Sunday, April 28, 2024

පොලිස් ඇමැති මාරපන ගෙදර යවනු – පුරවැසි බලය

ඇවන්ට් ගාඩ් සමාගම ආරක්ෂා කිරීම පිනිස අධිකරණයට ගිය තිලක් මාරපන පාර්ලිමේන්තුවේදී  පොලීසිය බාර ඇමැතිවරයා ලෙස එය ආරක්ෂා කිරීම පාර්ලිමේන්තුව අපරහරණය කිරිමක් බවත් එවැන්නකු යහ පාලන තන්ත්‍රයට යෝග්‍ය නොවන බැවින් වහාම ඉවත් විය යුතු බවත් පුරවැසි බලයේ සම කැඳවුම්කරුවන් වන ධර්මසිරි බණ්ඩාරනායක, ගාමිණී වියන්ගොඩ, සමන් රත්නප්‍රිය, කේ ඩබ්ලිව් ජනරංජන සහ ජෝසප් ස්ටාලින් ප්‍රකාශණයක් නිතු.් කරමින් කියා සිටී,

එම ප්‍රකාශණය පහත දැක්වේ:

තිලක් මාරපන යනු ‘යහපාලන‘ තන්ත්‍රයකට උචිත දේශපාලනඥයෙකු නොවන බව 04දා පාර්ලිමේන්තුවේදී සනාථ කෙරුණි.

‘ඇවන්ගාඩ්‘ සමාගමේ ස්වභාවය, රාජපක්ෂ සංස්කෘතියේ දේශපාලනය සහ ව්‍යාපාරිකත්වය එකවිට පෙන්නුම් කරන කැඩපතකි. ඒ අදහස රටට දුන්නේ වෙන කිසිවෙකු නොව, වර්තමාන යහපාලන ආණ්ඩුවේ නායකයන්මයි.

එහෙත් තමන් අපේක්ෂා කළ තරමේ දූෂණ විරෝධයක් යහපාලන ආණ්ඩුවෙන් ක්‍රියාත්මක නොකෙරෙන බව වටින් ගොඩින් පෙනෙන්ට පටන්ගෙන දැන් කාලයක් ගතවෙයි. එකී පමාව විවිධ අවසරයන් යටතේ සාධාරණීකරණය කෙරුණි.

නීතිය ක්‍රියාත්මක කිරීමට කල් ගත වන්නේය, නිසියාකාර පරීක්ෂණ සිදු කළ යුත්තේය, සතුරන් දඩයම් නොකළ යුත්තේය වැනි අවසරයන් එහිදී ප්‍රධාන විය.

එසේ තිබියදී, අතීත දූෂකයන් සහ අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම පමා වුණේ, ඒ කිසිවක් නිසා නොවන බව ඊයේ තිලක් මාරපන පාර්ලිමේන්තුවේදී ඔප්පුකොට පෙන්නුවේය.

ඒ, ඇවන්ගාඩ් සමාගම සියලූ චෝදනාවන්ගෙන් නිදහස් කොට නිදොස් කිරීමෙනි.

පාර්ලිමේන්තුව අපහරණය කිරීම :

ඒ සමගම, මෙතෙක් මුළු රටම දැන සිටි තවත් කාරණයක් ඔහු කීවේය. එනම්, තමන් ඇවන්ගාඩ් සමාගමේ නීතිඥයා වන බවයි.

එක පැත්තකින්, අපවාදයට සහ චෝදනාවට ලක්ව සිටින, රටේ ආරක්ෂාවට අදාළ මහ පරිමාණ ව්‍යාපාරික සමාගමක අයිතීන් වෙනුවෙන් අධිකරණයක් ඉදිරියේ පෙනීසිටින නීතිඥයෙකු අනිත් පැත්තෙන් ඒ සමාගමේ ම නිදහස වෙනුවෙන් මහජන මන්ත්‍රී මණ්ඩලය ඉදිරියේත් ඊයේ පෙනී සිටියේය. මෙය අත්‍යන්තයෙන් බැඳියාවන් අතර බරපතළ ගැටුමක්ද වන්නේය.

පාර්ලිමේන්තුවේ යම් මන්ත්‍රීවරයෙකු හෝ ඇමතිවරයෙකු ඇවන්ගාඩ් සමාගමෙන් යම් මුදලක් ලබාගෙන පාර්ලිමේන්තුවේදී එම සමාගම වෙනුවෙන් පෙනී සිටියොත් අප එය හඳුන්වන්නේ මහදවල් දූෂණයක් වශයෙනි.

තිලක් මාරපන පාර්ලිමේන්තුවේදී එම සමාගමේම නිදහස වෙනුවෙන් පෙනී සිටීම පාර්ලිමේන්තුව අපහරණය කිරීමකි.

නීතිඥයෙකු වශයෙන් මිනීමරුවෙකු, ස්ත්‍රී දූෂකයෙකු හෝ වෙනත් ඕනෑම අපරාධකරුවෙකු වෙනුවෙන් අධිකරණයක් ඉදිරියේ පෙනීසිටිය හැක. එහෙත් එම විත්තිකරුවා වෙනුවෙන් එම නීතිඥයාම පාර්ලිමේන්තුවේදීත් එක විට පෙනීසිටීම යහපාලනය ඔලූවෙන් සිටුවීමකි.

ආණ්ඩුවේ සුජාතභාවය ආරක්ෂාකර ගැනීම :

‘ඇවන්ගාඩ්‘ ආරක්ෂක සමාගම සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී ඇති අවස්ථාවක, නීතිය හා සාමය පිළිබඳ කැබිනට් ඇමතිවරයා වශයෙන් ඔහු පත්කළ නායකයන්ද, ඔහුගේ මේ හැසිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බව ‘පුරවැසි බලයේ‘ විශ්වාසයයි.

යහපාලන සංස්කෘතියක් ස්ථාපිත කර ගැනීමේ අධ්‍යාශයෙන් පමණක්ම මහජන ක්‍රියාකාරීත්වයේ යෙදුණු සිවිල් සංවිධානයක් වශයෙන්, මේ ආණ්ඩුවේ සුජාතභාවය ආරක්ෂාකර ගැනීම අපේද වගකීමකැයි අපි විශ්වාස කරමු.

එසේ හෙයින්, යහපාලන ආණ්ඩුවේ ප්‍රතිරූපය තවදුරටත් දූෂ්‍ය වීමට කලින්, නීතිය හා සාමය පිළිබඳ ඇමති තිලක් මාරපන කැබිනට් මණ්ඩලයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්විය යුතු බව ‘පුරවැසි බලය‘තරයේ කියා සිටී.‘‘

Archive

Latest news

Related news