(පළවන කොටස)
ශ්‍රී ලංකාව පසු කරන්නේ සංක්‍රාන්ති කාල පරිව්ඡෙදයකි. එය ගජමිතුරු ධනවාදී ඒකාධිපත්‍යයක සිට ලිබරල් ප්‍රජාතාන්ත්‍රික ධනවාදය කරා සංක්‍රමණයක යි පවතින්නේ. ජනවාරි 8 වැනි දා මුලපුරන ලදු ව අගොස්තු 17 වැනි දා යළි සවිමත් කරන ලද්දේ එයට වැඩිතර දෙයක් නො වේ. එයට සමාජ විප්ලවයක ගුණාංග ආරෝපණය අතිශයෝක්තියක්. එහෙත් දේශපාලනඥයන්ට රිසි නම් එසේ ද හැඳින්විය හැකි.
සංක්‍රාන්ති හෙවත් පරිවර්තන සමයන්හි ලක්ෂණයක් වන්නේ පරාජිත මුත් සුන්නත්දුලි නොවූ ව්‍යුහ ඉතිරි ව පැවැත්ම සහ අලූත් ව්‍යුහ බිහි වන්නට දැඟලීම යි. එම ව්‍යුහ අතර අරගලයක් අනිවාර්යයෙන් ම පැන නඟී. පරාජිතයෝ දණ්ඩෙන් පහර ලත් නයකු ගේ ආවේගයෙන් සහ විෂ සහිත ව සටන් වදිත්. අලූත් දෙයෙහි ජය තව මත් නියත නැත. තිර නැත. තත්ත්වය උඩු යටිකුරු වන්නට ද පිළිවන්. මෙම දේශපාලන සාධකය සිහියේ තබා ගැනීම ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැඟීමෙහි දී ඉතා වැදගත්.
සංක්‍රාන්තියෙහි නීත්‍යානුකූලත්වය හෝ යුක්තියුක්තභාවය හෝ රඳන්නේ මාස කිහිපයක් තුළ දෙවතාවක් ම දුන් ජන වරම මතය. පැහැදිලි ව ම මෙම ජනතා විශ්වාසය කොන්දේසි විරහිත වූවක් හෝ සදාකාලික වන්නක් හෝ නො වේ. මෙම විශ්වාසය හෝදාපාලූවට ලක් වෙතොත් ආණ්ඩුවෙහි සුජාතභාවය ද ඒ සමඟ ම වැහැරෙයි.
අවාසනාවට ආර්ථික පුනර්ජීවනය සහ ඒ සඳහා පියවර ගැනීම පිළිබඳ ජනතා අවධානයක් සහ සාකච්ඡාවක් ප්‍රමාණවත් තරමට යොමු ව නැත. අනු යා යුතු කවර හෝ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක දී ආර්ථිකය සහ දේශපාලනය අතර පවත්නා සම්බන්ධය ගැන අවධානය ඊටත් වඩා අඩු ය.
මෙහි දී සංක්‍රාන්තියෙහි සාර්ථකත්වය රඳන කරුණූ දෙකක් අවධාරණය කළ යුතුය. පළමු වැන්න අද ජීවන තත්ත්වය යටතේ වත් බහුජනයා ගේ පැවැත්ම සහතික කැරීම යි. ජනතා අපේක්ෂාව වඩා යහපත් ජීවන තත්ත්වයක් මිස අද තත්ත්වය තවත් අයහපත් වීම නො වේ. එසේ වුවහොත් ජනතා විශ්වාසය පලූදු ව පරාජිතයා යළි රජ පුටුවට පැමිණෙනන්ට ඉඩ තිබේ. දෙවැනි කාරණය පළමු වැන්නට ම සම්බන්ධ වූවකි. එනම්, ආණ්ඩුවෙහි පැවැත්ම හෝ කල් පැවැත් ම. ආණ්ඩුව වැටුණ හොත් එහි විපාකය වශයෙන් ගජමිතුරු ධනවාදය ශක්තිමත් කරන ඒකාධිපත්‍යය ය රජයන්නට පිළිවන. ආර්ථිකය දේශපාලනයෙන් බැහැර කළ හැකි නොවන්නේ හෝ පාඩම් පොත් වට්ටෝරු සහ පිටස්තර සූපවේදීන් ගේ කෑම වට්ටෝරු හෝ නොගැලැපෙන්නේ එහෙයිනි.
භූමියෙහි හැම අඟලක් සඳහා ම නිර්දය සටනක් ඇති බවත් ආණ්ඩුව මෙන්ම ජනතාව ද වටහා ගත යුතුය.
ව්‍යවස්ථාවෙහි 19 වැනි සංශෝධනය අරබයා එය එසේ වීය.ඇත්තෙන් ම ඒ නිසා ම එම සංශෝධනයෙහි විකෘතියක් හෝ විකරණයක් හෝ සිදු වූ බව අප මතකයට නැඟේ . එයින් ව්‍යවස්ථා සභාවෙහි සංයුතිය විකරණය වී.
ආණ්ඩුවෙහි සම්මුතිවාදී ස්වරූපය නොතකා ඉදිරියෙහි වඩා අසීරු සහ දරුණූ සටන් ඇති විය හැකිය. දැවෙන ආර්ථික ප්‍රශ්න විසඳිය යුතු අතර එහි දී දේශපාලන අවශ්‍යතා ද නොසලකා හැරිය නොහැකිය.
වර්තමානයෙහි අපට අරුම ඇත්තේ නීරෝගී ආර්ථිකයක් නොවන බවත්, එය ව්‍යාධි කිහිපයකින් ම පෙලෙන බවත් ආර්ථික විද්‍යාඥයෝ පවසති. ශීඝ‍්‍ර සංවර්ධනය සහ ආශ්චර්ය පිළිබඳ අපට පවසන ලද්දේ සුරංගනා කතා බව දැන් දැන් පැහැදිලි වෙයි. වෙළෙඳ ශේෂයත් ගෙවුම් ශේෂයත් අයහපත් වන අතර රට ණය උගුලකට හසුව ඇත. පසු ගිය කාලයෙහි නිෂ්පාදනාංශ සංවර්ධනයට වඩා නගරාලංකාරය වැනි අංශයන්හි සංවර්ධනයට වැඩි බරක් දමන ලද බැවින් ඒවායින් ආර්ථිකයට වත් ජනතාවට වත් එතරම් ප්‍රතිලාභ ලැබුනු බවක් නො පෙනේ.
අප ජීවත් වන්නේ ගෝලීයකරණය වූ ලෝකයකය. එහෙයින් හුදකලා වාසයක් අප රටට නැත. අන්තර්ජාතික ශ්‍රම විභජනයට අප ද පාර්ශ්වකරුවකු විය යුතුය. හැම අංශයකින් ම ස්වයංපෝෂිත වන්නට නොහැකි අතර යම් අංශයන්හි පමණක් ස්වයංපෝෂිත තත්ත්වයක් ළඟා කැරැ ගැනීම වඩා ප්‍රඥාගෝචර වෙයි. අනෙක් අතට, සංවර්ධනය වන ජාතියක් ලෙස අපේ ම කර්මාන්ත සහ කෘෂිකර්මාන්තය සඳහා ආරක්ෂණයක් වශයෙන් විදේශීය භාණ්ඩ මෙරට වෙළෙඳපොළට ගලා ඒමට යම් සීමා පැනැවීම ද අවශ්‍ය වෙයි.
මෙරට ඉතුරුම් පවතින්නේ පහත මට්මක ය. එනිසා ආයෝජනය සඳහා විදේශ ව්‍යවසායක සහාය අවශ්‍යය. ඉකුත් කාලයෙහි ප්‍රමාණවත් ඍජු විදේශ ආයෝජන මෙරටට ගලා ආවේ ද නැත. එහෙයින් වාණිජ ණය ගැනීමට රජය පෙළැඹුණි. දැනට අප විදේශ විණිමය ඉපැයීම්වලින් සියයට විසි පහක් පමණ ම වැය වන්නේ විදේශ ණය වාරික සහ පොළී ගෙවීමටය. මෙරට දුප්පත් ම සමාජ ස්තර විසිනුයි ඒවා උපයන්නේ. එනම්, මැද පෙරදිග ගෘහ සේවා කරන ස්ත්‍රීන් සහ වතුකරයෙහි නිර්ධනයින්ය. අද දළ ජාතික නිෂ්පාදිතයෙන් 60%ක් පමණ ම වැය වන්නේ ණය සේවා කැරීමටය.දිනෙන් දින පිරිහෙන රාජ්‍ය ආදායමට වැඩි දායකත්වයක් සපයන්නේ ද පුළුල් මහජනතාවයි. වක්‍ර බදු රජයේ ආදායමෙන් සියයට 80ක් පමණ විශාල යි. පොහොසතුන්ට නිර්ලෝභී බදු සහන හිමි වේ.
මේ අතර දේශීය වෙළෙඳපොළ කුඩා බැවින් එතෙර වෙළෙඳපොළ කැරෙන් බෙහෙවින් ම යැපෙන්නට ශ්‍රී ලංකාවට සිදු ව තිබේ. එහෙත් ශ්‍රම ඵලදාව පහත් බැවින් අපේ භාණ්ඩවල පිරිවැය මිල අධික ය. එබැවින් ලෝක වෙළෙඳපොළෙහි තරග කැරීමට ඒවාට අපහසු අතර එහි දී අපට අසමාන හුවමාරුවෙන් පාඩු සිදු වෙයි. මේ නිසා තාක්ෂණවේදයෙහි වඩා උසස් මට්ටමක් ළඟා කැරැ ගැනීම අප රටෙහි හදිසි හා වැදැගත් වුවමනාවකි. එහෙත් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා අප ගේ වැය අල්පතර ය. එය ජාතික ආදායමෙන් සියයට එකක් පමණ කුඩා. නව නිපැයුම් දිරිගැන්වීමක් හෝ ලූහු බැඳීමක් හෝ ඇත්තේ ම නැති තරම්. දුප්පත්කමත් නුවුවමනාවත් හේතුවෙන් දියුණු පර්යේෂණාගාර හෝ පර්යේෂණ සංස්කෘතියක් වත් අප සතු නැත.
ගතානුගතිකත්වයෙන් මිදී අලූතෙන් නිවහල් ව හිතන්නට අපේ සැළැසුම් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් වෙහෙසිය යුතු වන්නේ ඉහත සඳහන් ප්‍රශ්න නිසාය. එබැවින් අපණය උගුලෙන් ගැලැවෙන්නට නම් යටත් පිරිසෙයින් තෝරා ගත් ක්ෂේත්‍ර කිහිපයක වත් තාක්ෂණවේ දී පරතරය පියවා ගැනීම අනිවාර්ය වෙයි. අපනයන ප්‍රවර්ධනය සාර්ථක කළ හැකි වන්නේ එමඟිනි. නැතහොත් අනිවාර්යතාවක විලාසයෙන් වන විදේශ ණය වාරික සහ පොළී ගෙවීම් කළ පසු ආයෝජනයට ඉතිරි වන්නේ අල්ප ප්‍රාග්ධනයක්.
දළ ජාතික නිෂ්පාදිතයට ණයෙහි අනුපාතිකය වසර කිහිපයකින් භයානක මට්ටමකට ළඟා වනු නියත ය. වර්තමාන ග්‍රීසියෙහි තත්ත්වයට අප වැටෙන්නට ඉඩ ඇත. ඒ වන විට ප්‍රතිකර්ම සඳහා කාලය ඉකුත් ව තිබිය හැකිය. එවිට අන්තර්ජාතික මූල්‍ය ආයතන සහ ණය ප්‍රදානය කරන්නවුන් අප ජනතාවට එකඟ විය නොහැකි කොන්දේසි පනවන්නට හොඳට ම ඉඩ තිබේ.
රටෙහි නිෂ්පාදන නංවා රැකියා අවස්ථා උපදවා ජාතික ධනය වැඩි කැරැ ගැනීම ආණ්ඩුවෙහි පැවැත්ම හෝ අවසානය හෝ තීන්දු කරන සටනක් වන්නේ එහෙයිනි. එහි ලා ආණ්ඩුව අසමත් වුව හොත් එයට ජනතාධිකරණයෙන් උපරිම දඬුවම් ලැබෙනු වැලැක්විය නො හේ. ශ්‍රී ලංකාවට ණය ආධාර සපයන්නවුන් විසින් වටහා ගත යුතු වන්නේ ද එය යි. අද ආණ්ඩුවට උදවු නොකළ හොත් අනාගතයෙහි දී ඒසා සුහද නොවන ආණ්ඩුවක් සමඟ සිය ආයෝජන සුරක්ෂිතතාව සහතික කැරැ ගැනීම උගහට විය හැකි බවත්, එය ආණ්ඩුවෙහි පුද්ගලයන් මත නොවෙතත් රටෙහි ඇති වන කැරැලිකාර තත්ත්ව නිසා ද සිදු විය හැකි බවත් ඔවුන් තේරුම් ගත යුතුය. සම්මුතිවාදී ආණ්ඩුවෙහි වගකීමක් වන්නේ ඉහත පැවැති ආණ්ඩුව මෙන් නොව සංවර්ධනය සඳහා ප්‍රමාණවත් ආයෝජන සහතික කැරීම් වස් කෙටි සහ මධ්‍යකාලීන ප්‍රතිලාභ දනවන තෝරාගත් ක්ෂේත්‍රයන්හි ආයෝජන ප්‍රවර්ධනය කැරීම යි
ආයෝජන අරමුදල් තර කැරීම පිණිස ගත හැකි වැදැගත් පියවරක් වන්නේ විදේශ ණය සේවා සැපැයීම හෙවත් ණය වාරික සහ පොළිය ගෙවීම යටත් පිරිසෙයින් වසර පහකට වත් තාවකාලික ව අත්හිටුවන ලෙසත් ණය ගෙවීමෙහි කොන්දේසි අලූතෙන් සාකච්ඡ කරන ලෙසත් ණය ප්‍රදානය කරන රටවලින් සහ අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටීමය. පශ්චාත් සුනාමි කාලයෙහි එබඳු සහනයක් ශ්‍රී ලංකාවට ලැබුණි. එබඳු එකඟතාවකට එළැඹීම දෙපාර්ශ්වයට ම වාසිදායක ය. එසේ නොවුවද හොත් ණය නොගෙවා හරින තත්ත්වයකට හෙවත් ගෙවන්නට බැරි තත්ත්වයකට රට නුදුරු අනාගතයෙහි පත් වන්නට පිළිවනි.අනෙක් අතට. දැනයමත් පාවෙන රුපියලෙන් ජනිත වන සහ දෛනික ව ඉහළ නඟින ජීවන බරින් හෙම්බත් ව සිටින ජනතාව පිට බැරි බරක් පටවන්නේ නැති ව සිය ආර්ථිකයෙහි ව්‍යාධිවලට පිළියම් යොදන්නට ශ්‍රී ලංකාවට යම් සහනදායී අවස්ථාවක් උදා කැරැ ගන්නට ද එයින් හැකියාව ලැබේවි.
– දිනමිණ