍රකාශයට පත් වූයේ මෙරට බහුතර ජනතාවගේ දේශපාලන කළකිරීම බවයි. ඒ අර්ථයෙන් ගත් කල උන්වහන්සේ වනාහී මෙරට ජනයාගේ පොදු අභිලාෂ වචනයට නැංවූ සහ එම අභිලාෂ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ක්‍රියාශීලීව මැදිහත් වූ උත්තරීතර මනුෂ්‍යයෙකි.

පසුගිය වසර කීපය තුළ මෙරට දේශපාලන දේහය තුළ උන්වහන්සේ විසින් හොබවනු ලැබූ කේන්ද්‍රීය ස්ථානය කොතරම් තීරණාත්මක හා විශාල ද යත් උන්වහන්සේගේ වියෝව නිසා සමස්ත දේශපාලන දේහය තුළ අතිවිශාල විවරයක්, හිස් තැනක් නිර්මාණය වී ඇත. මේ නිසා පසුගිය කාලයේ සෝභිත ස්වාමීන් වහන්සේ විසින් ස්ථිරසාර ලෙස නියෝජනය කරන ලද පොදුජන අභිලාෂ සාක්ෂාත් කිරීම සඳහා වූ අරගලයේ ඉදිරියෙන් සිටි පිරිස්වලට මේ අවස්ථාවේ සුවිශේෂි වගකීමක් පැවැරී ඇත. එනම් සෝභිත හිමියන්ගේ වියෝව නිසා ඇති වූ විවරය තුළ මෙකී පොදුජන අභිලාෂ සැගවී, නොපෙනී යා නොදී ඉදිරියට ගෙනයාමේ භාරධූර වගකීමයි.

මෙරට අධ්‍යාපනයේ යහපත් පරිවර්තනයක් උදෙසා මෙන්ම සෝභිත ස්වාමීන් වහන්සේ විසින් නියෝජනය කරන ලද පොදුජන අභිලාෂ වෙනුවෙන්ද සක්‍රීය ලෙස පෙනී සිටි, උන්වහන්සේ සමග කිට්ටුවෙන් කටයුතු කළ සහ උන්වහන්සේගේ සමාජ-දේශපාලන පෞරුෂයෙන් උත්තේජනය ලැබූ සංවිධානයක් ලෙස විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය මෙම කර්තව්‍ය වෙනුවෙන් අඛණ්ඩව සහ සක්‍රීයව දායකවන බවට ශපත කිරීම මේ අවස්ථාවේ අපට උන්වහන්සේ වෙනුවෙන් කළ හැකි ඉහළම ගෞරවය වන්නේය.
මෙයට,

ආචාර්ය ප්‍රිමාල් ප්‍රනාන්දු
සභාපති

ආචාර්ය ඒ. ඩබ්. විජේරත්න
ලේකම්

Archive

Latest news

Related news