Sunday, May 5, 2024

පරරාජසිංහම් ඝාතනය මෙහෙයවූයේ පිල්ලෙයාන් – රහස් පොලීසිය

පාර්ලිමේන්තු මංත්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතා ඝාතනය කළ ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් පිල්ලයාන් කටයුතු කරමින් අපරාධය සැලසුම් කර අනෙක් සාමාජිකයින් මෙහෙයවා ඇතැයි රහස් පොලිසිය අධිකරණයට වාර්තාවක් මගින් දැනුම් දුන්නේය. මෙම අපරාධය ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් සැලසුම් කර සිදු කර ඇති බවට පෞද්ගලික ඔත්තුකරුවන් හා සිද්ධියෙන් තුවාල ලැබූ තුවාලකරුවන්ගේ ප්‍රකාශ අනුව විමර්ශන පැවැත්වූ බව පවසන රහස් පොලිසිය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් යන සැකකරු මෙම ඝාතනය සැලසුම් කර සිදු කර ඇති බවට තොරතුරු තහවුරු වී ඇති බව පැවසීය. මෙම සිද්ධිය සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු විදේශගතව ඇති බව පැවසූ රහස් පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය අපේක්ෂා කරන බව පැවසීය.

පරරාජසිංහම් මහතා ඝාතනය කිරීම කුමන්ත්‍රණය කිරීම හා එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙකුව සිට ඇති බව සඳහන් කරමින් පිල්ලයාන්ට එරෙහිව රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ. අපරාධයට භාවිතා කළ ගිනි අවිය වාහනය හා අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බව පැවසූ රහස් පොලිසිය සැකකරුවන් තවදුරටත් ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ ද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බව පැවසීය.

ඉකුත් 11 වන දින අත්අඩංගුවට ගනු ලැබූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් යන සැකකරු පැය 72 කාලයක් රඳවා ප්‍රශ්න කළ බව පවසන පොලිසිය එම කාලය විමර්ශන සඳහා ප්‍රමාණවත් නොමැති බවත් දින 90ක කාලයක් ඔහු පොලිසියේ රඳවා ප්‍රශ්න කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමා වෙත ඉල්ලීමක් කර ඇති බව පැවසීය.‍ෙ

පොලිස්පති නියමයෙන් රහස් පොලිසිය විමර්ශන බාර ගැනීමෙන් අනතුරුව 2015/10/04 වන දින මඩකළපුවේදී එඩ්වින් සිල්වා ක්‍රිෂ්ණානන්ද රාජා නොහොත් ප්‍රදිප් මාස්ටර් හා රෙංගසාමි කංගනායගම් නොහොත් කජන් මාමා අත්අඩංගුවට ගෙන තිබිණ.

ඔවුන්ගේ ප්‍රශ්න කිරීමට අනුව 2015/10/11 දින වාලච්චේන, ජෙතාලේ, මාරිඅම්මන් කෝවිල් පදිංචි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයාන් රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණ

මෙම සැකකරුවන් තිදෙනා 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක කාලයක් රහස් පොලිසියේ රඳවා ගැනීමට පොලිසිය කටයුතු කරන බව සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔවුන් නිරීක්ෂණය සඳහා ලබන මස 4 වන දින යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කළේය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිස් භාරයේ සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයාන් ලබන මස 04 න දින දක්වා තවදුරටත් රහස් පොලිසියේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊ‍යේ (14) අවසර ලබා දුන්නේය.

( ඇසුර – දිනමිණ )

 

Archive

Latest news

Related news