Tuesday, July 16, 2024

පොලිස් හොරු ගැන සේයාගේ ඝාතනයට අත්අඩංගුවට පාසල් සිසුවා ජනපතිට ලියූ ලිපිය

තමන් අත්අඩංගුවට ගැනීම හා ඉන්පසු පොලිසිය සැලකූ ආකාරය සම්බන්ධයෙන් කොටදෙනියාවේ සේයා සදෙව්මි ඝාතනයට සැක පිට අත්අඩංගුවට ගෙන පසුව මුදාහල පාසල් සිසුවා පොලිසිපත්වරයා වෙත සහ ජනපති වෙත ලිපියක් යොමුකර තිබේ.

අදාල ලිපිය මෙසේය.

“ඉහත නම සඳහන් මා 2015.09.16 වැනි දින උදේ කිසිදු හේතුවක් නැතිව කොටදෙනියාව පොලිසියෙන් අත්අඩංගුවට ගත් අතර 2015.09.19 දක්වා පොලිසියේ රඳවා ගනිමින් පහර දී එදින මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කෙරිණි. පසුව ඔක්තෝම්බර් පළවෙනිදා මා නිදහස් කර මුදා හරිනු ලැබීය.

16 වැනිදා මා අත්අඩංගුවට ගනිද්දී මගේ කාමරේ තිබූ ලැප්ටොප් පරිගණකය, මා භාවිත කරන ජංගම දුරකතනය (සිම්පත සමඟ), කැඩුණු ජංගම දුරකතන දෙක, මෘදුකාංග සහ චිත්‍රපට සීඩී කිහිපයක් සහ තවත් සිම් කාඩපතක් ද පොලිස් භාරයට ගත්තේය.

16 වැනි දා සවස මා පොලිසියේ සිටිය දී මාගේ ඩොංගලය ද පොලිසියට ගෙන ආ අතර එදින මා කූඩුවට දැමීමට පෙර මගේ කරේ තිබූ තඹ සුර දෙකක්, අපළ මාලයක් (මැණික් ගල් හතරක් ඇල්ලු රිදී පෙත්තක්) සහ අතේ බඳින නූල් තුනක් පොලිස් බාරයට ගත්තේය.

මාගේ ලැප්ටොප් පරිගණකය අධිකරණයට ඉදිරිපත් කළ බව දැනගන්නට ලැබුණු අතර ඉතිරි භාණ්ඩ මට නැවත නොලැබුණු නිසා 2015 ඔක්තෝබර් 05 සඳුදා සවස මගේ නීතීඥ මහත්මා මා ඉදිරිපිටදීම කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් උදය කුමාර මහතාට දුරකථන ඇමතුමක් ගෙන එම භාණ්ඩ ගැන විමසන ලදී.

ඒවා නොගත් බව කියමින් ස්ථානාධිපතිවරයා දුරකතනය විසන්ධි කළේය.

ගරු පොලිස්පතිතුමනි, මා සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් ඉහත භාණ්ඩ හැකි ඉක්මණින් නැවත මාහට භාර දෙන ලෙස කොටදෙනියාව පොලිස් ස්ථානාධිපතිට උපදෙස් ලබා දෙන මෙන් ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.”
– sri lanka mirror

Archive

Latest news

Related news