Saturday, April 27, 2024

ලංකා ගුරු සංගමයේ සභාපති රැකියාවෙන් නෙරපීමට එරෙහිව ඒකාබද්ධ උද්ඝෝෂණයක්

සිය සභාපතිවරයා සේවයෙන් නෙරපීම සම්බන්දයෙන් නිවේදනයක් නිතුක් කරන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ඊට එරෙහි ඒකාබද්ධ කි‍්‍රයාමාර්ගයක් ගැනීමට සියලූ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන සමග සාකච්ඡා කරමින් සිටින බව කියා සිටී. එමෙන්ම මෙම තත්වයට විරෝධය පළ කිරීමට එක්වන ලෙස ලංකා ගුරු සංගමය සියලූ ප‍්‍රජාතාන්ති‍්‍රක බලවේගවලින් ඉල්ලා සිට තිබේ.

සම්පූර්ණ නිවේදනය පහත පළවේ.

ලංකා ගුරු සංගමයේ සභාපති පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු මහතා 2009.08.01 සිට දින 8 ක කාලයක් සඳහා විදේශ නිවාඩු අනුමත කිරීමට 2009.07.16 දින විධිමත් අයදුම්පත‍්‍රයක් ඉදිරිපත් කර තිබියදී එවකට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක පලිගැනීමේ චේතනාවෙන් එම අයදුම්පත ඉවත් කොට ඔහු අනවසරයෙන් විදේශගත වූවායයි චෝදනාවක් එල්ල කෙළේය. දැන් එම ව්‍යාජ චෝදනාව පදනම් කරගෙන වසර 6 කට පසු වර්තමාන පළාත් අධ්‍යාපන ලේකම් වරයා පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු මහතා සේවයෙන් පහකිරීමට කටයුතු කොට ඇත.

2009.07.16 දින පි‍්‍රයන්ත ප‍්‍රනාන්දුගේ විදේශ නිවාඩු අයදුම්පත් භාරගත් එවකට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඞී.එම්.එන්. අබේරත්න සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කළ කේ.එච්.එම්. ජිනපාල යන මහත්වරුන් ඇතුළු අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් කිසිදු සුදුසුකමක් නොමැතිව අදාළ තනතුරුවලට පත් කර තිබීම හේතුවෙන් ඊට එරෙහිව විවිධ කි‍්‍රයාමාර්ග ගැනීමෙන් නොනැවතී මානව හිමිකම් කොමිෂන් සභාවට HRC/AP/016/2009(S) අංකයෙන් පැමිණිල්ලක් කොට එම පැමිණිලි විභාගයෙන් පසු ඉහත පළාත් අධ්‍යක්ෂවරයා සහ කලාප අධ්‍යක්ෂවරයා ඉවත් කරන ලදී. ඒ හේතුව පදනම් කරගෙන මෙම නිලධාරීන් පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු මහතාගේ එම විදේශ නිවාඩු අනුමත කිරීමේ ඉල්ලුම් පත‍්‍රය අස්ථාන ගත කොට මෙම චෝදනාව එල්ල කොට තිබුණි. එම වකවානුවේ ම පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු නොදන්වා සේවයට නොපැමිණියේ යයි ව්‍යාජ චෝදනාවක් කොට මෙම නිලධාරීන් විසින් අසාධාරණ ලෙස වැඩතහනම් කිරීම හේතුවෙන් SP22397 අංකයෙන් දිසා අධිකරණයේ ඉහත නිලධාරීන්ට එරෙහිව ගොනුකළ නඩුවක් ද මේ වන විට විභාග වෙමින් තිබේ.

පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු මහතාට එල්ල කළ නිවාඩු අනුමත නොකර විදේශගත වීමේ චෝදනාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් කොට මෙය ද්වේශසහගත කටයුත්තක් බව 2013.03.08 දිනැතිව නිර්දේශයක් ද ලබා දී තිබුණි. සේවයෙන් පහ කිරීමේ නියෝගයට අදාළ විනය පරීක්ෂණයේ දී පැමිණිලිකරු අදාළ පරීක්ෂණයේ සාක්ෂිදීම සඳහා නොපැමිණි අතර, එවකට කලාප අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ඞී.එම්.එන්. අබේරත්න මහතා පැමිණිලි විභාගයේ දී හරස් ප‍්‍රශ්නවලට මුහුණ දීමට ද නොපැමිණී තත්වයක් තුළ අද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාට රාජ්‍ය සේවකයෙකුට ලබාදිය හැකි උපරිම දඬුවම ලබාදී ඇත්තේ වෘත්තීය සමිති කි‍්‍රයාකාරීත්වය මැඩලීමේ චේතනාවෙන් බව පෙනීයයි.

මේ දිනවල ලංකා ගුරු සංගමයේ සභාපති පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු උතුරුමැද පළාතේ අධ්‍යාපන පරිපාලන සේවයේ අවිධිමත් පත්වීම් සම්බන්ධයෙන් රේඛීය අමාත්‍යාංශයට සහ පළාත් අධ්‍යාපන  බලධාරීන්ට පැමිණිලි කොට ඊට එරෙහිව විවිධ කි‍්‍රයාමාර්ග ගනිමින් සිටියදී මෙම සේවයෙන් පහ කිරීම තුළ මෙම කි‍්‍රයාවලියේ අන්තර් සම්බන්ධයක් ඇතැයි යන සැකයද මතුව තිබේ. උතුරුමැද අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දූෂණ හා අවිධිමත් පත්වීම්වලට එරෙහිව දැඩි කි‍්‍රයාකාරීත්වයක නිරත පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු දූෂණ විරෝධී කි‍්‍රයාකාරීත්වය වෙනුවෙන් 2008 වසරේ ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂල් ආයතනයේ සුපිලිපන් සම්මානයට ද පාත‍්‍ර වූවෙකි. 17/2012 අංකයෙන් පළාත් අධ්‍යාපන බලධාරීන් මූල්‍ය අවභාවිතාවකින් සිදු කිරීමට ගිය විදේශ සංචාරයක් අත්හිටුවීමට ද පළාත්බද අධිකරණයේ නඩුවක් ගොනු කළේය.

මේ ආකාර කි‍්‍රයාකාරීත්වයන් හේතුවෙන් 2009 වසරේ දින 8 ක ඉන්දීය සංචාරයක් පදනම් කරගෙන වසර 6 කට පසු සේවයෙන් පහ කිරීම වෘත්තීය සමිති කි‍්‍රයාකාරීත්වය නතර කිරීම වෙනුවෙන් සිදු කරන ලද කි‍්‍රයාමාර්ගයක් සහ දේශපාලන පලිගැනීමකි. මෙම තත්වයට එරෙහි කි‍්‍රයාමාර්ගයක් වෙනුවෙන් ලංකා ගුරු සංගමය සියලූ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන සමග සාකච්ඡා කරමින් සිටින අතර මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ඒකාබද්ධ කි‍්‍රයාමාර්ගයකට යොමුවීමට අදහස් කර ඇත. මෙම තත්වයට විරෝධය පළ කිරීමට එක්වන ලෙස ලංකා ගුරු සංගමය සියලූ ප‍්‍රජාතාන්ති‍්‍රක බලවේගවලින් ඉල්ලා සිටී.

ජෝෂප් ස්ටාලින්
මහ ලේකම් -ලංකා ගුරු සංගමය

Archive

Latest news

Related news