Tuesday, May 7, 2024

දැන්, ජයග්‍රාහකයින් හා පරාජිතයන් ලෙස බෙදා වෙන් කිරීම් අනවශ්‍යයි – රනිල් වික්‍රමසිංහ

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද නිකුත් කළ විශේෂ නිවේදනය පහත දැක්වේ.

ජනවාරි 08 වන දා විප්ලවය ඉදිරියට ගෙන යමින්, යහපාලනය සහ සම්මුතිවාදය ඉදිරියට ගෙන යාම සඳහා මෙරට බහුතර ජනතාවගේ අනුමැතිය හිමි වී තිබේ.

මැතිවරණ කාලය පුරා ජනතා ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ සියළු පාර්ශ්වයන්ට මාගේ ස්තුතිය පළ කරමි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ සාමකාමී පරිසරය මේ මැතිවරණයේ දී උදා කර ගැනීමට අපට හැකි විය. ඒ යහපත් පරිසරය නිරන්තරව ආරක්‍ෂා කර ගැනීම අප සතු වගකීමකි.

දැන්, ජයග්‍රාහකයින් හා පරාජිතයන් ලෙස බෙදා වෙන් කිරීම් අනවශ්‍යය. එක මවකගේ දරු කැල ලෙස අපි දැන් මෙරට නව දේශපාලන සංස්කෘතියක් බිහි කරලීමේ කාර්යයයට එක් විය යුතු වෙමු. නව යුගයේ අභියෝගයන්ට මුහුණ දී අපේ දේශය ඉහළට ඔසවා තැබීමේ වෑයමට එක හදින් උර දිය යුතු වෙමු.

ඒ අභියෝගාත්මක කාර්යය සඳහා අප හා එක්වන ලෙස මම ඔබ සැමට ආරාධනා කරන්නෙමි.
අපි එකට එක්ව ශීලාචාර සමාජයක් බිහි කරමු. සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩ නංවමු. සැමට සමාන අවස්ථා සපිරි අලූත් රටක් නිර්මාණය කරමු.

2015 අගෝස්තු 18

Archive

Latest news

Related news