Friday, May 3, 2024

එක්නැලිගොඩ පරීක්ෂණ ‘රාජපක්ෂවරුන් අඩාළ කරනවා’ – සන්ධ්‍යා එක්නැළිගොඩ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම පිළිබඳව සිදු කරන පරීක්ෂණ අඩාළ කිරීමට රාජපක්ෂවරුන් ක්‍රියාකරන බව ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ චෝදනා කරයි.

නඩු විභාගයක් සඳහා කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ සිටි අවස්ථාවේ දී ඇය මාධ්‍ය වෙත මෙම අදහස් පල කළාය.”ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධියේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ නීතිවේදී කාලිංග ඉන්දතිස්ස. කාලිංග ඉන්දතිස්ස නීතිවේදියා අවස්ථා කීපයකදීම මට චෝදනා කර තිබෙනවා. ජිනීවා නුවරට ගොස් රාජ්‍ය නොවන සංවිධාන සමග කථා කල බවටත් ඔහු මට චෝදනා කර තිබෙනවා. ඒ නිසා පැහැදිලියි මේ පරීක්ෂණ අඩාළ කිරීමට උත්සාහ කරන්නේ රාජපක්ෂවරුන් බව,” ඇය චෝදනා කළාය.

සන්ධ්‍යා එක්නැලිගොඩ කරන මේ චෝදනාව පිළිබඳව ප්‍රතිචාරය ලබා ගැනීම පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඔහුගේ ප්‍රකාශක රොහාන් වැලිවිට සහ නීතිඥ කාලිංග ඉන්දතිස්ස ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

මේ අතර, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන, රඳවා ගෙන සිටින යුද හමුදා සැකකරුවන් හතර දෙනෙකු තමන් නිදහස් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අද, සිකුරාදා පෙනී නොසිටීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය පොලිස්පතිවරයා සහ රහස් පොලිසියේ අධ්‍යක්ෂ ඇතුළු හතර දෙනෙකුට නියෝග කළේය.

පෙත්සම් මීට පෙර කැඳවූ අවස්ථාවෙදී ඊට අදාළ ව අද, සිකුරාදා කරුණු දක්වන මෙන් අධිකරණ විසින් නියෝග කර තිබිණ.

එහෙත් අදාළ පෙත්සම් අද, සිකුරාදා කැඳවූ අවස්ථාවේදී පොලිපතිවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් කිසිදු නීතිවේදියකු පෙනී සිටියේ නැත.

අධිකරණ නියෝගය අනුව කටයුතු නොකළේ ඇයි දැයි ලබන 16 වනදා පෙනි සිට කරුණු පැහැදිලි කරන මෙන් අධිකරණය පොලිස්පතිවරයා , රහස් පොලිසියේ අධ්‍යක්ෂ ඇතුළු හතර දෙනෙකුට නොතිසි නිකුත් කළේය.

අත් අඩංගුවට ගෙන සිටින යුද හමුදා නිලධාරින් පවසන්නේ කිසිදු සාධාරණ සාක්කියක් නොමැතිව තමන් රහස් පොලිසිය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින බවයි.

මේ නිසා තමන් අධිකරණය වෙත ඉදිරිපත් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.

– බීබීසී සිංහල

Archive

Latest news

Related news