නීතිය ජීවත් වන්නේ එහි ලියවී ඇති වගන්ති සහ ඡේද නිසාවෙන් නොවෙති. නීතිය ජීවත් වන්නේ ජනතාව තුල එම නීතිය කෙරෙහි ඇති විශ්වාසනීයභාවය තහවුරු වී ඇත්නම් පමනි. නීතිය මත ජනතා විශ්වාසය නැති තැන නීතියේ ආධිපත්‍ය ඇති රටක් ද ඇති නොවෙති. එසේ වූ විට තැන තැන එකිනෙකා තමන්ට හැකි පමණින් නීතිය තම අතට ගැනීමේ ප්‍රවණතාවයක්ද රටත් තුල ඇතිවේ. එනිසා රටක රාජ්‍යක ස්ථාවරත්වය පැවතීමට නීතියේ ස්වාධීනත්වය සහ එහි විශ්වාසනීයත්වය අත්‍යවශ්‍ය සාධකයකි.
අප ජනවහරේ එන වදන්වලින් මේ නීතිය මත විශ්වාසනීය බව නැති කම ගැන විවිධ ප්‍රස්ථාපිරුළු තුලින් ප්‍රකාශයට පත්වේ. ‘නඩුත් හාමුදුරුවන්ගෙ. බඩුත් හාමුදුරුවන්ගෙ’ යන්න පැවසෙන්නේ නීතිය මත විශ්වාසය එසේ නැත්නම් නීතියේ සාධාරණත්වය ඉටු නොවේය යන සැකය තහවුරු වූ විටයි. එවැනිම තවත් කියමනක් වන ‘හොරාගෙ අම්මගෙන් පේන ඇසීම’ යන්නද මෙයට තවත් උදාහරණයකි. ‘වැටත් නියරත් ගොයම් කානම් – කාට කියමිද ඒ අමාරුව’ යන්න මෙයට ඇති හොඳම නිදසුනකි.
ජනවහර තුල මෙයට අදාළව මෙවැනි තවත් ප්‍රස්ථාපිරුළු ඇතිවාට සැකයක් නැත. රටක බලය ඇතිවුන්ම වැරදි කිරීම, නීතිය තම අතට ගෙන හිතුවක්කාරී පාලනයක් පවත්වා ගැනීම ආදිය නිසාවෙන් කර කියා ගත හැකි යමක් නැති තත්වයට පත්වන රට වැසියා තම වේදනා සහගත අත්දැකීම ඉහත ආකාරයෙන් වහරට එක්කර ගෙන ඇත. මෙසේ ප්‍රස්ථාපිරුළු ජනවහරකට එක්වන්නේ සමාජයක කාලයක් තුල මෙවැනි බල අපයෝජන සිදුවී ඇති නිසාවෙනි.
මෑත ඉතිහාසය දෙස මොහොතක් අප අවධානය යොමුකලොත් රටේ නීතිය පිළිබඳව එහි ස්වාධීනත්වය හා සාධාරණත්වය ඉටුවීම පිළිබඳව පොදුවේ ජන සමාජය තුල විශ්වාසයක් නැති බව පැහැදිලිව පෙනෙන්නට ඇති කරුණකි. නිදහසින් පසු ලංකාවේ දවසෙන් දවස නීතිය මත පාලනය ක්‍රමක්‍රමයෙන් හැකිලී ගොස් ඇති බව පෙන්නුම් කරයි. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් ලංකා පාලනය ස්වදේශිකයාට භාරදෙන විට පැවති නීතිය මත පාලනය සහ ඒ මත ඇතිව තිබූ යම් හෝ විශ්වාසනීයත්වය ස්වදේශීය පාලකයන් අතින් ක්‍රමක්‍රමයෙන් හැකිලී ගිය බවක් පෙනේ.
නිදහසින් පසු ලංකාවේ විශේෂයෙන්ම හැත්තෑ ගණන්වලින් පසු ලංකාවේ දිගින් දිගටම මිනිසුන් මරා දැමිම, අතුරුදහන් කිරීම(දේශපාලන හේතූන් බලය පිළිබඳ හේතූන් මත) පැවතී ඇති බව ලාංකිකයාට රහසක් නොවේ. මෙම අතුරුදහන් කිරීම් සහ මරා දැමීම් බොහෝමයක්ම ඒ ඒ අවධිවල රටකළ ආණ්ඩුවල අනුග්‍රහය ඇතිව රාජ්‍ය යන්ත්‍රය විසින් (පොලීසි, හමුදා සහ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවති කණ්ඩායම්) කළ බව ප්‍රසිද්ධ රහස්ය. ලංකා වැසියා තමනට කළ හැකි දෙයක් නැති තැන රහසේ දුක් සුසුම් හෙලමින් ලතවුනි.
දැන් ‘වැටත් නියරත් ගොයම් කානම් – කාට පවසම් ඒ අමාරුව’ යන්න දීර්ඝ කාලීනව නිදහසින් පසු ලංකාවේ රටවැසියා උතුර දකුණ වෙනසක් නැතිව මුහුන දී සිටි තත්වයයි. ‘වැටත් නියරත් ගොයම් කානම්’ යන ජනවහරින් පැවසෙන්නේ ජනතාවට මූණ දීමට සිදුවූ තත්වයයි. ගොයම් යනු රටවැසියා නම් ඔවුන් ආරක්ෂා කිරීමට, ඔවුන් සුඛිත මුදිත කිරීමට ඇත්තේ වැට (ආණ් ඩුව) සහ නියර (රාජ්‍ය) නම්, නමුත් ගොයම වනසන්නේ වැට සහ නියර නම් එහි ඇති අනුවේදනීය බව කීමට උදාහරණ අනවශ්‍යය.
පසුගිය වකවානුවේ විශේෂයෙන් යුධ සමයේ උතුරු කරයේත් මුළු රටේමත් නීතියක් කියා දෙයක් ක්‍රියාත්මක නොවූ බව පිලිනොගන්නේ එක්කෝ තම බලය අපයෝජනය කළවුන් සහ ඔවුන්ගේ පහනින් එළිය බැලූ අය වෙති. එසේ නැතිනම් මොලය යන අවයවය ඔලුවේ වෙනුවට ශරීරයේ වෙනත් තැනක පිහිටා ඇති අයවළුන් වෙති. ‘වැටත් නියරත් ගොයම් කෑවේ හොරෙන් නොවෙති. ඔවුන් එය කරනු ලැබුවේ ඒ තරම් ලැජ්ජා විරහිත බවකිනි. බලය ඔවුන්ගේ හිස් කොතරම් තෝන්තු කර තිබුනාද යත් ඔවුන් හැසිරුනේ රට මෙන්ම රට වැසියාද තම බූදලය ලෙස තකමිනි. ඔවුන් හැසිරුනේ 21වන සියවසයේ ලෝකය තුල පවතින රටක් රාජ්‍යක් මෙන් නොව මධ්‍යතන යුගයේ රාජාණ්ඩුවක් එතුලත් ඉතා පසුගාමී රාජ්‍යයක් පවත්වා ගන්නාක් මෙනි.
ලෝකය ගැන එසේ නැතිනම් ජාත්‍යන්තර ප්‍රජාව ගැන කතා කිරීමේදී ලෝකයම අප ගිල ගැනීමට මුව අයා සිටින බවක් පවසමින් බටහිර ලෝකයට තම ‘ සිංහල බෞද්ධ’ ආධිපත්‍ය බිඳ දැමීමට එහා ගිය වැඩ සටහනක් නැති බව පැවසීය. නමුත් තමන්ගේ හත්මුතු පරම්පරා පමණක් නොව බලු බළලුන් පවා බටහිර රටවලින් අධ්‍යාපනය, බෙහෙත් හේත් පමණක් නොව ආහාර පවා සපයා ගනිමින් වෙනම දිවියක් ගතකරනු ලැබිය. මහින්ද රාජපක්ෂට නින්ද නොයෑමේ ආතතිය තද වූ විට නිදි සායන ලබා ගැනිමට යනු ලැබුවේ බර්ලින් නගරයේ ‘ෂරිටේ’ නැමැති ආරෝග්‍ය ශාලාවටයි. බොහෝ අසනීපවලට බෙහෙත් ගැනීමට ඇමරිකාව වැනි රටවලට යනු ලැබීය. එම කටයුතුවලදී මේ බටහිර කුමන්ත්‍රණ ඔවුන්ට බල නොපෑ අතර මෙම රටවල ජනතාව ලංකාවේ මිනිස් අයිතීන් පාගා දැමීම ගැන කතා කරද්දී පමණක් ඔවුන් එය බටහිර කුමන්ත්‍රණයක් ලෙස දක්වනු ලැබීය.
ගෝලීය ලෝකය තුල නවීන ආයුධ ගැනීමේදී, යුධ පුහුණුවේදී මේ කුමන්ත්‍රණ ගැන වගේ වගත්වත් ඔවුනට නොවීය. නමුත් එපමණක් නොව ගෝලීය ලොව තුල මිනිස් අයිතීන් ගැන කතා කරන ලෝක ප්‍රජාවක්ද සිටින බව ලංකා පාලකයන්ට අමතකව තිබිණ. ලංකාව තුල දිගින් දිගටම කරන මිනිස් අයිතීන් උල්ලංඝනය කිරීමේදී තමනට මුහුණ පෑමට සිදුවී ඇති ඛේදවාචක ගැන ලංකා ජනයාට ලෝක ප්‍රජාවට හඬ ගෑමට සිදුවිය. පූර්ණයෙන්ම නැති වුවත් අවසානයේ ලෝක ප්‍රජාව ලංකා ජනතාව ඔවුන් වෙත ගෙන ගිය පණිවිඩයට ඇහුම්කන් දුන් බව දැන් එළිදැක ඇති වාර්තාවෙන් පෙන්වයි.
ලංකාව තුල නීතිය වල්වැදී තිබූ බව ලෝකයද දැක තිබේ. එනිසාම ඔවුන් ලංකාව තුල නීතිය මත පාලනය, අගතියට පත්ව ඇති අයට සාධාරණයක් ඉටු කිරීම ආදිය ලංකා රජය විසින් කළයුතු බව පවසා ඇත. එම කටයුත්ත ලංකා රජයට තනිව කළ හොනැකි බව අපටත් වඩා හොදින් ඔවුන් වටහාගෙන ඇති බව පෙනේ. ඒ ලෝකය මෙවැනි අත්දැකීම්වලින් පොහොසත් බැවිනි. සියෙරා ලියෝනයේදී, බොස්නියාවේදී, උතුරු ටිමෝරයේදී කොසොවෝ වලදී ලෙබනනයේ මෙන්ම කාම්බෝජය වැනි රටවලදී මේ තත්වයන්ට විසදුම් ඒ ඒ රටවල් සමග එක්වී ජාත්‍යන්තර ප්‍රජාව විසින් සොයනු ලැබීය. කාලයක් තිස්සේ වැටත් නියරත් ගොයම් කෑ පසු එම වැට සහ නියරටම ගොයමට සිදුවූ අගතියට සාධාරණය ඉටු කළ නොහැකි බව ගොයම මෙන්ම ලෝකය ද දනී. එනිසා මේ වැටටත් නියරටත් සහායට ජාත්‍යන්තරය මැදිහත් වීම ගොයමට සැබෑ සාධාරණයක් ඉටු කිරීමට නම් අත්‍යවශ්‍ය බව පැහැදිලිය. එය අපේ මතයයි. එය ලෝකයේ මතයයි. එමෙන්ම එය අගතියට පත් අයගේ පැතුමයි.
දැන් නැවත අධිරාජ්‍යවාදය ගැන හඬතලනු ඇත. කොටින්ගේ රූප අහස් තලයේ අදිනු ඇත. බටහිර කුමන්ත්‍රණමලින් ජාතිය හා ආගම බේරා ගැනීමට බෙරිහන් දෙනු ඇත. තම දෑත්වල තැවරී ඇති ලේ ඇති වුන්, තමන් කළ වැරදි එළිදරව් වෙතියි බියෙන් දගලන පාපතරයින් , තමන් කළ අගතීන් එලිදරව්වීම වලකා ගැනීමට දේශප්‍රේමය, අධිරාජ්‍ය විරෝධය , බටහිර කුමන්ත්‍රණ ආදී ගීත යටිගිරියෙන් ගායනාව ඇරඹෙනු ඇත.
පසුගිය වකවානුවේ මේ රටේ මරා දැමූ මිනිසුන්ගේ , බොහෝවිට මිනීවලකට තරම්වත් හිමිකමක් නොලද වුන්ගේ, ආත්මයන් මත හිටගෙන මොවුන් කරන මේ හඬ වල් යුක්තියේ සහ සාධාරණවයේ හඬින් යටපත් කිරීමට දැන් කාලය පැමිණ ඇත. රටේ භාරකරුවන්ව සිටි අය ‘නැත්නම් වැටත් නියරත් මේ අගතියට වගකිවයුතු නම්’ ජාත්‍යන්තර ප්‍රජාවගේද ආධාර ඇතිව ඒ අගතීන් එළිදරව් කිරීමට, ඒ අගතීන්වලට වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙනඒමට කාලය උදාවී ඇත. ජාත්‍යන්තර ප්‍රජාවගේ සහායෙන් තොරව කිසිදිනෙක වැට සහ නියරට පමණක් එය තනිව නොකළ හැකි බව අපි දනිමු. එනිසා එක පයින් දෑතම ඔසවා ජාත්‍යන්තර සහාය ඇතිව අපේ රට තුලම මේ අගතීන්වලට වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒමට මෙය අවස්ථාවයි. ඒ සඳහා අපි පවතින රජයට සහ ජාත්‍යන්තරයට සිවිල් පුරවැසියන් ලෙස සහාය දිය යුතු වෙමු. ඔවුන් එය නිවැරදිව කරනවාද යන්න සුපරීක්ෂා කාරීත්වයෙන් බලා සිටිය යුතු වෙමු. එතුලින් පමණකි රට තුල පසුගිය වකවානුවේ අගතියට ලක්වූවන්ට සාධාරණයක් ඉටුකළ හැකි වන්නේ. අගතියට පත්වූවනට සාධාරණයක් ඉටුවීම තුලම අනාගත රට තුල නීතිය මත පාලනයක් මෙන්ම නීතියෙහි ස්වාධීනත්වය පිළිබඳවද විශ්වාසයක් ඇති වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීමේ ගමනේ ආරම්භය එයම වනු ඇත.